Breaking News

අනුන්ගේ ජීවිතවීමේ අයිතිය වෙනුවෙන් මරණය තෝරාගත් මිනිස්සු

සුපුන් ළහිරු ප්‍රකාශ්

මේ ලෝකය කිසිම විටෙක යහපත් තැනක් නොවේ. එය යම්තාක් දුරකට හෝ යහපත් ස්වභාවයක් ගන්නේ යුක්තිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය වෙනුවෙන් කැපවූ අපේම මිනිසුන් නිසාවෙනි. ඒ පුළුල් අරගලය වෙනුවෙන් කැපවූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් අතින් ඉටුවන කාර්යභාරය ප්‍රමුඛව කැපී පෙනේ. මූලික මිනිස් අයිතිවාසිකම් යම් තරමකට හෝ ආරක්ෂාවී ඇත්තේ ඔවුන්ට පිං සිදුවන්නටය. මේ මිහිතලය යහපත් තැනක් වන්නට නම් අපට සොබාදහමෙන් ලැබුණු දායාදයන් ආරක්ෂාවීම සහ සංරක්ෂණය වීම අත්‍යාවශ්‍යය. තිරසාරව භාවිතා කළහැකි සම්පත් යුක්තිසහගත ලෙස, සාධාරණව සහ සමානව බෙදී යා යුතුය. ඔබේත් මගෙත් තරාතිරම, වත්පොහොසත්කම්, ජාතිකත්වය, කුලය ආදී පටු සීමා මායිම් නොතකා හුස්ම ගැනීමේ, ජලය පරිභෝජනය කිරීමේ සහ යහපත් පරිසරයක ජීවත්වීමේ අයිතිය තහවුරු වන්නේ එවිටය. එබැවින් අපගේ ඒකී අයිතීන් වෙනුවෙන් මරණය තෝරාගත් ඉඩම් හා පාරිසරික ආරක්ෂකයින් පිළිබඳව අප කතා නොකරම බැරිය.

දේශපාලකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, මහජන මුදලෙන් යැපෙන රජයේ ආයතන වල උසස් නිලධාරීන් තම වගකීම් සහ යුතුකම් පැහැර හැරීමේ ප්‍රතිපලයක් ලෙස අවධානමට ලක්වන භූමිය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීමට තැනුණු ආරක්ෂක වළල්ල ඔවුන්ය. නිලධාරීන් සහ බලධාරීන්ගේ නොමද පිටු බලය ලබමින් ලෝකයේ සතර දිග්භාගයේ සොබා උරුමයන් වනසන ආණ්ඩු, ව්‍යාපාරිකයින් සහ කොම්පැණිකරුවන්ට එරෙහිව තැනුණු ආරක්ෂක වළල්ල ඔවුන්ය. මේ පරිසර සංහාරයට එරෙහි අරගලය තම ජීවන අරමුණ කරගත් නිරායුධ සටන්කාමීන් පිරිසකගෙන් තැනුණු ඒ ආරක්ෂක වළල්ල පිළිබඳ කතාවය. ඔවුන්ගේ ලේ, දහදිය, කඳුළු සහ ජීවන හුස්ම පොදෙන් තැනුණු ආරක්ෂක වළල්ල පිළිබඳ කතාවය.

