Breaking News

ඇත්ත දෙස නොබලා ඇත්ත කියන අයට ගල් ගැසීම – කාටුනයක් වටහා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

අවන්ත ආටිගල විසින් ඇදි කාටුනයක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළවන අතර, ජාතික ජනබලවේගය සහ ජ.වි.පෙ නියෝජනය කරන සහෘදයන් එම කාටුනය සම්බන්ධ කෝපයෙන් ප‍්‍රතිචාර දක්වා ඇත. අවන්ත පවසන්නේ නුගේගොඩ රැළියේදී සෙනග කන්දරාවක් රැස් කළද ඡන්ද පෙට්ටිවලට ඡන්ද එකතු නොවීමේ ඉරණම ගැන ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කළ යුතු බවය. (මැතිවරණයකට පසුව මෙවැන්නක් පළ කිරීමට වඩා අධික සෙනගක් නිසා මන්මත් වූ අවස්ථාවක මෙවැනි කාටුනයක අරුත වැදගත්ය)

දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් වැඩ කිරීමේදී අධික ජනකායක් සහභාගි වන රැස්වීම් වලින් සියල්ල සපුරා ගත හැකි වේ යැයි සිතිය නොහැකි බව මීට පෙර අවස්ථාවකදිත් ජා.ජා.බ. සම්බන්ධ සටහනකදී මවිසින් අදහස් පළ කර ඇත.(-)

ගතානුගතිකව සිතීමේදී බලය සඳහා යන ගමනේදී මහා සෙනගක් අප පසුපස පැමිණීම පමණයි අවශ්‍ය. නමුත් වාම දේශපාලන අරමුණු සඳහා වෙනස්කම් කිරීමේදී අප සමග ජනයා පැමිණීම මෙන්ම ඔවුන් වෙනස් මිනිසුන් බවට පත්වීම සහ ඒ හා සමගම අප තුළද ඒ වෙනස්කම් සිදු විය යුතු බව අවධාරනය කරගත යුතුව ඇත.

ජාතික ජන බලවේගය තුළ දේශපාලන පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අපට ඇති විවේචනය ප‍්‍රධාන වශයෙන් ගොනු වෙන්නෙත් එම වෙනස්කම් නොවීමේ පදනම තුළය. මූලික වශයෙන් 2001 සිට වත්මන් දේශපාලන ව්‍යසනයට දායක වෙමින් තමන් ඉටු කළ භූමිකාව සම්බන්ධයෙන් ජ.වි.පෙ. සාමාජිකයාගේ හෝ ජ.වි.පෙ. වෙත ආශිර්වාද කරනවුන් තුළ ඇගයීමක් නැත. 2011 ජ.වි.පෙ. වෙතින් ඉවත්ව වෙනම දේශපාලන ගමනක් යන්නට ජ.වි.පෙ. ක‍්‍රියාකාරිකයන්ව සිටි මා ඇතුළු පිරිසකට බල පෑ සිදු වූ ප‍්‍රධාන හේතුව වන්නේද වාම දේශපාලන ගමනක් වෙත නැවත යාමට ජ.වි.පෙ. නිල නායකත්වය අකැමැති වීමයි. අදත් පෙ.ස.ප. දෙ‍්‍රා්හීන් ලෙස නම් කිරීමේත් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පක්ෂය කළ යෝජනාව ඉවත දැමීමේ නිශේධනාත්මක තර්කයට මූලික හේතුව එයයි. (ලාල්කාන්ත සහෝදරයා(?) විසින් මෑතකදී සිදු කළ රූපවාහිනී සංවාදයකදී ඒ බව අවධාරනයකර තිබුණා) 2010 වසරේදී සිදු කළ ස්වයංවිවේචනාත්මක හැරී බැලීමෙන් පසුව පවා එවැනි නිවැරදි වාම දේශපාලන ගමනක් වෙනුවට දක්ෂිණාංශික ජනප‍්‍රියවාදී දේශපාලනය වෙත ගත් ප‍්‍රවේශය අපගේ විවේචනයට ලක් විය.

