Breaking News

හිංසකයා ට විරුද්ධ ස්ත්‍රී දේශපාලනයේ අභියෝග ?

අරුණි සමරකොන්

ගෝලීය covid 19 වසංගතය කාර්‍යක්ෂමව කළමනාකරණය කිරීමට අපෝසත් වීම හේතුවෙන් දිනකට ජිවිත 150 කට අධික ප්‍රමාණයක් අහිමිවන ශ්‍රී ලංකා වේ මේ මොහොතේ වැදගත්ම ප්‍රශ්නය හිංසකයාට විරුද්ධ ස්ත්‍රී දේශපාලනයේ අභියෝග පිලිබඳ ලිවිම දැයි මම මගේන් ම විමසූ පසුව මෙය ලියා තබමි.  මෙහි පසුබිම් කතාව නම්, ප්‍රජාතනත්‍රවාදය වෙන්වුවෙන් වූ විකල්ප ධාරා දේශපාලන නියමුවකු,  ස්ත්‍රියක් වෙත අන්තර් ජාල සාමීචිය අවකාශයේ දී හිංසනයක් සිදුකිරීමය. මෙම නියමුවා වෙත, මෙයට ප්‍රථම ද විවිධ අවකාශවලදී ස්ත්‍රී හිංසනය පිලිබඳ චෝදනා එල්ල විය. නමුත් එම චෝදනා හිමිකරු කහවතුරෙන් දොවා නිදහස් කරගනිමින් , ඔහුට නිදහසේ දේශපාලනයේ නිරත වීම වෙනුවෙන් විකල්ප ධාරාවේ නියමුවන් නිරන්තරයෙන්ම කටයුතු කලේ “බල එක්සත්කම ” හේතුවෙන් බව මගේ නිරීක්ෂණය වේ.  මේ අනුව වින්දිත ස්ත්‍රීන් බලයට යටත් වීම හෝ  විකල්ප දේශපාලනයෙන් පිටමන් ව හුදකලා වීමවෙත එකඟ වූ අයුරු දැකිය හැකිය. එය,  වෙනත් කල කිසිවක් නොමැති වීමේ ප්‍රථිපලයක් බවට තේරුම් ගත යුතුය. මන්දයක් විකල්ප ධාරාවේ සිටින සියලුම නියමුවන් එකට එකම කුලකය සිටින අතර ඔවුන් තම කුලකයේ බලය සහිත කණ්ඩායම වෙත පමණක් සංවේදීවන බව මගේ ප්‍රකාශනය වේ. (විකල්ප ධාරාව තුලද ස්ත්‍රිය ට බලය අහිමිය )

මේ අනුව ස්ත්‍රීන් මෙම හිංසන දේශපාලනය ට එදිරිව කටයුතු කිරීමේ දී පහත අභියෝග වලට මුහුණ දී තිබේ. ප්‍රථමයෙන් මෙම හිංසන කුලකය රාජ්‍ය යේ බලය ප්‍රශ්න කරන , රාජ්‍ය මගින් අයිතීන් උල්ලංඝනය කිරීම්වෙත විරෝධය දක්වන නියෝජනයවේ. එවැනි කුලකයේ හිංසක නියෝජනයන් ප්‍රශ්න කිරීමම අභියෝගයකි. මන්දයත්, එය රාජ්‍ය හෝ පාලන රෙජිම ප්‍රශ්න කිරීම ඉක්මවා යන බැරෑරුම් ක්‍රියාවක් හේතුවෙනි. රාජ්‍යයේ හිංසනය පැහැදිලිව හඳුනා ගැනීමට හැකි නමුත් මෙම නියෝජනයේ හිංසනය පැහැදිලි කිරීමට යාමම ගැටලුව තවත් සංකීර්ණ කිරීමක් ලෙසට චෝදනා එල්ලවේ. නිදසුනක් ඇසුරින් මෙය පැහැදිලි කල හැකිය.  ස්ත්‍රීන් 100 ක් අපයෝජන කිරීම වෙනුවෙන් සාරුවා සුනිල් ලියනගේ නම් අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිට විරුද්ධව චෝදනා එල්ලවිය. (https://srilankamirror.com/news/3803-saruwa-sunil-rejects-raping-of-100-virgins).  අවුරුදු 14 ක දැරියක් දුෂණය කිරීමේ චෝදනා ව මත ඔහුට වසර 15ක බරපලත වැඩ සහිත සිරදඩුවමක් හිමි වූ අතර  එම දැරිය වෙත රුපියල් 250,000 ක වන්දියක් ගෙවීමට ද නියම විය (https://www.colombotelegraph.com/index.php/saruwa-sunil-now-bats-for-yahapalanaya-wife-gets-nomination-from-sirisena/)