Global Witness යනු 2012 අවුරුද්දේ සිට ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින් ඝාතනය කිරීම් පිළිබඳ දත්ත රැස් කරමින් සිටින එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් සංවිධානයකි. එම සංවිධානය ඉකුත් සැප්තැම්බර මාසයේ නිකුත් කෙරුණු නවතම වාර්තාවට අනුව 2020 වසරේදී ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ට එල්ලවූ මාරාන්තික ප්‍රහාර සංඛ්‍යාව 227 කි. එම වාර්තාව නම්කර ඇත්තේ ‘Last Line of Defence’ යනුවෙනි. ඊට ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරීන්, ප්‍රජා නායකයින්, ආදිවාසීන් මෙන්ම බිම් මට්ටමේ රජයේ නිලධාරීද අයත්ය. වාර්තාවට අනුව මිහිතලයේ සොබා උරුමයන් රැකගැනීමට කැපවූ වීර දූපුතුන් හතර දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ඉකුත් වසරේ සෑම සතියක මරා දමා තිබේ. ඔවුන්ගේ වාර්තා අනුව 2017 සහ 2018 යන වසර දෙකේදී මරණීය ප්‍රහාර 25 ක් සිදුවී තිබු අතර 2019 දී එය 64 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ජෛව විවිධත්ව සංරක්ෂණයට හා දේශගුණික විපර්යාස අවමකර ගැනීමට අත්‍යවශ්‍ය වන ග්‍රාමීය ප්‍රජාවන්ගේ වාසභූමි, ඉඩම්, ජීවනෝපායයන් සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවුණු මිනිසුන්ට ඉතිහාසයේ අනතුරුදායකම වසර බවට පසුගිය වසර පත්වී තිබේ. තවද මෙම මාරක ප්‍රහාර එල්ල වන්නේ අන් කවරදාටත් වඩා මෙකී ආරක්ෂකයින් අත්අඩංගුවට ගැනීම, පහරදීම, බිය ගැන්වීම, ලුහුබැඳීම, ලිංගික හිංසන සිදුකිරීම, අපරාධකරණය, මඩ ප්‍රචාර එල්ලකිරීම ඇතුළු පුළුල් පරාසයක පැතිරුණු තර්ජන ගර්ජන වලට ගොදුරු කිරීමට අමතරවය. එසේම මෙම සංඛ්‍යා බොහෝ දුරට අඩු ඇස්තමේන්තුවක් විය හැකි අතර බොහෝ ප්‍රහාර වාර්තා නොවීමට ඇති ඉඩ වැඩිය.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ රටවල ගහකොළ, සතා සිව්පාවුන්, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගනිමින් තිරසාර ආකාරයට පරිභෝජනය කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම, නීති අනපනත් සැකසීම, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයන් සකස් කිරීම දේශපාලකයින්ගේ රාජකාරියකි. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ද තම දායකත්වය සපයයි. තවද එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන වල නිලධාරී පන්තියක් සිටිති. මේ සියලුම දෙනා නඩත්තු වන්නේ ඒ ඒ රටවල ජනතාව කෑමට ගන්නා හාල් ඇටයේ, පරිප්පු ඇටයේ සිට සෑම සියලු භාණ්ඩ හා සේවාවකටම ගසනු ලබන බදුවලින් රාජ්‍ය භාණ්ඩාගාර පුරවනු ලබන මුදල් වලිනි. එනිසා අත්‍යාවශ්‍යයෙන්ම මේ සොබාදහමේ දායාදයන් ආරක්ෂා කිරීමට, සංරක්ෂණය කිරීමට ඇපකැප විය යුත්තේ ඔවුන්ය. නමුත් ඔවුන් ඒ වෙනුවට සිදුකරන්නේ බලවත් දේශපාලුවන්, ධනවත් ව්‍යාපාරිකයන් සහ කොම්පැණිකරුවන් මෙන්ම ආණ්ඩු විසින්ම මේ උරුමයන් වනසද්දී මුනිවත රැකීමය. එහෙත් එම විනාශයන් දැක නිහඬව සිටීමට නොහැකි ගම්බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සිටින ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින් ඊට එරෙහිව සටන් වදින්නේ නිස්සරණාධ්‍යාශයෙනි. එබැවින් එම ස්වභාවික සම්පත්වල අවසන් ආරක්ෂක වළල්ල වන්නේ ඔවුන්ය. ඒ ආරක්ෂක බැම්ම බිඳ දමාගත් විට විනාශකාරීන්ට සම්පත් වනසමින් තම පටු සහ අවස්ථාවාදී අරමුණු ඉටුකර ගැනීමට වෙනත් කිසිදු බාධාවක් නැත. ඒ සඳහා ඔවුන් අදාළ ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ගේ ජීවිත පවා බිලිගැනීමට පසුබට වන්නේ නැත. තවද විවිධ ප්‍රදේශවල වන අපරාධ වල නිරත දැව ජාවාරම්කරුවන්, දඩයක්කරුවන්, වැලි-පස් ජාවාරම්කරුවන් සහ නීතිවිරෝධී වගාකරුවන්ද මෙම ඝාතන වලට සම්බන්ද වෙති.

