Breaking News

තෝරු මෝරු බේරී හාල්මැස්සන් පමණක් අත් අඩංගුවට පත් වන වකුගඩු ජාවාරම

ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ නීති විරෝධී වකුගඩු ජාවාරමක් පවතින බව මුලින්ම හෙළි කරන ලද්දේ ඉන්දියානු පොලීසිය විසිනි. 2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප‍්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සහ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණු නමුත් එම පරීක්‍ෂණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෙනත් බලවතුන් ගේ බලපෑම් මත නවතා දමන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2013 වසරේ වකුගඩු ජාවාරම පිලිබඳව කමිටුවක් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලදි . මෙම කමිටුව මගින් වකුගඩු ජාවාරම පිලිබඳ තොරතුරු අනාවරණය කර ගත් නමුත් එම තොරතුරු වකුගඩු මාෆියාවේ මුදල් බලය මගින් යටපත් කරන ලදි. වකුගඩු ජාවාරමට සම්බන්ධ වූ කිසිදු වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු වූයේ නැත. වකුගඩු මාෆියාව කිසිදු බාධාවකින් තොරව තම නීති විරෝධී මිනිස් අවයව ජාවාරම කරගෙන යන ලදි.

මීට වසර කීපයකට උඩදී යාපනය ශික්‍ෂණ රෝහල ආශ්‍රිතව වූ නීති විරෝධී වකුගඩු ජාවාරමක් පිළිබඳව පුවත්පත් මගින් හෙළි කරන ලදි. යාපනය රෝහලේ වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් වකුගඩු තැරැව්කරුවන් විසින් ගෙන එන තරුණයන් පරික්‍ෂා කොට යහපත් මට්ටමේ වකුගඩු ක්‍රියාකාරීත්වය ඇති පුද්ගලයන් වකුගඩු දායකයන් ලෙස පුද්ගලික රෝහල් වලට රහසේ යොමු කරන ලද බවට තොරතුරු අනාවරණය විය. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්‍ෂ 5 පමණ ලැබෙන අතර රංග මිගාර වීරක්කොඩිට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්‍ෂ 10 – 12 අතර මුදලක් ලැබී තිබෙන බව හෙළි කර ගන්නා ලදි . මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චන්ඳ්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්‍ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසිනි. යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිලිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහාසෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් ජි.කේ.ජි.එන්.ප්‍රියදර්ශන මහතාව විමර්ශන නිළධාරි ලෙස පත් කොට තිබුනද එම පරීක්‍ෂණ වකුගඩු මාෆියාව විසින් අක්‍රිය කොට දමනු ලැබීය.

අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙන ආකාරයට වකුගඩු දන්දෙන පිරිස අතර වැඩිපුරම සිටින්නේ බෞද්ධ භික්‍ෂූන්‍ ය. මොවුන් භික්‍ෂූන්වහන්සේලා වෙත තැරැව්කරුවන් යවමින් භික්‍ෂූන්වහන්සේලා වකුගඩු දායකයන් බවට පත් කරගෙන වකුගඩුවක් රුපියල් මිලියන 30- 40 අතර මුදලකට කළු කඩයේ විකුණති. මෙම මාෆියාවේ තැරැව්කරුවන් දැන් පන්සල් වල සැරි සරති. ඔවුන් භික්‍ෂූන්ව වකුගඩු පරිත්‍යාගයට පොලඹවති. මුලදී දානයේ ආනිසංස කීමෙන් ද පසුව මුදල් දීමෙන් ද තැරැව්කරුවෝ බෞද්ධ භික්‍ෂූන්ව රවටා ගනිති. මොවුන් ගේ උපක්‍රම වලට බොහෝ තරුණ බෞද්ධ භික්‍ෂූන් අසුවී තිබේ.

වකුගඩු දායකයන්ව දිරිමත් කරමින් වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් ලියන ලද පත්‍රිකාවක් තැරැව්කරුවන් මාර්ගයෙන් බොහෝ පන්සල් වලට බෙදා තිබේ. වකුගඩු දන් දෙන්නේ මෙහෙමයි” යන නමින් ලියා ඇති පත්‍රිකාවේ ඔහු මෙසේ ලියා තිබේ.

” වකුගඩු දායකයන් හට දීර්ඝකාලීන අතුරු ආබාධ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නෑ. පර්‍යේෂණවලින් පෙන්වා දෙන පරිදි අධිරුධිර පීඩනය ඇති වීමේ සුළු අවදානමක් නම් තිබෙනවා. ඒ හැර තනි වකුගඩුවක් ඇති කෙනෙක්ට විශේෂිත වූ සංකූලතා ප්‍රශ්න වීමට සුළු ඉඩක් තිබෙනවා. (උදා. ගලක් හිර වීම, පිළිකා ඇති වීම, අනතුරුවලට ලක්වීම). සාමාන්‍ය කෙනෙක්ට වඩා නිතර වෛද්‍ය අවධානයට ලක්වන නිසා, වකුගඩු දායකයන්ගේ රෝග කලින්ම හඳුනා ගත හැකි නිසා ඔවුන් සම වයසේ පුද්ගලයන්ට වඩා වැඩි කලක් ජීවත්වන බව පර්‍යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.” (වෛද්‍ය රංග වීරක්කොඩි).