මෙම සිදුවීමේ දී විකල්ප දේශපාලනයේ නියමුවන් කිසිවෙකු එකඟත්වය අර්ථකථනය කිරීම   දුෂණයට එකඟ වුයේ ද  යන ප්‍රශ්නය ඇසීමට සහ හිංසනයේ පරිමාණය තීරණය කිරීමට ද අවධානය යොමු නොකරන ලදී.( එසේ වුයේ නම්, සාරුවා සුනිල් නිදහස් ව, දේශපාලනයේ ජයකෙහෙලි නඟනු ඇත්තයි මම දැන් සිතමි). මෙම නිදසුන මගින් මම අවධාරණය කරන කරුණ නම්, හිංසනයේ දී වින්දිතයා වෙත ප්‍රමුකත්වය දීම යන ප්‍රධාන ධාරාවේ පවතින මුලික එකඟතාවය හෝ විකල්ප දේශපාලනයේ  වන ස්ත්‍රී හිංසන සාකච්චාවේ දී දැකගත නොහැකි වීමය. එහිදී තම ‘රැහේ/ කුලකයේ ‘ හිංසකයා වෙත එල්ලවන චෝදනා හි පරිමාණය , එකඟත්වය, එහි අරමුණු පිලිබඳ අවධානය යොමු කරමින්, ප්‍රාථමික කරුණ වන හිංසනය සහ වින්දිතයා පිටමන් කිරීමට කටයුතු කර තිබීම දැක ගත හැකිය.

එසේම සාරුවා සුනිල් හා සම වන විකල්ප නියමුවන් ද මේ මොහොතේ ස්ත්‍රීන් සමඟ දේශපාලනයේ නිරතවන බවට චෝදනාවක් වේ. එම චෝදනාව සමඟ මම එකඟ වෙමි. මන්දයත් මුලින්ම පෙන්වා දුන් ලෙස විකල්ප ධාරාවේ ද බලය පිහිටා තිබෙනුයේ පිරිමිකම (masculinity ) කේන්ද්‍රිය ව වේ. එම බලය ප්‍රශ්න කිරීම හෝ එම විකල්ප ධාරාවෙන් ඉවත්ව යාම ස්ත්‍රීන් විසින් තීරණය කල යුතුව තිබේ. සංඛ්‍යාත්මකව විවිධ පරාසයේ ස්ත්‍රීන් වෙත බහුවිධතාවයකින් ප්‍රවේශ වූ මාක්ස්වාදී විශ්‍රමිත මහාචාර්යවරයකු ගේ එක් ආඛ්‍යානයක් සඳහන් කරමි. එහිදී ආඛ්‍යානය මාවෙත සැපයු වින්දිත ස්ත්‍රිය තවම ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට සුදානම් නොමැති බව පැවසූ හෙයින් අදාළ විශ්‍රමිත මහාචාර්යවරයා ගේ නාමය සඳහන් කිරීමෙන් වැලකි සිටිමි. “මම එදා දේශපාලන රැස්වීමට සහභාගී වී ගෙදර යන්න පිටකොටුව ස්ටේෂන් එකේ හිටියේ. මම සාරියක් ඇඳ සිටියේ. කවුදෝ පිටිපසින් විත් එක්වරම මගේ පිට මිරිකුවා. මම හොඳටම ගැස්සුනා. බලනකොට ඒ රැස්වීමේ ම සිටි මාක්ස්වාදී මහාචාර්ය තුමා. මට තරහයි. එත් මම ඉවසුවා.. ඊට පස්සේ මා එක්ක එකට කෝච්චියේ යන්න එන්න හැදුවා. මම තරයේම කීවා , කරුණාකරලා තමන් තනිව යන්න ” මේ එම වින්දිත ස්ත්‍රිය ගේ අත්දැකීම වේ. එහිදී ඇය පැවසු ඉවසීම ගැන මම “ඇයි ඉවසුවේ” කියා ඇසුවිට ප්‍රතිචාරය වුයේ, “මම අහිංසක මනුස්සයෙක්. ප්‍රශ්න ඕනේ නැහැ. එයාට බලය තියෙනවා”. සාරුවා සුනිල් ගේ ගැටලුවේ දී පිළිගත නොහැකි එහෙත් යම් යුක්තියක් වින්දිතයා වෙත ඉටු වුවද විකල්ප දේශපාලන කුලකයේ දී ස්ත්‍රිය ට සිදුව ඇත්තේ, බලය ඉවසා ගැනීමට නොවේද ? මොවුන් ඉවසමින් ස්ත්‍රීන් ට දේශපාලනය කිරීමට සිදුවීම, හිංසකයන් සමඟ දේශපාලනය කිරීමට ස්ත්‍රීන් ගෙවිය යුතු මිලද ?

