Breaking News

මෙසී සමරමින් පුන්නියා සෙල්වන්ලා වෙනුවෙන් අරගල කරමු!

සියලු දෙනාගේම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ආජන්ටිනා කණ්ඩායමේ ලයනල් මෙසී තම අතේ පටියක් බැඳගෙන ක්‍රීඩා කරන ආකාරය පාපන්දු ලෝක කුසලානයේද දක්නට ලැබුණා.

එහි සටහන්ව තිබුණේ “Education for all” එසේත් නැත්නම් “සැමට අධ්‍යාපනය” යන්නයි. ඒත් සමඟම වතු කම්කරු දරුවෙක් වූ පුන්නියා සෙල්වන් සිය උපාධිය සම්පූර්ණ කර තිබීම ගැන සතුටුවන වතු කම්කරු කාන්තාවන් පිරිසක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙමින් පවතියි.

නානුඔය, කිලොසෝ වතු ඉතිහාසයේ ප්‍රථම උපාධිධාරියා පුන්නියා සෙල්වන් බව පැවසේ.

මේ හේතුවෙන් නානු ඔය වතුයාසේ සියලුම වතු සේවකයන් දැඩි සතුටින් පසුවන බවයි වාර්තා වන්නේ.

වතුයායක තරුණයෙක් උපාධියක් ලබාගැනීම මෙතරම් විශේෂ වන්නේ ඇයි ද යන ප්‍රශ්නය අපි නැගිය යුතුය. වතු කම්කරු ජනතාව ලංකාවේ පුරවැසියන් ලෙස සැළකීම පවා ප්‍රතික්ෂේප කළ තත්ත්වයකදී ඔවුන්ගේ අධ්‍යාපනයට අවස්ථාව ලැබෙතැයි සිතීම විහිළුවකි.

වතු කම්කරු ජනතාව ලංකාවේ පුරවැසි භාවය ලබාදීම අවසන් වූවේ 1980 දශකයේදීයි. ඒ අනුව රටේ අනෙකුත් දරුවන්ට මෙන් නොව වතු කම්කරු දරුවන්ට නිදහස් අධ්‍යාපන අයිතිය සම්පුර්න ලෙස හිමිවන්නේ ද 1970 දක්ෂකයේදීයි. නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ 1945ට න් පසු දශක ගණනකට පසුයි.

නමුත් ඔවුන්ට තවමත් අධ්‍යාපනය ලැබීමට සහ ජීවත්වීමට ලැබෙන පහසුකම් ඉතාමත් අවම තත්ත්වයක පවතියි. ඔවුන්ට ඉඩමක නිවසක තබා ලිපිනයක අයිතියවත් තවමත් ලැබී නැත.

නිදහස් අධ්‍යාපනය පැවතියද ඔවුන්ට පාසල්වලට අවශ්‍ය ගුරුවරු සහ වෙනත් සම්පත් පවතින්නේ ඉතා අවම මට්ටමකයි. ඊට අමතරව තම දෙමව්පියන්ට ලැබෙන සොච්චම් වැටුපෙන් ජීවත්වීමට අපහසු නිසාම බොහෝ දරුවන් අඩු වයසින්ම රැකියා සඳහා යොමුවීම සුලබය.

මේ නිසාම ළමා කම්කරුවන් බහුලව වතු කම්කරු දරුවන් අතර සිටියි. වතු සේවකයන්ගේ පිරිමි දරුවන් බොහෝ දුරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, වේටර්වරුන් ලෙස, ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවලට පැමිණීම දක්නට ලැබේ. ගැහැණු දරුවන් දළු කඩන්නියන්, ඇඟලුම් කර්මාන්තශාලාවල හෝ සුළු රැකියාවක නිරතවනු දක්නට ලැබීම සුලබ දසුනක් වනවා.

එවන් තත්ත්වයක් තුළ වතු සේවකයෙකුගේ දරුවෙකු විශ්වවිද්‍යාල වරම් ලබා උපාධිය සම්පූර්ණ කිරීම ඉතා කලාතුරකින් සිදුවෙන්නක් වූ තත්ත්වයකදී පුන්නියා සෙල්වන් හට ඔවුන් ඔටුන්නක්ද පළදවා තිබීම පුදුමයක් නොවේ.

නැවතත් මෙසී දෙසට ගියහොත් සමාජයේ සිටින පුන්නියන් සෙල්වන නියෝජනය කරන පන්තියේ දරුවන්ට සියලු දෙනාට අධ්‍යාපන අයිතිය හිවිය යුත්තකි. අධ්‍යාපනය මුදලට විකිණීම ආරම්භ කිරීම යනු එවැනි දරුවන්ගේ එම අයිතිය අහිමි කිරීමයි.

leave a reply