Breaking News

මිලියන 40ක් හොරාකෑ නිසා එලවා දැමූ මුද්‍රණ සංස්ථා සභාපති ගුවන්විදුලියේ සභාපතිකමට

රුපියල් මිලියන 40කට අධික වංචාවක් හේතුවෙන් කෝප් කමිටුවේ එවකට සභාපති ඩිව් ගුණසේකරගේ නිර්දේශ මත 2014දී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති තනතුරින් පහකරන්නට සිදුවූ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද නැමැත්තා පසුගිය දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඔහු විසින් මුද්‍රණ නීතිගත සංස්ථා සභාපති ලෙස සිදුකරන ලද ඉහත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔහු විසින් වංචා කරන ලද රුපියල් මිලියන 40ක පමණ සංස්ථා මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න මේවනතුරුත් දැනගන්නට නැත.
මේ සම්බන්ධයෙන් මා විසින් එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ චරිත හේරත්ගෙන් Charitha Herath ෆේස්බුක් සංවාදයක දී විමසන ලද නමුත්, මේ වනතෙක් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත.

චරිත හේරත් යනු වත්මන් කෝප් කමිටු සභාපතිවරයා ද වීම විශේෂත්වයකි.

“ලලිත් අඹන්වෙලගෙන් චරිත හේරත්ට චරිත සහතිකයක්” යන හිසින් මා 17 වැනිදා පළකළ ෆේස්බුක් පෝස්ටුවකට, මුල් වතාවේ ප්‍රතිචාර දක්වමින් වත්මන් කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් කියා සිටියේ මේ චෝදනාවට තමන් දැනටමත් පිළිතුරු දී ඇති බවයි.

ඔහුගේ පිළිතුර ප්‍රමාණවත් නොවන බව ද, එයින් අතුරු ප්‍රශ්න ගණනාවක් පැනනැගෙන බවද දක්වමින් මා විසින් ඔහුට දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරක් ලැබෙනතුරු බලාසිටියදී ය මේ තොරතුර දැනගන්නට ලැබුණේ.

“ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගනී” යන සිරසින් යුතුව පසුගිය මැයි 11 වැනි දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වෙබ්අඩවියේ පළකරන ලද ප්‍රවෘත්තියකට අනුව (මේ ප්‍රවෘත්තිය පළමු කොමෙන්ටුවේ එයි) මේ පුද්ගලයා මේ වනවිටත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙසත්, 2014 කෝප් කමිටු නියමයෙන් සභාපතිකමින් පළවාහරින ලද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරයි.

මේ පුද්ගලයා විසින් සිදුකරන ලද රාජ්‍ය මුදල් වංචාකිරීමේ චෝදනාව විධිමත් අධිකරණ ක්‍රියාවලියක් හමුවේ නිශ්ප්‍රභ වී, ඔහු නිර්දෝශී වී ඇතිනම් මේ නව තනතුරු පිළිබද කිසිදු ගැටලුවක් පැන නොනගින නමුත්, එසේ සිදුවූ කිසිදු විධිමත් නීති ක්‍රියාදාමයක් ගැන මෙතෙක් දැනගන්නට නැත.
මේ අතර වත්මන් කෝප් කමිටු සභාපති චරිත හේරත් අද උදෑසන 10.30ට ද AskCOPEchair Q&A session නම් කෝප් කමිටු වැඩසටහනකට ද සහභාගී වූ බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ දැක්වේ.

මිලියන 40ක පමණ රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා නිසා 2014 වනවිට පැවැති කෝප් කමිටුවේ නියමයෙන් තමන්ට ඉවත් කරන්නට සිදුවූ මේ පුද්ගලයාගේ වත්මන් තනතුරු සම්බන්ධයෙන්, වත්මන් කෝප් කමිටු සභාපතිට කීමට ඇත්තේ මොනවාද යන්න දැනගැනීමට මහජනයාට අයිතියක් ඇත යන පදනම මත ම’විසින් මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ද චරිත හේරත් මහතාගේ අදහස විමසා යවන ලද අතර, ඔහුගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් පසුවෙමි.
මෙහි පළවන ඡායාරූප ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද Jayampathi Bandara Heenkenda ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී. එහි පළමු ඡායාරූපය මේ වනවිට ඔහුගේ පිටුවේ ඇති Cover Photo එක වන අතර දෙවැන්න ඔහුගේ Profile Picture ලෙස භාවිතා කර තිබේ.
සාමාන්‍යයෙන් මා මාගේ පෝස්ටුවලට වෙනත් අය ටැග් නොකරන නමුත්, මේ වංචාව සම්බන්ධයෙන් මා ලියූ පෝස්ටු හා ඒවාට මා දැමූ කොමෙන්ටු සමගින් මගේ ෆේස්බුක් ගිණුම යම් අවහිරකිරීමේ ගැටලුවකට මුහුණදී ඇති බවක් හැගෙන බැවින් මම මේ පෝස්ටුවට ඊට අදාළයයි සිතන කිහිප දෙනෙක් ටැග්කරමි.

උපුටා ගැනීම මුහුණු පොතේ සනත් බාලසුරියගේ පිටුවෙනි

leave a reply