Breaking News

පංති විප්ලවයක් අභියස ???

අරුණි සමරකෝන්

මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ, නව ලිබරල් වාදී, ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් පෝෂිත ව, ඉහලට නැගුන කුළුණු අභියස සිට ජනතාවක් ගෝටාබය ජානාධිපතිවරයා ට ගෙදර යාමට බලකරමින් සිටි. එය ඉහල ධනේශ්වර බුද්ධිමය කුලකය විසින් ‘මධ්‍යම පංතියේ ‘ අර්බුධයක අවස්තාවක ලෙස නම් කර ඇත. මෙම ලිපිය ලිවීමේ මුලක්ම අරමුණ නම්, මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකා ජන නැගීසිටීම හුදෙක්ම පහළ මධ්‍යම පන්තික අර්බුදයකට පමණක් ලඝු කල නොහැකි බවට මගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීමටය.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සිවිල් යුද්ධය ආරම්භයේ සිටීම, දකුණේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගුනේ ‘ලිබරල් ධනේශ්වර ආර්ථිකය ‘ කේන්ද්‍රීයව වේ. එම ආරථික ප්‍රතිසංස්කරණ විසින් දේශපාලන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හදුන්වා දුන් අතර, 1978 ව්‍යවස්ථාව යටතේ, ‘විධායක ජාධිපති ක්‍රමය ‘ ස්ථාපිත කරන ලදී.එම ධුරයේ මුලිකම අරමුණ නම්, දේශපාලන අස්තාවරත්වයකින් තොරව ආණ්ඩුකරණය සහ සංවර්ධනය පවත්වා ගෙන යාමය. කෙසේනමුත්,මේ ගෙවෙන මොහොතේ, ශ්‍රී ලංකාව තුල, ආණ්ඩුකරන අස්ථාවරත්වය නිර්මාණය කර තිබෙන්නේ ද මෙකි විධායක ජාන්ධිපති ක්‍රමය විසිනි. එනම්, ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හා සමවන ලෙස ගමන් කල හැකි දේශපාලන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට ද, ලිබරල් ධනේශ්වර නියෝජිතයන් අසමත් වී ඇත.

මෙම ලිබරල් ධනේශ්වර ක්‍රමයේ දැඩි ම බිඳවැටීම ශ්‍රී ලංකාව තුල සනිටුහන් වනුයේ, වාර්ගික යුද්ධය සමඟිනි. මෙම යුද්ධය සමඟින්, ලිබරල් මුහුණුවර මිලාන වී ධනේශ්වර ක්‍රමයේ දේශීය නැගීසිටිමක් ලෙස ජාතිකවාදය සහ හමුදාකරණය ඉදිරියට පැමිණෙන ආකාරය හඳුනා ගත හැකිය. එය පරාජය කල හැකි වාමාංශික දේශපාලනයක් ශ්‍රී ලංකාව තුල නොවීම හේතුවෙන්, මෙම වාර්ගික ජාතිකවාදී දේශපාලනය හමුදාකරණතෙක් වර්ධනය විය. දකුණේ ශ්‍රමය මෙම ජාතිකවාදය තුල ස්ථානගත වුයේ, හමුදා සොල්දාදුවෙකු ලෙස හෝ ඇඟලුම්කර්මාන්ත ශාලා ශ්‍රමිකාවක ලෙසිනි.එම ජාතිකවාදී ප්‍රතිසංස්කරණ හරහා ගොඩ නැගී ආර්ථික ව්‍යූහය විසින් ස්ථාපිත කම්කරු පංතිය තම විමුක්තිය සොයා සුළු ධනේශ්වර ආයතන වන ආගම සහ ධනේශ්වර කළාව වෙත අවධානය යොමුකරන ලදී. උදාහරණ ලෙස පිච්ච මල් පුජා කරමින්, රන් ආලේපිත පිළිම සහිත පන්සල් / අසපු වෙත ඇදෙමින් තමන්ගේ ශ්‍රම වේදනාවෙන් මිදීම ඔවුන් බලාපොරොත්තු විය. එසේම, ධනේශ්වර ක්‍රමයේ ගුවන් විදුලි වැඩසටහන් වෙත ඇදෙමින්, තමන්ගේ විනෝදය සෙවීමට උත්සුක විය. මෙවැනි පසුබිමක ලිබරල් දේශපාලන ක්‍රියාකාරිත්වය වන ‘වැඩබිමේ අයිතිය ‘ හරහා, ශ්‍රම සුරාකෑම යම් දුරුකට වලකන ප්‍රතිසංස්කරණ සකස්වූ පසුබිමක් පමණක් ඇති වූ අතර එය පංති විඥානය වර්ධනය සඳහා ප්‍රමාණවත් නොවිය.

