Breaking News

මරා දැමීමටම වෙඩි තබා ඇත ඔවුන්ට– වෙඩි සලකුණු හෙළි කරයි!

මරාදැමුණු රැඳවියන් සිව්දෙනෙක් (වමේ සිට): මාලන් ක්‍රේග්, රසික හර්ෂණ, සම්පත් පුෂ්පකුමාර සහ අමිත් සුබසිංහ (ඡායාරූප -JDS Lanka වෙබ් අඩවියෙන්)

2020 නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ රැඳවියන්ට පපුවේ නිශ්චිත මාරක ඉලක්කවලට වෙඩි තබා ඇති බැවින්ද රැඳවියකුට වෙඩි පහර කිහිපයක් තබා තිබීමෙන්ද ඔවුන් ඝාතනය කිරීමේ අරමුණකින් වෙඩි තබා ඇති බව පැහැදිලි වේ.

JDS Lanka වෙබ් අඩවිය විසින් අනාවරණය කර ඇති කරුණු අනුව, මළ සිරුරු හඳුනා ගත් ඥාතීන් කිහිප දෙනකුම තම සමීපතමයන් ගේ පපුවේ තුවාල 3 ක් හෝ 4 ක් තමන් විසින් දක්නා ලද බව පවසා ඇත. එසේම, මහර ප්‍රහාරයෙන් මියගිය රැඳවියන් 11 අතුරින්, 8 දෙනකුම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් බව අධිකරණය හමුවේ තහවුරු විය.

තවදුරටත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ මිය ගිය බොහෝ රැඳවියන්ට එක් වරකට වඩා වෙඩි වැදී ඇති බව තමන්ට ප්‍රමාණවත් ලෙස තහවුරු වී ඇති බවය. මෙහිදී රැඳවියන් ඉලක්ක කරමින් වෙඩි වෙඩි තබනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් යැයි JDS Lanka විසින් කරනු ලැබූ හෙළිදරව්ව පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු වෛද්‍ය වාර්තා සහ සාක්ෂිවලින් තහවුරු කෙරුණි. එසේම සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනු වීඩියෝපටයක පුද්ගලයන්ගේ නම් කියමින් වෙඩි තැබීමට උනන්දු කරවා ඇති බව අනාවරණය විය. පොලිසිය මෙම වීඩියෝ පටයේ හඬ ඉවත්කර සංගීතයක් සමග මාධ්‍ය වෙත ලබාදී ඇත්තේ එම හඬ වසන්කරන අදහසින් වුවද පසුව සත්‍ය හඬපටයද සමග කිසිවකු විසින් වීඩියෝ පටය මුදාහැරීමෙන් වසන් කළ කරුණු හෙළිදරව් විය.

ප්‍රදීප් අතුල කුමාර නමැති සිය ස්වාමි පුරුෂයාගේ සිරුර හඳුනාගැනීමට රාගම රෝහලේ මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේ මිනුවන්ගොඩ, නිල්පනාගොඩ නදීකා කල්පනීට මළසිරුරේ පපුවට සිදුරු කළ වෙඩි පහර තුනක් දැක ගත හැකි වූ බව JDS Lanka වෙබ් අඩවිය වාර්තා කරයි.
”මගේ මහත්තයාගේ පපුවේ එක පැත්තක් හිල්වෙලා තිබුණේ. බඩ තුවාල වෙලා ගලපු ලේ පැල්ලමුත් මම දැක්කා. මෝචරියේ හිටපු අය මට කිවුවේ මහත්තයට වෙඩි හතරක් වැදුලා තිබුණා කියලයි. වම් තන පුඩුවට යටින් පපුව හිල්වෙලයි තිබුණේ,” යනුවෙන්, ඇය, වෙබ් අඩවිය වෙත සිය අත්දැකීම හෙළිකර තිබේ.

එපමණක් නොව, කිරිඳිවැල පදිංචි ශානුකා කාරියවසම් ඇගේ බාල සහෝදරයා වූ රසික හර්ෂණ කාරියවසම්ගේ සිරුරේ වෙඩි ප්‍රහාර කිහිපයක තුවාල හඳුනාගෙන තිබේ.
”මට මල්ලිගේ මිනිය බලන්න ලැබුනේ කීප වතාවක්ම ඇවිටිලි කෙරුවට පස්සේ. මිනිය අඳුනගන්න එන්න කියලා කිවුවට ඉස්පිරිතාලෙට ගියාම එතන හිටිය අය බැලුවෙම අපිව රස්තියාදු කරවලා හරවලා යවන්න. මගේ මල්ලිගේ බඩ කපලා තියෙනවා මම දැක්කා. මෝචරියේ හිටිය අය මට කිවුවේ ‘මල්ලිගේ වකුගඩුවකට වෙඩි වැදිලා තිබුණා, ඉස්පිරිතාලෙට අරන් ආවම ඔපරේෂන් එකකුත් කෙරුවා’ කියලා”

වෙබ් අඩවිය පළකර ඇති ආකාරයට, රැඳවියන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පළමු තැනැත්තා ලෙස සැළකෙන තිදරු පියකු වු 29 හැවිරිදි සම්පත් පුෂ්පකුමාරටද වෙඩි ප්‍රහාර කිහිපයක්ම වැදී තිබී ඇති බව බිරිඳ වන එන්.ජී. ලසන්ති පවසයි.
”එයා මැරිලා තියෙන්නේ පපුවට වැදුන වෙඩිල්ලකින් කියලයි ඉස්පිරිතාලෙන් මට කිවුවේ. තැන් කිහිපයකම තුවාල වෙලා තියෙනවා මම දැක්කා. ඒ ගැන ඇහුවම මෝචරියේ හිටිය අය මට කිවුවේ ඒ තුවාල වෙඩි වැදුන ඒවා කියලායි”.
කෙසේවෙතත්, මහර රැඳවි ඝාතනය සම්බන්ධයෙන් මළසිරුරු 11 පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමට පත්කර ඇති විද්වත් පරික්ෂන කමිටුව විසින් ආණ්ඩුවේ ප්‍රචාරයන් බිඳ හෙළමින් රැඳවියන්ගේ මරණවලට හේතුව වෙඩි තැබීම් බව සනාථකරන ලදී.

මහර රැඳවියන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරණ බහුවිධ වෝහාරික විශේෂඥ මණ්ඩල සමාජිකයන් වන්නේ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය ජීන් පෙරේරා, උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සඳුන් විජේවර්ධන, මුල්ලේරියාව බෝ වෙන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා, දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී පී දසනායක සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක බී.ජී. මඩවල යන අය වේ.

(මූලාශ්‍රය – JDS Lanka වෙබ් අඩවිය)

leave a reply