Breaking News

ටිල්වින් සහ රනිල්

දිත්වා වෙනුවෙන් තිබූ මුදල් වියදම් කළ නිසා මේ වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබේ. ඇතැම් පුද්ගලයන් විසින් මෙම ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ 2023 වසරේදී පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අදාළව කරන ලද ප්‍රකාශය සමඟ සංසදනය කර තිබේ. රනිල් වික්‍රමසිංහ එකළ පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් යෙදවීමේ හැකියාවක් නොමැති බවයි.

ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉන්දීයාවෙන් යම් බලපෑමක් සිදුවන්නේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණි.

ඊට පිළිතුරු ලබාදෙමින් ටිල්වින් සිල්වා පවසා තිබුනේ , දෙරටේ ආණ්ඩු අතර මනා අවබෝධයක් පවතින බැවින් එවැනි බලපෑමක් එල්ලවී නොමැති බවයි.

“පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කළා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන. එහෙම තියෙද්දී තමයි දිට්වා කුණාටුව ආවේ. අපිට සිදුවුණ වුණා, අයවැයට වෙන් කරපු සල්ලි තියෙද්දී, රුපියල් බිලියන 500ක් ඒ කියන්නේ, කෝටි 5000ක් දිට්වා වෙනුවෙන් වෙන් කරන්න වුණා. ඒ නිසා මේ අවුරුද්දේ අපිට ඡන්ද කරන්න වෙන්නේ නෑ.

ඒ අතර දැන් අලුත් ප්‍රශ්නයකුත් ඇවිත් තියෙනවා. පළාත් සභා ඡන්දය කල් යන්නේ රනිල් වික්‍රමසිංහලාගේ කාලයේ පළාත් සභා ඡන්දය තියන්න තිබුණ නීතියම ක්‍රියාමාර්ග අවුල් කිරීම නිසා දැන් අපි පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා. පළාත් සභා කුමන නීතියක් යටතේ ද තියන්නේ කියලා. ඒ කමිටු වාර්තාත් ලැබුණාම ඒ ගැනත් සලකලා බලලා ලබන අවුරුද්ද වෙනකොට වෙන ගැටලු ආවේ නැත්නම් පළාත් සභා තියාගන්න පුළුවන් වෙයි කියලා.

අපිට ඉන්දියාවෙන් කිසිම බලපෑමක් නැහැ. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවත් සහ මලිමා ආණ්ඩුවත් අතර ඉතාමත් හොඳ සම්බන්ධයක් තියෙනවා. ඉතා මිත්‍රශීලි සම්බන්ධයක් තියෙනවා. අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. අපි උතුරේ ජනතාවට ජාතිවාදය නැති රටක් හදලා තියෙනවා. අපි හමුදා කඳවුරුවලට අරන් තිබුණ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. පාරවල් විවෘත කරලා තියෙනවා. අලුතින් මාර්ග හදමින් තියෙනවා. ඒ වගේම ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ජනතාව බලගැන්වීමේ ක්‍රියාවන් කරනවා. ඒ නිසා ඉන්දියාවට මේ ගැන අවබෝධයක් තියෙනවා. අපි ඉතා සහයෝගයෙන් වැඩ කරනවා.”

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ ඒ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව ප්‍රකාශ කරේ අරගලයෙන් පසු මැතිවරණ සම්බන්ධ විශාල කතිකාවතක් නිර්මාණය වෙමින් තිබූ කාලයකයි. නමුත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් එවැනි කතිකාවතක් මේ මොහොතේ නැත. නමුත් රනිල් වික්‍රමසිංහ මෙන්ම ටිල්වින් මේ ප්‍රකාශය සිදුකරන්නේ තමන්ට වාසි සහගත අවස්ථාවක මැතිවරණය පැවැත්වීමේ අරමුණින් බව නම් පැහැදිලිය.

leave a reply