එසේම යුද්ධය ද ජාතික ආරක්ෂාව ලෙසට වර්ධනය වෙමින්, සංවර්ධනය වෙනුවෙන් අත්‍යවශ්‍ය බවට තීරණ කරන ලදී. එම යුද්ධයට ශ්‍රමය දකුණේ සමාජයෙන් සැපයිනි. උතුරේ සමාජය තුලද, ජාතික විමුක්තිය ධනේශ්වර ප්‍රතිසංස්කරණ සමඟ සම්බන්ද වූ ආකාරයක් දැකිය හැකි විය. උතුර සමඟ සම්බන්ද විය හැකි පන්ති ව්‍යාපාරයක් ඒ අවදියේ දී නොවූ අතර සමබන්ද වූ ප්‍රමාණය ද උතුරේ සහ දකුණේ ඉහල මාධ්‍ය පංතිය ට පමණක් සිමා වූ ආකාරය දැකිය හැකිය .

මෙම ඉතිහාසය අද නැවත අභිමුක වන අකාරය දැකිය හැකිය. තිස් අවුරුදු යුද්ධ තුලදී උතුරේ ජනයා විවිධ අහිමි කිරීම වෙත විෂය විය. අද පැය 10ක් -13ක් විදුලිය අහිමි කිරීම් එදා උතුරේ සාමාන්‍ය තත්වයකි. අද රෝහලේ ශල්‍යකර්ම නැවතීම, එදා උතුරේ ජනයා ද මුහුණ දුන් ගැටලුවකි. 2008 පමණ වන විට, ශ්‍රී ලංකා හමුදාව යුධ මුක්ත කලාප ලෙස නම් කල පෙදෙස් වෙත නොනවතින කාල තුවක්කු, ෂෙල් වෙඩි එල්ල කරන ලදී. වරක් මට කිලිනොච්චියේ දී හමුවූ කාන්තාවක් පැවසුවේ, සමහර මිනිස්සු මිය ගියේ, රාත්‍රියේ දී, හමුදා ප්‍රහාරයන් ගේ මිදීම වෙනුවෙන් , කැලේ සැඟවීමට යාමේ දී, සර්පයන් දෂ්ට කල පසු, නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් බවය. මෙහිදී තවත් මතක් කල යුතු කරුණක් වේ . එනම්, මේ ෂෙල් වෙඩි ප්‍රහාර සිදුවන්නේ ධනේශ්වර ආණ්ඩු වූ, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව අනුග්‍රහයෙන්ය. විශේෂයෙන් ම , 2001 සැප්තැම්බර 11, දින ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරය සමඟ ඇරඹි, ‘ත්‍රාසයට එදිරි යුද්ධයේ ‘ දිගුවක් වීම ප්‍රකාශ කල හැකි වූ වාමාංශික ව්‍යාපාරයක් ලංකාවේ නොවිය.

මේ සියල්ල ඓතිහාසික කරුණු වේ. මේවා මග හැර විප්ලව ගැන කතා කල නොහැක. අද දකුණ ට සිදු වී ඇත්තේ, ජාතිකවාදය හරහා ගොඩ නැගී හමුදාකරණය සමඟ වූ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය වෙත මුහුණ දීමටය. එම අර්බුදය උතුර තුල විශාල විනාශයක් සිදුකරන ලදී. උතුරේ දී මෙන්ම දකුණේ දී ද මේ අර්බුධය හරහා වඩාත්ම මර්ධනයට ලක්වන සහ පිඩනයට ලක්වන ප්‍රජාව නම් ශ්‍රමය හැරුණු විට කිසිදු ඉපයීමේ මාර්ගයක් නොමැති වූ ජනතාව වේ. ඔවුන් නව කම්කරු පන්තිය ලෙස මම නම් කරමි. එම කම්කරු පන්තිය, ගෙවීමේ ක්‍රමයට, ජිවත් වන අතර , මාසික වැටුප, නව ලිබරල් ජිවන පිළිවෙත් පවත්වා ගැනීමට භාවිතා කරයි. ඔවුන්, නිදහස් වෙළඳ කලාපයේ සිට වානිජකරණ වූ බැංකු ක්ෂේත්‍රය දක්වා විහිදී ඇති බවට මගේ යෝජනාව වේ. මේ කම්කරු පන්තිය, නව ලිබරල් යෝජනා හේතුවෙන් අරබුදයට ගොස් ඇත. එම අර්බුදය තුල ඔවුන් තව දුරටත් මර්ධනයට ලක් වීමට ඉඩ තබන්නේ ද නැතිනම් විකල්ප දේශපාලනයක් වෙත ප්‍රවේශ වන්නේ ද යන්න වාමාංශික දේශපාලනය විසින් තීරණය කල යුතුය.