ඉකුත් වසරේ ලොව මෙවැනි ඝාතන වැඩිම සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ කොලොම්බියාවෙන් වන අතර එම ගණන 65කි. 2019 වසරේත් මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියේ කොලොම්බියාවමය. දෙවැනි වැඩිම ඝාතන සංඛ්‍යාවක් වාර්තාවන මෙක්සිකෝවේ (ඝාතන 30) එම සංඛ්‍යාව ඉකුත් 2019 වසරට සාපේක්ෂව 67% ක වැඩි වීමක් පෙන්නුම් කරයි. තෙවැනි ස්ථානයේ පසුවන්නේ පිලිපීනය (ඝාතන 29) යි. ඒ අනුව 2016 – 2020 කාලසීමාව තුල පිලිපීනයේදී මරා දමා ඇති පරිසර ආරක්ෂකයින් ගණන 166කි. බ්‍රසීලය (ඝාතන 20), හොන්ඩුරාස් (ඝාතන 17), කොංගෝ (ඝාතන 15), ගෝතමාලාව (ඝාතන 13) සහ නිකරගුවාව (ඝාතන 12) යන රටවල් මීට අමතරව ලේ වැකුණු රටවල් අතර ඉහළින්ම පසුවේ. තවද පේරු රාජ්‍යයෙන් ඝාතන හයක් සහ අසල්වැසි ඉන්දියාවෙන් ඝාතන හතරක් වාර්තාවී තිබේ. ඉන්දුනීසියාවෙන් ඝාතන තුනක්, දකුණු අප්‍රිකාවෙන් සහ තායිලන්තයෙන් ඝාතන දෙක බැගින් වාර්තාවී තිබේ. නේපාලය, ආජන්ටිනාව, සවුදි අරාබියාව, උගන්ඩාව, කොස්ටාරිකාව, කිරිබති දූපත්, කැනඩාව සහ ඉරාකය යන රටවලින් ඝාතන එක බැගින් වාර්තාවී තිබේ. එම වසරේ අප්‍රේල් මස 23 වැනිදා ගල්ඔය ජාතික උද්‍යානයේදී දඩයක්කරුවෙකුගේ වෙඩි පහරකින් මියගිය වනජීවී අඩවි ආරක්ෂක සේනාධීර ප්‍රදීප් බණ්ඩාර මහතාගේ ඝාතනයද මෙම වාර්තාවට ඇතුලත්ය. වනජීවී අපරාධ මැඩලීමට දරන ප්‍රයත්න වලදී සිදුවන සංරක්ෂණ නිලධාරීන් ඝාතන අතරට ගැනෙන මෙවැනි ඝාතන 27ක් මෙරටට අමතරව බ්‍රසීලය, කොලොම්බියාව, කොංගෝ, ගෝතමාලාව, පිලිපීනය, තායිලන්තය සහ උගන්ඩාව යන රටවලින් වාර්තා විය. ඒ අනුව ශ්‍රී ලංකාවද සොබාදහමේ රැකවුලුන් මරා දැමුණු රටවල් ලැයිස්තුවේ ස්ථානයක් වෙන්කරගෙන තිබීම කණගාටුවට කරුණකි. පරිසරයට ආදරය කරන මිනිසුන් විසින් අකාලයේ තම අවසන් හුස්ම පොද වා තලයට මුසුකල සමස්ථ රටවල් ගණන 22කි.

වැඩිම පිරිසක් ඝාතනවී ඇත්තේ වන විනාශයන්ට එරෙහි වීම හේතුවෙනි (ඝාතන 23). තවද ගංගා, වෙරළ හා සමුද්‍රීය සම්පත් ඇතුළු ජල අයිතිය වෙනුවෙන් අරගල කිරීම නිසා (ඝාතන 20), ඛණිජ සම්පත් රැකගැනීම වෙනුවෙන් අරගල කිරීම නිසා (ඝාතන 17), නීති විරෝධී වගාවන්ට එරෙහි වීම නිසා (ඝාතන 17), විනාශකාරී කෘෂි ව්‍යාපෘතිවලට විරුද්ධ වීම නිසා (ඝාතන 17), අයහපත් ඉඩම් ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම නිසා (ඝාතන 12), දඩයමට විරුද්ධ වීම නිසා (ඝාතන 6), හානිකර මාර්ග ඉදිකිරීම් වලට විරුද්ධ වීම නිසා (ඝාතන 2) සහ ධීවර සම්පත් රැකගැනීමට අරගල කිරීම නිසා (ඝාතන 1) ලොව පුරා ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ගේ ජීවිත අකාලයේ අහිමිවී තිබේ. එසේ නිශ්චිත වර්ගීකරණයකට ලක්කිරීමට අපහසු ඝාතන සංඛ්‍යාව 112කි. මෙම ප්‍රහාරයන්හි මූලික සාධකය ඉඩම් වන නමුත් බොහෝ අවස්ථාවලදී ඉඩම් ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය පිටුපස ඇති ආර්ථික අරමුණු වාර්තා නොවේ. 2020 වසරේ මෙම අගය වැඩි වන අතර එමඟින් මෙම සිදුවීම් පිළිබඳව සොයා බැලීමට සහ වාර්තා කිරීමට ඇති අපහසුව පිළිබිඹු විය හැකි බවත් බොහෝ විට දුර බැහැර ප්‍රදේශ වල මෙම සිදුවීම් සිදුවීම සහ COVID-19 වසංගත තත්ත්වය මීට හේතුවී ඇති බවත් Global Witness සංවිධානය තම වාර්තාවේ සඳහන්කර ඇත.