එවැනි ස්වයංවිවේචනයක් සිදු නොවීම නිසා අදත් ජ.වි.පෙ. සහෝදර සහෝදරියන් ධනපති පක්ෂ සමග සහයෝගයෙන් වඩ කරමින් කළ දේශපාලන වෙනස් කම් ගැන පුරසාරම් කියනු අසන්නට ලැබේ.
කෙටියෙන් කිව හොත්,

???? 2001 පරිවාස ආණ්ඩුව ගැන,
???? 2004 සන්ධාන ආණ්ඩුව ගැන
???? 2005 මහින්ද ජනාධිපති කිරීමට වැඩ කිරීම ගැන,
???? 2007 යුද්ධයේදී ධනපති ආණ්ඩුවේ අරමුණු ජයග‍්‍රහණය කරවීමට මතවාදිමය හා සංවිධානමය ශක්තිය රාජ්‍ය මර්දන යන්ත‍්‍රයට ලබාදීම ගැන (දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සිට බංකර් තැනීම හා උතුරේ ඉලක්කවලට බර අවි වලින් පහරදීම දක්වා)
???? ජනතා අරමුණු දේශපාලනයේ ප‍්‍රමුඛ අරමුණ ලෙස සැලකීම වෙනුවට පාර්ලිමේන්තු බලය වැඩි කර ගැනීම වෙනුවෙන් වැඩ කිරීම

දක්වා සිදු කළ ජ.වි.පෙ. දේශපාලන ක‍්‍රියාකාරිත්වය සම්බන්ධ කම්පාවක්, පශ්චාත්තාපයක් නොමැති නම්, තවදුරටත් වාම දේශපාලනයක ඉදිරි ගමනක් නැත. අප තවමත් පෙළන ඒ බරපතළ වැරදි නිසා සිදු වූයේ වාම දේශපාලනයේ වැරදීම් යයි සරලව කිව නොහැකිය. උතුරෙත් දකුනේත් පීඩිත තරුණ පරපුරක් යුද උන්මාදයට ඇද දමා ජීවිත විනාශ කිරීමේ සිට දක්ෂිණාංශික ජාතිවාදී ආගම්වාදී මතවාද සමාජය තුළ පැලපදියම් කිරීම(අදත් අප සමාජය රාජපක්ෂවාදයෙන් ගැලවීමට නොහැකි උගුලත් එයමය) දක්වා එම අපරාධකාරී ඉතිහාසයෙන් කැඩී වෙන් නොවී වාම දේශපාලනයක් ඉදිරියට ගෙන යා නොහැකිය. එම කැඩී වෙන්වීමේ මූලික අවශ්‍යතාවක් වන්නේ වැරදි පාරක ගමන් කිරීමේ දේශපාලන ප‍්‍රශ්නය හ`දුනාගැනීමය, එනම්, මැද පාන්තික ජනප‍්‍රියවාදී බලවේගයන්ගේ මතවාදයට යටවීමේ වරද පිළිගැනීමය.

නැවත අවන්තගේ කාටුනය වෙත එමු.

වාම ප‍්‍රවේශයක් නැති දේශපාලන ගණන් බැලීම් හේතුවෙන් කාටුනයේ ඉහත අවන්ත ආටිගල ප`කාශන කරන දේශපාලන අදහස වටහා ගන්න සමත් දේශපාලන සවිඥානකත්වයක් ජ.වි.පෙ. ඇතැම් සහෘදයන්ට ලැබී නෑ. ඇතැම් වමේ මිතුරන් විසින් ජා.ජ.බ. වාමාංශික බලයක් ලෙස හුන්වමින් ගෙන යන මිතුරු සංවාදයට ආශී්ර්වාද කරමි. නමුත් වාම දේශපාලන දෘෂ්ටියක් මත වාම වැඩපිළිවෙළක් මත ගමන් නොකොට, ජ.වි.පෙ. නායකයන් විසින් නැවත නැවත උසුරුවන ක‍්‍රමවේදවිල්න අප සමාජය මුහුණ දී ඇති අර්බුදයෙන් ගැලවීමක් නැති බව නම් කිව යුතුය.