මෙම නව කම්කරු පන්තිය විසින්, ජාතිකවාදී ආර්ථිකය වෙත කරන අභියෝගය, මෙම ආණ්ඩුව විවිධ ස්වරුපයෙන් මර්ධනය කිරීමට උත්සහා කරමින් සිටි. නිදසුනක් ලෙස, පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් සාමකාමිව සිදුකරන ලද පාගමන වෙත ගලහා මංසන්දියේ දී එල්ලවන ප්‍රහාර සජීවීව විකාශය කරනු ලැබුවේ එම ප්‍රහාරයන් ගේ ම විනිදිතයකු විසිනි. එම කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ, විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයට දිව යන ශිෂ්‍ය ප්‍රජාව, තම දෑස් සොදාගනු ලැබුවේ, කොළපැහැති වූ පොකුණේ ජලයෙනි. කඳුළු ගෑස් වෙනුවට, ෂෙල් ප්‍රහාර එල්ල කිරීම් උතුරේ සිදුවූ අතර , ජනතාව ජීවිතය රැකගැනීම වෙනුවෙන් බංකර් වෙත දිව ගිය අයුරු සිහි කැඳවිය.

මෙසේ කඳුළු ගෑස් කමින් සිදුවන විරෝධතා දැක්වීම් , මධ්‍යම පන්තියේ අර්බුදයක් ලෙසට පමණක් හුවා දැක්විය නොහැකිය. මේ විරෝධතා හොදින් විමර්ශනය් කිරීමේ දී, ජනප්‍රිය කතාව ‘GO HOME GOTA ‘ වුව ද ඒ තුල ගෝටා ඇතුළු ජාතිකවාදීන් විසින් රෝපණ කළ ද්‍රෂ්ටිවාදය ට විරෝධයක් ඇතිවී ඇත. උදාහරනයක් ලෙස, ජනප්‍රිය හාමුරු චරිත මෙම අවකාශයන් ගෙන් පලවා හැරීම ; දරුවන් ද සමඟ විරෝධය පෑම වෙත පැමිණීම ; හැලි වලන්වලින් පිටවන ශබ්ද විරෝධය; සාමාජ මාධ්‍ය හරහා වන විරෝධය; විරෝධතාව වෙත වන නීතිමය පහසුකම් සැලසීම . මේ සියල්ල තව දුරටත් එක පංතියක අර්බුධයක් රැකගැනීමක් ලෙසට ම පමණක් නිර්වචනය කල නොහැකිය. එය නව පංතියක ආරම්භයක් වේ. එසේම නව විරෝධතා සංස්කෘතියක ආරම්භය; භාෂාව නව ආරක් ගැනීම. වඩාත්ම , එම භාෂාව ජාතිකවාදියට එදිරි වන ආකාරයක් දැක ගත හැකි වීමය. මේ තමා ඉරිදියේ දී විප්ලව සිදුවිය හැකි ආකාර වනු ඇත්තේ. එය තව දුරටත්, මගේ මිතුරිය අනුෂ්කා ගේ වදනින් ම පවසන්නේ නම් ‘මැනුවල් එකක් හරහා තීරණයව ‘ සිදු නොවෙනු ඇත.

ලිපිය අවසාන කරමින්, මා අවධාරණය කරනුයේ, මෙය නව පංතික් විසින් නව දේශපාලන ධාරාවක් වෙනුවෙන් සංවිධායන වීමක් ලෙස භාරගත යුතුය. එය එලෙසම ඉතිහාසය තුල ද සටහන් විය යුතුය. මෙම නැගී සිටීමේ දී ස්ත්‍රීන් ගේ දායකත්වය නොසලකා හැරිය නොහැක. දරුවන් ද සමඟ මෙම අරගලය වෙත එක් වූ ස්ත්‍රීන් විරෝධතා පෑම විවිධාකාරයෙන් සිදුකළ ආකාරය දැකගත හැකි විය. එම ස්ත්‍රීන් විවිධ තලයන් නියෝජනය කරන ආකාරය ද දැක ගත හැකිවිය. මෙම නව පන්තික දේශපාලනය ආමන්ත්‍රණය වෙනුවෙන් වාමාංශික දේශපාලනයක් ගොඩ නැගීම අත්‍යවශ්‍ය වන අතර එම දේශපාලන තුල දකුණු ආසියානු කලාපය සමඟ හෝ අවම වශයෙන් සහයෝගිතා සම්බන්දයක් ගොඩ නැගිය යුතුය.

අරුණි සමරකොන්

leave a reply