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ගේ පත්‍රිකාව වකුගඩු දායකයන් නොමග යවන හා වකුගඩු දායකයන් බිළිබා ගන්නා කූට ලියවිල්ලක් ලෙස නම හෙලි කිරීමට අකමැති ප්‍රකට වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකු පෙන්වා දුන්නේය. වකුගඩු මාෆියාව විසින් දිරිමත් කිරීම නිසා බොහෝ බෞද්ධ භික්‍ෂූන් වකුගඩු දන් දී තිබේ. බෞද්ධ භික්‍ෂූන්ව රවටා ලබා ගන්නා මෙම වකුගඩු, මාෆියාව විසින් රුපියල් මිලියන 3- 4 අතර මිලකට වකුගඩු රෝගීන්ට විකුණති. සාමාන්‍යයෙන් නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 -40 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 3-5 ක අතර මුදලක් දෙනු ලැබේ. තැරැව්කරුට රුපියල් 75,000 – 100000 අතර මුදලක් ලැබේ. ඉතිරි මුදල් ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. වකුගඩු මාෆියාවේ රැකවරණය සහිතව ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු වන බව වාර්තා වේ.

2023 වසරේදී බොරැල්ල වෙස්ටර්න් පුද්ගලික රෝහලේදී සිදු කරන ලද වකුගඩු ජාවාරමට සම්බන්ධ වූ විදේශිකයන් මෙරට පදිංචි පුද්ගලයන් ලෙස හඳුන්වා දෙමින් වකුගඩු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ග්‍රාමසේවක සහතික නිකුත් කළ රාජගිරිය ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාමසේවක උපුල් ඉඳ්‍රජිත් පෙරේරා හා කොලොන්නාව වැල්ලම්පිටිය ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාමසේවක දොන් සමන් පෙරේරා යන නිලධාරීන් දෙදෙනා හා වකුගඩු ජාවාරමට තැරැව්කරුවන් ලෙස ක්‍රියා කළ බසීර් මොහොමඩ් රාජ්බ්ඩින් හා සුපුන් සංජීව යන සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදි. සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ගොනු කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ අබුඩාබි ජාතිකයකුට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා ව්‍යාජ පුද්ගලයකු නිර්මාණය කරමින් ජාතික හැඳුනුම්පතක් සකස් කර ගැනීම සඳහා පදිංචිය තහවුරු කිරීමට මේ සැකකාර ග්‍රාම නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරි සහතික නිකුත් කර ඇති බවය. වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස ක්‍රියා කල රාජිබ්ඩීන් නොහොත් බායි නැමැත්තා වකුගඩුවකට රුපියල් කෝටි එකහමාර, ලක්‍ෂ 80 ආදී විවිධ මිල ගණන් ලබාදෙන බව පවසා කොළඹ 14 සහ 15 ප්‍රදේශවල පදිංචි දිළිඳු පවුල්වල පුද්ගලයන් 4 දෙනකු සහ කාන්තාවකගෙන් වකුගඩු ලබාගෙන රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් වැනි සුළු මුදලක් ලබාදී මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 2හි ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ආර්.එම්. රත්නමලල මහතා පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෑතකදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කල පරිදි බොරැල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන වෙස්ටර්න් පුද්ගලික රෝහල විසින් දිලිඳු පුද්ගලයන් ගෙන් වකුගඩු සුළු මුදලක් ගෙවා ලබාගෙන ඒවා අති විශාල ගණන්වලට දේශීයව හා විදේශීයව විකුණා ඇත.

මිනිස් අවයව ජාවාරම් විරෝධී කණ්ඩායමක් විසින් නීතීඥ ඉඳුනිල් බණ්ඩාර මහතා හරහා වසර ගනනාවක් පුරා පවතින නීති විරෝධී වකුගඩු ජාවාරමට එරෙහිව පැමිණිල්ලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කොට ඇත. පෙත්සම්කරුවන් විසින් වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලබා තිබෙන විශේසඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් පිලිබඳව විමර්ශණයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්‍ය වජිර දිසානායක මහතා වෙත ඉල්ලීමක් කොට තිබේ. මේ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය ජයන්ත ජයවර්ධන සහ වෛද්‍ය එස් ෂන්මුගම් යන දෙපළගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණයක්
ආරම්භ කොට ඇති අතර වකුගඩු මාෆියාවේ බලපෑම් මත මෙම පරීක්‍ෂණ වලින් චූදිතයන් නිදහස් කෙරෙනු ඇතැයි වකුගඩු ජාවාරමට විරුද්ධ වෛද්‍යවරු මත පළ කරති. ඔවුන් පෙන්වා පරිදි අතීතයේ වකුගඩු මාෆියාවේ විසින් මුදල් ගෙවා වකුගඩු මාෆියාවට විරුද්ධව විමර්ශණ පවත්වන ලද වෛද්‍ය නිලධාරීන් මිලට ගත් බවය.

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව ඉතා ප්‍රබලය. වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන මෙම ජාවාරම දෙවනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණි. අතලොස්සක් වූ වෛද්‍යවරු පිරිසක් පාලනය කරන මෙම මාෆියාවේ මාසික ගෙවීම් ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සිටිති. මෙම මාෆියාව නිසා මේ වන විට ශ්‍රී ලංකාව නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන නීති විරෝධී වකුගඩු ජාවාරම නිසා ලංකාවට ක්‍රමවත්ව ගලාගෙන ඒමට නියමිතව තිබූ අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වී ඇත.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

leave a reply