Breaking News

කාන්තාවන්ට එරෙහි හිංසනය ‘ජෝක්’ එකක් නොවේ

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය ඊයේට යෙදී තිබුණි.

කාන්තාවන්ට මෙන්ම කුඩා දැරියන්ට ද එරෙහිව සිදුවන හිංසනයන් මෙන්ම, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් ද ඉහළ යමින් පවතිනවා.

ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ දත්තවලට අනුව, බරපතල ලිංගික අපයෝජන සම්බන්ධ පැමිණිලි 10-15ත් අතර සංඛ්‍යාවක් දෛනිකව පොලිස් ස්ථාන වෙත වාර්තා වෙමින් ඇත. සිය පෙම්වතා අතින් මෙන්ම, පියා අතින්, සහෝදරයින් අතින්, ළඟම ඥාතීන් හෝ මවගේ අනියම් පුරුෂයා අතින් දැරියන් අපයෝජනයට ලක්වන සිද්ධි වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව පොලිසිය පවසයි.

එපමණක් නොව පසුගිය කාලයේ තමන්ට සිදුවූ අපයෝජන ගැන පැමිණිලි කිරීමට පොලීසි වෙත ගිය කාන්තාවන් සහ දරුවන්ද අපයෝජනයට ලක්වීමේ සිදුවීම් වාර්තා විය.

ලොව පුරා සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන්ම එක් අයෙක් තම ජීවිත කාලය තුළ දී අපයෝජනයට ලක්ව ඇත. COVID-19 වසංගත සමයේ දී මෙන්ම, මෑතකාලීන මානුෂීය අර්බුද සහ ගැටුම් ද, දේශගුණික විපත් වැනි අර්බුද අතරතුර දී මෙම සංඛ්‍යාව ඉහළ යයි.

වසංගතයෙන් පසු රටවල් 13ක දත්ත මත පදනම්ව UN Women විසින් නිකුත්වූ නව වාර්තාවක් ආනාවරණය කළේ, කාන්තාවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුම තමන් හෝ තමන් දන්නා හඳුනන කාන්තාවක් යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇතැ යි ද, ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දීමට වැඩි ඉඩක් ඇතැ යි ද පැවසූ බව යි.

මෙහිදී ලංකාව තුළ විපක්ෂය විසින් කාන්තා හිංසනයට එරෙහි ප්‍රභල හඬක් නගමින් සිටිනු දැකිය හැක.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඊයේ (25) “කාන්තාවන් ට එරෙහි හිංසනය නවත්වනු” ලෙස සඳහන් වු ස්ටිකරයක් පැලඳගෙන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ.

මෙය සිදුවූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ අසභ්‍ය ප්‍රකාශයෙන් අනතුරුවයි.

සමගි ජන බලවේගය විසින් දිගින් දිගටම එය ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙනයනු දක්නට ලැබේ.

නමුත් තිස්සකුට්ටිආරච්චි යනු ආණ්ඩුවට අයත් පුද්ගලයෙක් පමණක් නොවේ. ඔහු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස සිට 2017 වසරේ පොදුජන පෙරමුණට එක්වූ අයෙකි.

හෙට දිනයේ සමගි ජන බලවේගයට බලය තිබෙන මොහොතක ඔහු එම පක්ෂය සමඟ එකතු නොවනු ඇති බවට කාටවත් පැවසිය නොහැක.

එසේම එසේම සමගි ජනබලවේගය අතර සිටින කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයන්ද කාන්තා හිංසනයට එරෙහි වෙමු යනුවෙන් සටන් පාඨයක් පැළඳ සිටීම ගැන සමාජ මාධ්‍යවල කතා බහක් ඇතිව තිබේ.

පොදුවේ ගත්කළ ආණ්ඩුව සහ විපක්ෂයේ සිටින බහුතරය තිස්සකුට්ටිඅරච්චිලාම වේ.

අනිත් අතින් වත්මන් ආණ්ඩුවට පෙර ආණ්ඩු කරන ලද්දේ දැන් සමගි ජන බලවේගය නියෝජනය කරන පිරිසයි. එම කාල සීමාවේදී කාන්තා හිංසනය පිටු දැකීම වෙනුවෙන් ඔවුන් ගත් කුඩා උත්සාහයක් හෝ මතකයට නගා ගත නොහැක. ඊට අමතරව පොදුවේ කාන්තවන් මුහුණ දෙමින් සිටින ආර්ථික සමාජීය සංස්කෘතික පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ගත් කිසිදු පියවරක් නැත.

කාන්තා හිංසනයට එරෙහි වීම යහපත් දෙයකි. එසේම කාන්තවන්ට එරෙහි හිංසනය බැරෑරුම් ප්‍රශ්නයකි. නමුත් එය සමගි ජන බලවේගය විසින් එයට විසඳුම් ලබාදෙනු ඇති බව සිතීමම විහිළුවකි.

leave a reply