Breaking News

IMF විශේෂ සාකච්ඡාවට විපක්ෂය සහභාගී නොවීම හොදයිද? නැද්ද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන අය සහභාගී වීමට නියමිතයි.

මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයාට ද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළා.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය පමණක් ඊට සහභාගී වන බව ප්‍රකාශ කර ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක එම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අදහස් පළකර තිබුණා.

පුබුදු ජයගොඩ – ආණ්ඩුව IMF එකත් එක්ක ගිවිසුම් ගහලා ඒ ගිවිසුම්වලට විපක්ෂය විරෝධය පළ කරද්දී ජනතාවගේ විරෝධය ඊට වඩා ලොකු තීව්රතාවයකින් පළකරද්දී ඒක තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තියෙන බලය පාවිච්චි කරලා ගිවිසුමකට යන්න පාර්ලිමේන්තු අනුමැතියක් අරගෙන ඒක ඇතුලේ ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම විනාශ වෙන විශේෂයෙන්ම ලංකාවේ කුටුම්භවල ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වෙන තීරණ ක්‍රියාවට නගලා දැන් විපක්ෂයට ආරාධනා කරනවා සාකච්ඡා කරන්න. මේක විහිළුවක්. ඒවගේම විපක්ෂය තීරණය කරලා තියෙනවා මේකට යන්නේ නෑ කියලා. හැබැයි මීට ටික කාලයකට කලින් IMF එකත් එක්ක කතා කරන්න සමගි ජන බලවේගයටයි, ජාතික ජන බලවේගයටයි කතා කරානම් ඒගොල්ලෝ යාමේ හැකියාවකුත් තිබුණා. මොකද ඒ පක්ෂ දෙකම මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාත් කරා. දැන් මේ මැතිවරණයක් එනවා කියලා රාවයක් යන වෙලාවේ විපක්ෂයට ආරාධනා කරාට පස්සේ විපක්ෂ පක්ෂ සහභාගී වෙන්නේ නැහැ. ඒක රනිල් වික්‍රමසිංහ දන්නේ නැද්ද දන්නේ නැහැ. අපිනම් ඒක දන්නවා. විශේෂයෙන් මේ ඉල්ලීම ඒ කියන්නේ විපක්ෂය සමගත් සාකච්ඡා කළ යුතුයි කියන එක හර්ෂ ද සිල්වා තමයි යෝජනා කරලා තිබුනේ. විපක්ෂය ප්‍රතික්ෂේප කරන්න කලින්ම මූල්‍ය අරමුදලත් එක්ක මේ එළඹිලා තියෙන කොන්දේසි කියන ඒවා ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. විපක්ෂයේ කිසිම පක්ෂයකට ඒවා නැවත කතාකරන්න යන්න අයිතියක් නැහැ. දෙමළ ජාතික සන්ධානයටත් අයිතියක් නැහැ සහභාගී වෙන්න. මොකද ජනතාවගේ පැත්තෙන් මේවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. විපක්ෂය පැත්තේ ප්‍රශ්නේ තියෙන්නේ සාකච්ඡාවට නොයන එක නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකඟතා නිශ්චිතව හෙළිදරව් කරලා ඒවාට එරෙහිව කෙලින් හිටගන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මීට කලින් IMF එකට යන්න තිබුනා, අපි ආවොත් නැවත සාකච්ඡා කරන්නම්, වගේ දියාරු කතා තමයි විපක්ෂය කියමින් ඉන්නේ. ආණ්ඩුව මේ වෙලාවේ IMF ගිවිසුමට ඔක්කොමල පටලගන්න හදන උත්සාහයට නම් විරුද්ධ විය යුතුයි.

මාධ්‍යවේදියා – IMF සාකච්ඡාවට ඔබතුමාලට ආරාධනාවක් නෑ නේද ?

පුබුදු ජයගොඩ – නෑ, අපිට ආරාධනාවක් නැහැ. ආරාධනා කරත් අපි යන්නෙත් නැහැ. මොකද අපි හිතනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ලංකවේ ණය සම්බන්ධ ප්‍රශ්නේ කතා කරන එක තේරුමක් නැහැ කියලා. ලංකාවේ දේශීය, විදේශීය ණය තියෙනවා. දේශීය ණය ප්‍රතිවියුහගත්කරණය සම්බන්ධ මූල්‍ය අරමුදලේ මැදිහත්වීමක් නැහැ. ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ විදේශ ණයවලට මැදිහත් වෙන්නම් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ විදේශ ණය ප්‍රතිවියුහගත්කරණයටත් IMF එක මැදිහත්වෙලා කරන එකට ණයේ ලොකු කොටස් ඇති පාර්ශව එකඟ නැහැ. ලංකාව අරන් තියෙන ණයවලින් සියයට 10 ක් විතර අරන් තියෙන්නේ චීනයෙන්. චීනය එකඟ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතරමැදියා කරගෙන සාකච්ඡා කරන්න. තව 47%ක් වගේ අරන් තියෙන්නේ ස්වෛරීත්ව බැඳුම්කරවලින්. මූල්‍ය අරමුදල කියනවා ඒවාට කරන්න දෙයක් නැහැ කියලා. අමතරව වැඩිපුර ණය අරගෙන තියෙන්නේ ඉන්දියාව, ජපානය, ලෝක බැංකුව වගේ රටවල්වලින් සහ ආයතනවලින්. ඒවත් එක්කත් මොකක්ද ණය ප්‍රතිවියුහගත්කරණ ක්‍රියාවලිය කියලා අවසානෙට වෙච්ච දෙයක් නැහැ. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ගෙවුනත් වෙච්ච දෙයක් නැහැ. IMF එකයි අරකයි මේකයි කියලා අතරමැදියෝ දාන්නේ නැතුව ලංකාව රටක් විදිහට කෙලින්ම කතා කරලා මීට වඩා සහන ගන්න තිබුනා. මූල්‍ය අරමුදල් උගුලේ පටලිච්ච එකෙන් හැම පැත්තෙන්ම ප්‍රශ්නයක් වුනා. රටේ ආර්ථිකයත් විනාශ වුනා. ණය ප්‍රශ්නේ විසදුනෙත් නැහැ.

leave a reply