???? වංචා දූෂණ නැතිකරන, (ධනවාදය හෝ සමාජවාදය වැනි වචන භාවිතයෙන් වැළකීමට ප‍්‍රවේශම් වන)
???? නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට ශපථ කරන (ධනපති නීතිය යනු පාලකයාගේ නීතිය මිස පීඩිතයාගේ ආරක්ෂාවක් එයින් නොමැති බව ඔප්පුවී තිබියදීම)
???? පාර්ලිමේන්තු බලයක් ගැන සහ ධනපති නියෝජන ක‍්‍රමයේ මාවත දිගේ බහුජනතාව ඇද ගෙන යන (ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පක්ෂ සංවිධානයේ පවා භාවිතයක්

නැති නිසාත් ඇත්තේ මන්ත‍්‍රීකම් වැඩි කරගැනීමට ජනයා කරමතින් යාමේ සිහිනයක් නිසා, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යාජයක් බව ප‍්‍රසිද්ධියේ කීමට අකැමැති) දේශපාලන නායකත්වයක් මේ රටේ ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස සැළකිය නොහැකිය.

මේ අර්ථයෙන්, ජාතික ජනබලවේගය, හි එක්ව සිටින සාතිශය බහුතරයක් අවංක ගැහැනු හා පිරිමි ආරෝපනය වී ඇති අවංක අරමුණු තිබියදීම ඉතිහාසයේ තමන්ට කරන්නට ඇති භූමිකාව වෙනුවට මැතිවරණ ව්‍යාපාරයක භූමිකාව වෙත පිරිහී යාම ගැන කම්පා වෙමි. එය එසේ නොවේ යැයි කීමට හැකිද? ආරම්භක අවස්ථාවේ ගාලු මුවදොරට අධික ජනකායක් රුස් කරමින් ජ.වි.පෙ. ඇති කළ සමාජ අවධානය අදත් ඊට වැඩියෙන් ඇති බව නිසැකය. නමුත්, අවම වශයෙන් කාටුනයකින් ඉදිරිපත් කරන දේශපාලන අර්ථය වෙනස් කිරීමට අවධානයක් නොමැති නම්, එම කාටුන් ශිල්පියාට බැන අඩගැසීම සමාජ මාධ්‍ය තුළ සිදු කරන විට අපට කිසියම් අවදානමක් ඇති බව වැටහේ. එවැනි තත්වයක් විසින් අප නැවත නැවතත් කැඳවා ගෙන යන්නේ සිදු වූ දේශපාලන වැරදි හරි හැටි කයවා නොගත්, වෙනස්කම් සදහා වූ දේශපාලන මාවත වටහා නොගත් ඛේදජනක නායකත්වයක් සහිත ජනප‍්‍රිය බලවේගයක් අප හමුවේ ඇති බවය. එනයින් අපගේ වගකීම ඇත්තේ ඇත්ත බලාපොරොත්තුවක් සහිත ජනතාව සංවිධානය කිරීම පිණිස වමේ දේශපාලනය හමුවේ ඇති අභියෝගය ජයගැනීමටයි.

(- අවන්තගේ කාටුනය දෙස බැලීමෙන් කේන්ති නොගෙන, මෙම දේශපාලන අදහස භාර ගන්නත් එය වෙනස් කරන්නත් ජාතික ජන බලවේගයේ වැඩ කරන සහෝදර සහෝදරියන්ට ප‍්‍රඥාව සහ ධෛර්ය ලැබේවා! )

චන්දන සිරිමල්වත්ත

leave a reply