පසුගිය දිනවල ලංකාවේ දකුණු සහ බටහිර දිග ප‍්‍රදේශවල සිදුවූ දරුණු ගංවතුර සහ නායයාම් තත්ත්වයන් හේතුකොට ගෙන මරණ තිහක් පමණ වාර්තා වී ඇත. එසේම දහස් ගණනක් වූ අවතැන්වීම්, නිවාසවලට සිදු වූ හානි, යටිතල පහසුකම්වලට සිදු වූ අලාභ සියල්ල එක්ව ගෙන සැලකූ විට මේවාට වගකියන්නේ කව්ද යන ප‍්‍රශ්නය පැන නැගේ. දේශගුණික විපර්යාසවලට පමණක් ප‍්‍රශ්නය ලඝු කර සැලකිය හැකි වේද? මතුපිටින් පෙනෙන පරිදි ප‍්‍රශ්නය ස්වභාවික එකක් වුවද එය ගැඹුරින් සලකා බැලීමේදී එම ප‍්‍රශ්නය දේශපාලනීකරණය වී ඇති බව ඒ පිළිබඳ විද්‍යාත්මක දත්ත ගවේශණයක් තුළින් තේරුම් ගත හැකිය. සැලසුම් සහගත නොවූ සංවර්ධන ව්‍යාපෘති, එසේම ආපදා අවදානම් කළමණාකරණ උපායමාර්ගවල පවතින අකාර්යක්ෂමතාවය විශේෂයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවල ඇති අසමත්භාවය මෙම තත්ත්වය වඩා උග‍්‍ර තලයකට ගෙන ගොස් ඇත. මේ සියල්ල තුළ ඇත්තේ ආපදා කළමණාකරණය දේශපාලනීකරණය වී එය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීමයි.
අද වන විට කැලණි, කලූ, අත්තනගලූ ඔය, ගිං සහ නිල්වලා ද්‍රෝණිය දැඩි ව්‍යසන තත්ත්වයකට පත්ව ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අර්ථ දක්වා ඇති පරිදි සුලූ ගංවතුරේ සිට මහ ගංවතුර තත්ත්වයක් දක්වා ගංවතුර වර්ධනය වී ඇත.
මෙවැනිම තත්ත්වයකට 2016 ද රට මුහුණ දුන් අතර එහිදී ද සැලකිය යුතු තරම් ජීවිත සහ දේපළ හානි සිදු විය. එසේම 2017 සහ 2018 වසරවල ද ගංවතුර අපට මහත් ව්‍යසන ගෙන දුන්නේය. ඉහත කී සෑම ප‍්‍රධාන ව්‍යසනයකින් පසුවම පුරුදු පරිදි රජය ජනතාවට සහතික වන්නේ අනාගත ව්‍යසනවල බලපෑම අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසමිනි. අනෙකුත් දේශපාලන පොරොන්දු මෙන්ම එම පොරොන්දු ද හිස් සහ අර්ථශූන්‍ය වී ඇත. එම පොරොන්දු කිසිදා ඉටු නොවන ඒවා බවට පත්ව ඇත.
රත්නපුරයේ පසුගිය දා ඇති වූ සිදුවීමෙන් පෙනී යන කරුණ නම් ඉදිරියේදී ඇතිවන මෙවැනි ව්‍යසනවලින් මහජනතාව ආරක්ෂා කිරීමේ වගකීමක් සහ වගවීමක් රජයට නොමැති බවයි. භූමිකම්පා මෙන් නොව ලංකාවේ ඇතිවන ගංවතුර යනු අනතුරු ඇඟවීම් සහ වැලැක්වීමේ පියවරයන් ගැනීම සඳහා සෑහෙන තරම් කාලයක් පවතින ක‍්‍රියාවලියකි. ඒ නිසා සැලසුම් සහගත විද්‍යාත්මක ප‍්‍රවේශයන් මඟින් මිනිස් ජීවිත බේරා ගැනීමට ඕනෑවටත් වඩා අවකාශ අපට ඇති බව සඳහන් කළ යුතුය.
