Breaking News

මාළුවෙකුගේ කුස තුළ සිලින්ජර සහ ප්ලාස්ටික් කැබලි

ආහාරයට ගැනීම සඳහා මඩකලපුවෙන් මිලදීගත් මාළුවෙකුගේ කුස තුළ සිලින්ජරයක් ඇතුළු ප්ලාස්ටික් දක්නට ලැබෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

එම මාළුවා කපන අවස්ථාව වීඩියෝ කර ඇති අතර එස්. කුගරාජ් පවසා ඇත්තේ මාළුවාගේ කුස තුළ ඝන ද්‍රව්‍යක් ඇති බවට තමන්ට දැනුනු නිසා මිතුරෙකු සමහ එය වීඩියෝ කළ බවයි.

මෙලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමග බැර ලෝහ මාළුවාගේ ශරීරයට එකතු විය හැකි අතර එම මසුන් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට පිළිකා සහ අනෙකුත් රෝග වැළඳීමේ අවදානමක් පවතින බව රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසා තිබේ.

මේ අනුව පසුගිය කාලයේ සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් පසු එහි තිබූ අපද්‍රවය සාගරයට එකතු විය. එහිදී බටහිර වෙරළ ආශ්‍රිත සාගරයට විශාල හානියක් සිදුවන්නට ඇති බව ඉහත උදාහරණය හරහා පැහැදිලි වේ. එපමණක් නොව අපේ රට සාගරයට අපද්‍රවය එකතු කරන රටවල් අතර ලෝකයෙන් පස්වෙනි තැන සිටින බව පසුගියදා හෙළිවිය.

ලෝකයේ පිළිගත් ‘ද ඕෂන් ක්ලීනප්‘ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍යයන් මුහුදට එකතු කරන ප්‍රධාන ගංගා දහස අතර ලංකාවේ ප්‍රධාන ගංගාවන් පහළොවක්ම තිබේ. මේවා අතර වැඩිපුරම ප්ලාස්ටික් අපද්‍රවය මුහුදට මුදා හරින ගංගාව වන්නේ කැලණි ගඟයි. ඒ ප්‍රමාණය වසරකට කිලෝ ග්‍රෑම් තිස් දෙලක්ෂ අසූ හතර දහසකි. ඉන් අනතුරුව දෙවැනි සමුද්‍ර දූෂකයා වන්නේ මීගමු කළපුවයි.

මෙම කළපුවෙන් වසරකට කිලෝ ග්‍රෑම් නව ලක්ෂ හාරදහසකට අධික ප්ලාස්ටික් ප්‍රමාණයක් මුහුදට මුදා හරියි. මේ අතර මහවැලි ගඟ අශ්‍රිතවත් ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් දෙලක්ෂ පනස් පන්දහසක් පමණ මහා මුහුදට ගලා යන බව ‘ද ඕෂන් ක්ලීනප්‘ වෙබ් අඩවිය සඳහන් කරයි.

ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයනයන් සඳහා වන ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව 2020 වසරේදී සුවිශේෂී අධ්‍යයනයක් සිදුකර ඇත. එම අධ්‍යයනයේදී සොයා ගත්තේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ බහුලව මයික්‍රොප්ලාස්ටික් අඩංගු බවයි. එය වැලි සාම්පලවලින් සියයට හැටක් සහ මතුපිට ජල සාම්පලවලින් සියයට හැත්තෑවක් පමණ වේ.

මේ අතර ලංකාවෙන් වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන එකයි දශම පහයි නවයක් නිපදවයි. එයින් වැඩි කොටසක් කෙළවර වන්නේ සාගරයෙන් බවත් ඒවා සියල්ල අවසානයේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ‘මළ කලාපයට’ එකතු වන බවත් ඔවුන් සොයාගෙන තිබුණි. මෙවැනි සමුද්‍රීය පරිසර දූෂණයන් නිසා ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයෙන් යැපෙන පන්ලක්ෂ හැට දහසකට අධික පිරිසකගේ රැකියා අවස්ථාද අහිමි වීමේ අවදානමක් ඇති බව ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තිබුණි.

මෙහිදී කොවිඩ් වසංගත තත්ත්වය සාගරයට එකතු වෙන කැලිකසල ප්‍රමාණය දෙගුණයකින් පමණ ඉහළ නංවා තිබේ. 2020 වසරේ සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වූයේ ලෝකයේ මුහුණු ආවරණ බිලියන පනස් හයක් නිෂ්පාදනය කර ඇති බවයි. එයින් බිලියන එකහමාරක්ම සාගරයට එකතු වී ඇති බවත් පරිසර විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත. මුහුණු ආවරණවලට අමතරව වෙනත් සායනික අපද්‍රවය වන සිරින්ජර්, ආරක්‍ෂිත ඇඳුම්, අත් ආවරණ වැනි දේ ද සාගරයට එකතුවෙන් බව පරිසරවේදීන් පවසයි. ඉහත මඩකළපුවේ උදාහරණයෙන් එය සතයක් බව පැහැදිලි වේ.

leave a reply