මජිකාමේන්තේ තුල සත්‍යය සියුම් ලෙස කවි වලට ගෙන ඇති අයුරු අපූර්වජනකය.

ජාන්නි රොදාරි නම් කවියා විසින් රචිත කවි එකතුවක් සිංහල බසට හැරවීමේ වෑයමක සාර්ථක ප්‍රතිඵලයකි, මජිකාමේන්තේ. ජාන්නි රොදාරි නම් නාමයම ශ්‍රී ලාංකික සාහිත්‍යය ක්ෂේත්‍රයට නව නාමයකි. මෙයට පෙර අසා නොමැති කවියෙකි. කවියා පිළිබඳ කෘතියේ සඳහන්ව ඇති විස්තරයේ දැක්වෙන පරිදි 1920 වසරේ ඔක්තෝම්බර් මස 23 වැනිදා ඉතාලියේ පියමොන්තේ දිස්ත්‍රික්කයට අයත් ඔමෙඥා ගමේ උපත ලද ජාන්නි රොදාරි, ලොව පුරා දරුවන්ගේ බුද්ධියට ගැඹුරු බලපෑමක් ඇතිකිරීමට සමත් වූ කවියෙකි. එමෙන්ම ඉතාලි ළමා සාහිත්‍යයේ ආදරණීයම සාහිත්‍යවේදියා වන්නේද ඔහුය. ජාන්නි රොදාරි, ළමා සාහිත්‍යයට කළ සේවය ඇගයීමට ළමා සාහිත්‍යවේදියෙකුට එක්වරක් පමණක් හිමිවෙන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සම්මානයෙන් 1970 වසරේදී පිදුම් ලැබුවේය.

එමෙන්ම මෙකී කෘතිය පුරාවට ඇත්තේ ළමුන් වෙනුවෙන් ලියැවුණු කවිය. ඔබ පුදුමයට පත්වනු ඇත. එතරම් සුවිසල් පරිකල්පනයක් සහිතව දරුවෙකු කුඩා කල පටන් සමාජයට ආදරය කරනා දරුවෙකු බවට පත් කිරීම මෙන්ම සත්‍යය එතරම් සියුම් ලෙස කවි වලට ගෙන ඇති අයුරු අපූර්වජනකය.

මම මෙම කෘතිය කියැවූයේ කවි සියල්ල මුලින් කියවා පසුව පරිවර්තකයන්ගේ විස්තරය සහ කවියාගේ විස්තරය කියැවීම යන පිළිවෙලටයි. එවිට පුදුමයට පත්වීම අහඹුවක් නොවනු ඇත. මා මේ කවි සියල්ල කුඩා දරුවන් වෙනුවෙන් ලියැවුණු බව නොදැන රස වින්දෙමි. ඒවා එතරම්ම අරුත්බරය. සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය වෙනුවෙන් කවියා ගොඩ නගා ඇති උපහැරණ මනරම් ය. පරිසරය ආශ්‍රයෙන් යම් යම් දේ විෂය කොටගනිමින් කවියා සමාජ යථාර්ථය සහ දරුවෙකු කුඩා කල පටන් යහපත්, අපක්ෂපාතී පුරවැසියෙක් කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතුමය.

ඔබට මේ සියල්ල පිළිබඳ අවබෝධයක් ගත හැකි එක් කවියක් මම මෙහි උපුටාදක්වමි.

අහස සැමට

ඇසූ පිරූ තැන් ඇත්තෙකු
කියා දෙනවද මට මේ අබිරහස
අහස අයිතියි හැම ඇසකටම
ඒ ඇසට පෙනෙයි ඒ මුළු අහසම

එදෙස මා බලන විට ඒ අහස මාගේය
ළමයෙකු, රජෙකු, උයන්පල්ලෙකු
මහල්ලෙකු, පිරිසිදු කරන්නෙකු
බලන විට ඒ අහස ඔවුන්ගේය
කවියෙකු එදෙස බලන විට
ඒ අහස ඔහුගේය

අන්ත අසරණ දුප්පතාද
අහසේ අයිතිකරුවාය
බියෙන් සලිත හාවාටත්
සිංහයාට සේම අහස අයිතිය

සෑම ඇසකටම අහස අයිතිය
ඒ වාගේම
සෑම ඇසකටම ඕනෑ නම්
හැකිය දකින්න
පුන්සඳත් හිරුත්
කඩා වැටෙන තරුත්

කිසිම අඩුවක් පාඩුවක් නැතිවම
හැම ඇසටම හසුවෙනවා හැමදේම
අවසානයට අහස දෙස බලන්නාටත්
දිදලනු පෙනෙයි එය අඩුවක් නැතිවම

ඉතින් මට කියා දෙන්න
ගද්‍යයෙන් හෝ පද්‍යයෙන්
අහස තනි යායක්ම පවතිද්දී
මහපොළොව කැබලි වූයේ මන්ද?

උපුටාගැනීම : මජිකාමේන්තේ

ඉහත කවිය තුළ කවියා අහස සහ පොළොව යොදාගනිමින් කවියා සමාජ සමානාත්මතාවය පිළිබඳ කුඩා දරුවන්ගේ මනසට ඇඳ පෙන්වන චිත්‍රය අරුමැසි නොවේද? මෙවැනි කවි තිස් හයකින් සැදුම්ලත් මෙකී කාව්‍ය සංග්‍රහය අප රටේ නම් දරුවන්ට පමණක් නොව, සියලු වැඩිහිටියන්ටද ඉතා සුදුසුය.

අවසාන වශයෙන් කෘතියෙහි නාමය අපට නුහුරුය. නමුත් පරිවර්තකයින් විසින් එකී නුහුරුභාවය තුළ හුරුපුරුදු භාවයක් ඇති කිරීමට කටයුතු කොට ඇත්තේ එකී නාමයෙහි අරුත සිංහලෙන් දක්වාලමිනි. එය මෙසේය, මජිකාමේන්තේ යන්න සිංහලට නැගූ විට අර්ථය වන්නේ, “මැජික් හිත” යන්නයි.

එසේ නම්, ජාන්නි රොදාරිගේ මැජික් හිතට පිවිසෙන්නට ඔබටත් ඇරයුම්…………..!!!

 

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...