ගංවතුර හේතුවෙන් පවුලක් මිය යාමෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ සහ ප‍්‍රතිචාර පද්ධතිවල ඇති අකාර්යක්ෂමතාවය සහ නොහැකියාවයි. ඉතාමත් ප‍්‍රාථමික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියකට වුව මෙම ඛේදවාචකය වලක්වා ගත හැකිව තිබිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇති අන්දමට පූර්ව අනතුරු ඇඟවීම් සියලූ මනුෂ්‍යයන්ගේ හිමිකමකි. 2027 වන විට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මඟින් පෘතුවියේ වෙසෙන සෑම පුද්ගලයෙකුටම ආරක්ෂාව සැපයීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ Early Warning for All ව්‍යාපෘතියේ අරමුණ වේ. එම සංවිධානයේ මහලේඛම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ප‍්‍රකාශයට පත් කරන ලද මෙම වැඩසටහන ම`ගින් මෙවැනි අනතුරු පූරෝකථනය කිරීමට, පෙර සූදානම් වීමට සහ ප‍්‍රතිචාර දැක්වීමට ඇති ගෝලීය ධාරිතාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි. ඒ මඟින් ස්වභාවික උපද්‍රව වලින් ජීවිත හා දේපල හානි අවම කර ගැනීම පමණක් නොව ආන්තික හා දුරස්ථ ප‍්‍රජාවන් ඇතුළු අවදානමට ලක් වීමේ වැඩි ඉඩක් සහිත ප‍්‍රජාවන්ගේ ආරක්ෂාව සැලසීම අරමුණු කරනු ලබයි. එය ජනතාවගේ සහභාගීත්වය සමඟින් සිදුකරන ප‍්‍රවේශයක් (participatory approach) වන අතර ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන දියුණු තාක්ෂණය සහ වැඩිදියුණු කරන ලද සන්නිවේදන ජාලවල අවශ්‍යතාවය මෙන්ම අවදානම් තක්සේරුකරණයේ අවශ්‍යතාවය තදින් අවධාරණය කරනු ලබයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනයට අනුව සරලව පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතියක් යනු අනතුරුදායක සිදුවීමක් ඇති වීමට පෙර ජනතාව වෙත එය දැනුම් දීම සඳහා නිර්මාණය කරන ලද ක‍්‍රියාවලියකි. මේ ම`ගින් ආපදාවකට පෙර සූදානම් වීම සහ ආපදාවෙන් පසු එයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය වන කාලෝචිත සහ ඵලදායී තොරතුරු සැපයීම සිදු කරයි. මෙම පද්ධතිය තීරණාත්මක අංග හතරකින් යුක්ත වෙයි.
1. අවදානම හඳුනාගැනීම – උපද්‍රවයන් හදුනා ගැනීම සහ ඒවාට ගොදුරු විය හැකි ස්ථාන හා පුද්ගලයින් හඳුනා ගැනීම මඟින් ව්‍යසන ඇති විය හැකි ස්ථාන සහ ඇති විය හැකි බලපෑම නිශ්චය කිරීම
2. අධීක්ෂණය සහ අනතුරු ඇඟවීම – පාරිසරික වෙනස්වීම් අධීක්ෂණය තුළින් ආපදා හදුනා ගැනීම, දත්ත මත පදනම් වූ පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම
3. තොරතුරු බෙදා හැරීම සහ සන්නිවේදනය- අවදානමේ සිටින සියල්ලන්ට කඩිනම් සවිස්තරාත්මක අනතුරු ඇඟවීම් තොරතුරු බෙදා හැරීම
4. ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව- හදිසි ආපදා තත්ත්වයක් ඇති වූ අවස්ථාවක එමඟින් පීඩාවට පත්වන පුද්ගලයින් දේපල හා අනෙකුත් භෞතික සම්පත්වලට සිදු විය හැකි බලපෑම අවම වන ලෙස පූර්ව ක‍්‍රියාමාර්ග ගැනීමට හා ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම හා විධික‍්‍රම ඇතිබව සහතික කිරීම.
මෙම මූලික අංග අනුගමනය කිරීම තුළින් ආපදා හානි අවම කර ගත හැකි අතර අදාල තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම මඟින් ව්‍යසනයකට ඔරොත්තු දීමේ සාමාජීය හැකියාව වැඩි දියුණු කරයි.
පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ඉහළ සිට පහළට විවිධ ආකාරයේ පාලනයන්ට යටත් වේ. මූලිකව මේවා රාජ්‍ය මට්ටමෙන් පාලනය වන අතර අනෙකුත් ආයතන හා ප‍්‍රජාවන් අතර සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වේ. ඊට අමතරව මෙම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වඩාත් පුළුල් විය යුතු අතර එහිදී සියල්ලන් ඇතුලත් වන ප‍්‍රවේශ තිබිය යුතුය. මෙවැනි පද්ධතියක් මඟින් මිනිසාගේ අයිතීන් සුරක්ෂිත කිරීම මඟින් සමාජ යහපාලනය සහතික කරනු ලබයි.
2005 අංක 13 දරණ ආපදා කළමණාකරණ පනත බලාත්මක කිරීම හා ආපදා කළමණාකරණය සඳහා වූ ජාතික සභාව පිහිටුවීම හරහා ශ‍්‍රී ලංකා රජය ආපදා කළමණාකරණය සඳහා නීතිමය පසුබිම සහ ආයතනික රාමුව ස්ථාපිත කරන ලදී.
ජාතික සභාවේ නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර සියලූම දිස්ත‍්‍රික්කවලට සම්බන්ධීකරණ විශේෂ මෙහෙයුම් ඒකක දිස්ත‍්‍රික් ලේකම් යටතේ ස්ථාපිත කර ඇත. ජාතික සභාවේ ප‍්‍රධාන පරමාර්ථය වන්නේ ආපදා අවම කිරීම සහ හදිසි ආපදා තත්ත්වයන් කළමණාකරනය කිරීම සඳහා පක්ෂ විපක්ෂ සහ පලාත් සභාවල සහභාගීත්වයෙන් ජාතික වශයෙන් වැදගත් ප‍්‍රත්පත්තිමය තීන්දු තීරණ ගැනීමය.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන මෙම ජාතික සභාව පසුගිය දශකය තුලම අක‍්‍රිය තත්ත්වයේ පැවතිණි. එනිසා ආපදා කළමණාකරණය සම්බන්ධ රටට වැදගත් තීන්දු තීරණ ගැනීම වෙනත් ව්‍යුහයන් හරහා සිදු කිරීමට යහපාලන සමය සහ ඊට පසු පත්වූ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම වත්මන් ජනාධිපති ද ක‍්‍රියාකර ඇත.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට පත් කර ඇති අමාත්‍යවරුන් ප‍්‍රාදේශීය මට්ටමින් සැබෑ අවදානම අඩු කිරීමට වඩා බොහෝ විට පුද්ගලික දේශපාලන අවශ්‍යතා මත මෙහෙයවනු ලබන ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සහ පශ්චාත් ආපදා සහන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ පත් වූ එම විෂය භාර අමාත්‍යවරුන් පූර්ණ වශයෙන් තම දිස්ත‍්‍රික්කයේ ඡුන්ද පදනම වැඩි කිරීම සඳහා ආපදා අවම කිරීම වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් වෙන් කළ මුදල් යොදවා ඇත. එම දිස්ත‍්‍රික්ක ලෙස හම්බන්තොට, කළුතර සහ කුරුණෑගල ස`දහන් කළ හැකිය. මේ සඳහා අදාල ආයතනවල ඉහළ නිලධාරීන්ගේ නොමද සහය ලැබී ඇති බව ද නොරහසකි.
ආපදා කළමණාකරණය මිලිටරීකරණය වීම තවත් ගැටලූවකි. පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයක් හැර අන් සියලූම අවස්ථාවල හෙවත් පසුගිය වසර පහළොවක පමණ කාලය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පාලනය කරනු ලැබුවේ හමුදා ජනරාල්වරුන් විසිනි. ඒ නිසාම එම ආයතනයේ මුඛ්‍ය පරමාර්ථය වන ආපදා අවදානම් අවම කිරීම වෙනුවට එයින් බැහැරව පසු ආපදා ප‍්‍රතිචාර දැක්වීම සඳහා ප‍්‍රධාන තැනක් ලබා දී ඇත. එම හේතුව නිසාම ආපදා අවම කිරීම පර්යේෂණ හා සංවර්ධන කටයුතු, අවදානම් විශ්ලේෂණය, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සංවර්ධනය කිරීම වැනි ක‍්‍රියාකාරකම්වලට දක්වන මුලිකත්වය අවම වී ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ඇතැම් ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ සුදුසුකම් සහ හැකියාවන් නොමැතිකම ආපදා අවදානම් කළමණාකරණය රට තුළ නිසිආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට අහිතකර ලෙස බලපා තිබේ. උදාහරණයක් ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම කරුණු ඉස්මතු කළද ඒවා හෑල්ලූ කරමින් දූෂිත නිලධාරීන් ආරක්‍ෂා කිරීම දිගින් දිගටම සිදු වී ඇත. එනිසා ආපදා කළමණාකරණ පද්ධතියේ ඵලදායීතාවය අභියෝගයට ලක් වී ඇත.