මෙම ඝාතන අතරින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට ඉලක්කවී ඇත්තේ ආදිවාසීන් වීම විශේෂ කරුණකි. ආදිවාසීන්ට වෙන් වන්නේ ලෝක ජනගහනයෙන් 5% ක පමණ සුළු ප්‍රතිශතයක් වුවත් ඊට කිසිසේත්ම සමානුපාතික නොවන ප්‍රහාර සංඛ්‍යාවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවී තිබේ. ඒ අනුව මිහිතලයේ සොබා උරුමයන් ආරක්ෂා කිරීමට ඔවුන් දක්වන දායකත්වය මොනවට පැහැදිලිවේ. ඉතිහාසට පුරාම මෙවැනි ඝාතන මෙක්සිකෝව, මධ්‍යම සහ දකුණු ඇමරිකාව සහ පිලිපීනය යන රටවලින් වාර්තාවේ. 2020 වසරේ ඊට අලුතෙන්ම එකතුවී ඇත්තේ සෞදි අරාබි සහ ඉන්දුනීසියානු ආදිවාසීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරයි. එම වසරේදී වාර්තා වූ සමූහ ඝාතන 7 න් 5 ක ඉලක්කයවී ඇත්තේද ආදිවාසීන් වීම තුල පරිසර සංහාරිකයින් ඔවුන් කෙරෙහි දක්වන ක්‍රෝධය ප්‍රකටව නිරූපනයවේ. මේ අතරින් වඩාත්ම බිහිසුණු මනුෂ්‍ය ඝාතනය පිලිපීනයෙන් වාර්තාවන්නේ 2020 දෙසැම්බර් 30 දිනය. එහිදී හමුදාව සහ පොලිසිය විසින් සිදු කළ වැටලීම් වලදී ටුමන්ඩොක් ආදිවාසීන් නමදෙනෙකු මිය ගිය අතර තවත් දාහත්දෙනෙක් අත්අඩංගුවට පත්විය. පිලිපීනයේ පනායි දූපතේ ජීවත්වන මෙම ප්‍රජාව ජලාර් ගංගාව හරහා ඉදිකිරීමට අපේක්ෂිත මහා වේලි ව්‍යාපෘතියකට විරෝධය පළකිරීම මෙසේ ද්වේශයට ලක්වීමට හේතුවයි.

පසුගිය වසර වල සිදු වූ පරිදිම, 2020 දී මාරාන්තික ප්‍රහාරයන්ට ගොදුරු වූවන්ගෙන් 10 න් 9 ක්ම පිරිමි පුද්ගලයන්ය. සංසන්දනාත්මකව පරිසරය අරගලයේ කාන්තා සහභාගීත්වය අඩු වුවත් ඔවුන් ඒ හඬ අවදි කරන්නේ ලිංගික හිංසනය ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින් වීම විශේෂ වේ. කාන්තාවන්ට බොහෝ විට එහිදී ප්‍රධාන අභියෝග දෙකක් ඇත. තම ඉඩම හා පාරිසරික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා මහජන අරගලයට පන පෙවීමට පෙර ඔවුන්ගේ ප්‍රජාවන් සහ පවුල් තුළින් එල්ලවන බලපෑම් ජයගැනීමට සිදුවීම නොපෙනෙන අරගලයකි.

පසුගිය දශකය තුල දේශගුණික අර්බුදය උත්සන්න වීම පිළිබඳවද විශේෂ අවධානය යොමු විය. තම භූමිය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගන්නට අරගල කරන්නවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වතයද ඒ සමගම වැඩි වන බව පෙනී යයි. සීමාවක් නොමැති සූරාකෑම සහ කෑදරකම විසින් මෙහෙයවන දේශගුණික අර්බුදය ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වයද අවුළුවන බව පැහැදිලි කරුණකි. දේශගුණික අර්බුදය මානව වර්ගයාට එරෙහි අර්බුදයක් වීමට එයත් එක් හේතුවකි.

අද දවසේ අප හුස්ම ගන්නා වාතය, පාරිභෝජනය කරන ජලය සහ ජීවත්වෙන පරිසරය අපට ඉතිරිකර අප වෙනුවෙන් ඔවුන් මරණය තෝරාගත්තේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පතල අපමණ ස්නේහයක් පෙරදැරිවය. ඒ මහා වීරයින් සහ වීරවරියන්ගේ දෙපා මත තමන්ගේ ශීර්ෂය තබා ආචාරය පිරිනමන ලියුම්කරු ඔවුන් මග යන වර්තමාන සහ අනාගත දෙස් විදෙස් ඉඩම් හා පාරිසරික ආරක්ෂකයින් වෙත මුළු හදවතින්ම ආශිර්වාද කරයි.

 

leave a reply