ඕනෑම ධාරාවක දී හිංසකයන් නම් කිරීම ඉතාම සංවේදී කටයුත්තකි .වින්දිතයා ගේ නියෝජනය වෙත පුද්ගලයකු හිංසකයකු වන නමුත්, එම හිංසකයා වෙනත් ජිවත තුල  දී ආදරණියයකු, රැකවරණයදරන්නෙකු, මාක්සවාදයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ හිතවතෙකු විය හැකි බව මම දනිමි. ඒ අනුව බැදෙන සම්බන්දතා හේතුවෙන් හිංසාකගේ පාර්ශවයන් වෙත වේදනා විදීමට සිදුවන බවද මම වටහා ගනිමි. එහෙත් පැහැදිලිකරගත යුතු කරුණ නම්, හිංසක -වින්දිත ප්‍රකාශනය තුල පවතින බල සම්බන්දය සහ එයින් වන පිඩාව වේ.  එම පිඩාව සාධාරණය කිරීම, මානව පැවැත්ම තුල පිළිගත නොහැකි කොන්දේසියකි. එම පිඩාවට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතුය.

අන්තර්ජාල අවකාශයේ වන හිංසනයට විරුද්ධ ස්ත්‍රී කණ්ඩායම් වෙනත් අවකාශයන් ගේ හිංසනය වෙත අනුග්‍රහය දක්වන බවට වන චෝදනාවට දිය හැකි පිළිතුර නම්, හිංසනය කුමන ආකාරයෙන් පැමිණිය ද එය ට එදිරි විය යුතුය. විශ්ව විද්‍යාල තුල පවතින නවක නම්නීකරණය, හඳුනා ගැනීම් , ධුරාවලිගත ශිෂ්‍ය- ශිෂ්‍යා සමබන්දතාවන් හේතුවෙන් ඇතිවන පීඩනය වෙත ස්ත්‍රී දේශපාලනය විරුද්ධ වේ. විශේෂයෙන්ම පැවසිය යුතු කරුණ නම් විශ්ව විද්‍යාල යනු ‘පුජා භුමි ‘ නොවේ. එවායෙහි ඓතිහාසික ක්‍රියාවලියම යටත්විජිත  පිඩාවකි. එනයින් පවතින ආකෘතියම එසේ  පිළිගැනීමට බලකර සිටීමම  හිංසනයක් ලෙස මම හඳුන්වමි.

ලිපියේ අවසානය මෙසේ සඳහන් කරමි. හිංසයාට එදිරි දේශපාලනය වෙනුවෙන් ස්ත්‍රීන් ගෙවා ඇති මිල සුළුකොට තැකිය නොහැකිය. 2015 දී තිරගත වූ Suffragette චිත්‍රපටයේ පැවසෙන ලෙස, වැඩකරන ස්ත්‍රීන් ජන්ද බලය ලබාගනිම වෙනුවෙන් වූ සටනේදී Emily Davison  තමන්ගේ ජිවිතය පවා කැප කරන ලදී. Maud Watts  තමන්ගේ එකම දරුවාගෙන් වෙන්කිරීම ඉවසා ගන්නා ලදී. ඔවුන් එම සටනේ දී විශ්වාස කල එකම සාධකය නම්, තමන්ගේ පිඩිත ජීවිතය වෙනුවෙන් තව දුරටත් යටත් නොවන බව සහ අත් නොහැර සටන් කිරීමය. ජන්දබලය හේතුවෙන් වැඩකරන ස්ත්‍රී ජීවිතය ආශ්චර්යක් වෙත පර්වර්තනය නොවුන ද එම ස්ත්‍රීන් ගෙවූ මිල හේතුවෙන් මේ මොහොතේ ස්ත්‍රීන් හට යම් දුරකට හෝ නිදසක් හිමි ව ඇත.

අරුණි සමරකෝන්

leave a reply