ආයතන අතර අන්තර් සම්බන්ධතාවය සහ ඒකාබද්ධව කටයුතු කිරීම ආපදා කළමණාකරණයේ අත්‍යවශ්‍ය අංගයකි. නමුත් එක් එක් ආයතන තනිව කටයුතු කිරීම බොහෝ විට දක්නට ලැබේ. එම නිසා ආයතන අතර ප‍්‍රමාණවත් දත්ත සහ තොරතුරු හුවමාරුවට අවශ්‍ය ඉඩ කඩ නොලැබීම තුළ හදිසි ආපදා තත්වයන්වලදී ජීවිත බේරා ගැනීම සඳහා වූ පූර්ව අනතුරු ඇඟවීම් කටයුතු විශාල වශයෙන් අභියෝගයට ලක් වී ඇත. පසුගිය සෙනසුරාදා (ජුනි 01) හදිසි ගංවතුර තත්ත්වය තුළ ජීවිත බිලිවීම මෙම තත්ත්වය මනාවට ඔප්පු කරයි. සෙනසුරාදා දින රජයේ නිවාඩු දිනයක් ද වූ බැවින් අදාල ආයතන සහ නිලධාරීන් කඩිනමින් හදිසි තීරණ සහ අවශ්‍ය ප‍්‍රතිචාර කාර්යක්සම ලෙස ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව තවත් අතකින් පෙනී යයි.
ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවල වත්මන් තත්ත්වය
ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ ක‍්‍රියාවලිය සඳහා ආයතන ගනණාවක් වග කිව යුතුව ඇත. එය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු බහුවිධ සංවිධානවල වගකීමකි. මෙම නියෝජිතායතන නිසි ලෙස සම්බන්ධ වී නොමැති අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස පරිශීලක කේන්ද්‍රීය (user-centric) අනතුරු ඇඟවීමේ යාන්ත‍්‍රණයක් වෙනුවට ආයතන කේන්ද්‍රීය (agency-centric) අනතුරු ඇඟවීමේ යාන්ත‍්‍රණයක් සකස් වී තිබේ. නිශ්චිත ප‍්‍රදේශයකට හා වේලාවක් ඉලක්ක කොට ගෙන කාලගුණ පුරෝකථන කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇත. අදූරදර්ශී දේශපාලන තීන්දු සහ අතපෙවීම් මේ සඳහා බලපා ඇත. මේ වන විට මුලූ රටටම එළිදරව් වී ඇති 2011 දී කාලගුණ පුරෝකථන සඳහා ඩොප්ලර් යන්ත‍්‍රයක් ස්ථාපිත කිරිමට කටයුතු සූදානම් කළ ද විවිධ කුප‍්‍රකට දේශපාලන බලපෑම් හේතුවෙන් එය අසාර්ථක වී ඇත. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාක්ෂණික වශයෙන් නවීකරණය වීම පසුගිය වසර විසිපහ තුළම මන්දගාමීව සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය.
ශ‍්‍රී ලංකාවේ පැරණිතම ආයතනයක් වන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල සම්පත් කළමනාකරණයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගංවතුර අධීක්ෂණ සහ අනතුරු ඇඟවීමේ සේවාවල වැඩිදියුණු තාක්ෂණයක් ලෝකයේ මේ වන විට තිබියදීත්, මෙම දෙපාර්තමේන්තුව තවමත් ස්වයංක‍්‍රීය මිනුම් ස්ථාන හරහා අඛණ්ඩ අධීක්ෂණයක් යටතේ නවීන ගංවතුර ආකෘතිකරණ (flood modelling) ක‍්‍රමවේද භාවිත කොට තත්‍ය කාලීන අනතුරු ඇඟවීම් ඉදිරිපත් කිරීමට හැකියාවන් වර්ධනය කරගෙන නොමැත. ඒ අනුව දත්ත රැස් කිරීමේ හා හුවමාරු කිරීමේ ගැටලූ, සීමිත මූල්‍ය සම්පත්, අඛණ්ඩ පුහුණුව නොමැතිකම සහ ධාරිතා ගොඩනැගීමේ ගැටලූ අභියෝගයක්ව පවතී.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය අද වන විට සිදු කරමින් සිටින්නේ තැපැල් කාර්යාලයකින් සිදු කරන කාර්යභාරයයි. ජාත්‍යන්තර සහ දේශීය තාක්ෂණික ආයතන ලබා දෙනු ලබන පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් විශ්ලේෂණය කොට ආපදාවලින් ජනතාවට, යටිතල පහසුකම්වලට, පරිසරයට ඇති විය හැකි බලපෑම් තක්සේරු කළ යුතු වුවත් වර්තමානය වන විට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තුළ එම තාක්ෂණනික හැකියාව දක්නට නොමැත. ඔවුන් සිදු කරනු ලබන්නේ පෙර සඳහන් කළ පරිදි ආපදා පූරෝකතන ආයතන මඟින් නිකුත් කරනු ලබන පණිවිඩ ඒ ආකාරයෙන්ම ජනමාධ්‍ය මඟින් මහජනතාවට මුදා හැරීමයි.
දිනෙන් දින තීව‍්‍ර වන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතිවල ක‍්‍රියාකාරීත්වය නිතිපතා නියාමනය කොට යාවත්කාලීන කිරීම අවශ්‍ය වුවත් ඒ සඳහා වැයවන මුදල් වෙන් කර ගැනීම අද වන විට විශාල අභියෝගයක්ව ඇත. මේ හේතුවෙන් පූර්ව අනතුරු ඇ`ගවීමේ යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වී ඇත.
ආයතන අතර අන්තර් සම්බන්ධතාවය නොමැති වීම නිසා පූර්ව අනතුරු ඇඟවීම් කටයුතුවල දත්ත හුවමාරු කර ගැනීම එයට අදාල විධාන සහ පාලන (Command and Controlling) උපදෙස් ලබා දීම අද වන විට දුරකථන ෆැක්ස් හා විද්‍යුත් තැපෑලට සීමා වී ඇත. මේ හේතුවෙන් පූර්ව අනතුරු ඇඟවීමේ ක‍්‍රියාවලිය අතිශයින් අකාර්යක්ෂම තත්ත්වයට පත් වී ඇත. වර්තමානයේ භාවිත වන මෙම සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් සඳහා අධික පුද්ගල ශ‍්‍රමයක් අවශ්‍ය වී ඇත. මෙම කටයුතු ස්වයංක‍්‍රීය හෝ අර්ධ ස්වයංක‍්‍රීය කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග තාක්ෂණය රට තුළ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා දියුණුව පවතී. මෙම ස්වයංක‍්‍රීය පද්ධති හරහා පූර්ව අනතුරු ඇඟවීමේ ක‍්‍රියාවලිය තොරතුරු පද්ධතියකට (Information System) පරිවර්තනය කළ හැකිය. එමඟින් පූර්ව අනතුරු ඇඟවීමේ ක‍්‍රියාවලිය වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම ආකාරයෙන් ක‍්‍රියාත්මක කළ හැකි වේ.
පශ්චාත් සුනාමි යුගයේ ජාතික ආපදා කළමනාකරණ රාමුව තුළ සැලකිය යුතු ආයෝජනයන් සිදු වුවද, දේශපාලන අවශ්‍යතා හෝ අවබෝධය නොමැතිකම හේතුවෙන් නවීකරණ ප‍්‍රයත්නයන් ප‍්‍රමාද වී ඇත. ඵලදායී පුද්ගල කේන්ද්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධති සංවර්ධනය කිරීම ඇතුළුව අවදානම් අඩු කිරීමේ උපාය මාර්ග වෙනුවට ප‍්‍රතිචාර දැක්වීම සහ ප‍්‍රතිසංස්කරණය සඳහා අරමුදල් යොමු කර ඇත. එවැනි අසාර්ථකත්වයන් සඳහා දේශපාලනඥයන් මෙන්ම ඉහළම මට්ටමේ නිල වගකිව යුතු යාන්ත‍්‍රණයක් රට තුළ ස්ථාපිත කළ යුතුය. අනතුරු ඇඟවීම් පැහැර හැරීම නිසා සිදුවන මරණ වැළැක්විය යුතු අතර වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.
වර්ෂා සමරදිවාකර