උතුරු පළාත තුළ පැවති සැමරුම් උත්සවයන්ට සමගාමීව මහා මාර්ගයක සංචාරය කළ යතුරුපැදි පෙළපාලියක් දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ ඔස්සේ සංසරණය වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ඊයේ (23) පැවති රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් අවධාරණය කළේ, රටේ උතුරේ වේවා දකුණේ වේවා ඕනෑම ප්‍රදේශයක නීතිය එක හා සමානව ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ සිදුවීමට සම්බන්ධ යතුරුපැදිවල අනන්‍යතාවය තහවුරු කරගැනීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවද, සමස්ත විමර්ශන ක්‍රියාවලියම ඉතා සැලසුම් සහගතව සිදුකිරීමට පොලිසිය පියවර ගත් බවයි.
පසුගිය 18 වැනිදා දින ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි කිහිපයක ගමන් ගන්නා කිහිපදෙනෙකු එම යතුරුපැදි සංචාරය තුළ පැහැදිලිව දක්නට ලැබුනු අතර බුදධි අංශ යොදවා සිදුකළ සොයාබැලීමේදී පුත්තූර් හංදියෙන් කොඩිකාමන් හරහා කිලිනොච්චිය දෙසට එම සැකකාර යතුරුපැදිකරුවන් ගමන්කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව ඡායාරූපවල පැහැදිලිව දර්ශනය වන ආරක්ෂක හිස්වැසුම් නොමැති පුද්ගලයන් ගමන්කළ යතුරුපැදියක අංක තහඩුවේ ලියාපදිංචිකරු සොයා කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.05.19 වන දින කිලිනොච්චිය කෙරක්කන්කඩ්ඩු ප්‍රදේශයට ගොස් ඇති අතර අදාළ යතුරුපැදියේ හිමිකරු සොයාගෙන ප්‍රශ්නකිරීමට ලක්කර ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බව පොලිසිය සඳහන් කර ඇත.
ඒ අනුව සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 272 වගන්තිය යටතේ හා මෝටර් වාහන පනතේ 151 (2), 151 (3), 158 (2), 158 (3) යන වගන්ති යටතේ ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් තරුණයන් මුලතිව් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.150,000 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැර තිබේ.
පොලීසිය මේ සම්බන්ධ දැන් මෙවැනි කතාවක් පැවසුවද මේ පිළිබඳ පොලීසියේ අවධානය යොමුවූ වුවේ සිංහල ජාතිවාදී පිරිස් මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණිලි කිරීමෙන් පසුවයි. මෙම යතුරුපැදි පෙළපාලිය මුල්ලිවයික්කාල් සැමරුමට සාපේක්ෂව සිදුකර තිබුණි. මෙම මුල්ලිවයික්කාල් සැමරුම් සම්බන්ධයෙන් උරණ වූ සිංහල ජාතිවාදී කොටස් නීතිය සැමට සමාන කළ යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ දේශනා ලබාදී තිබුණි.
පොලීසිය මේ මාධ්‍ය හමුව විශේෂයෙන් පවත්වා තිබුනේ පල්ලේගම හේමරතන හිමිට ඇප ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහායි. උතුරේ සැමරුම් උත්සවයක හෙල්මට් නොමැතිව ගමන් කළ තරුණයන් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාද වී මැදිහත් වූ පොලීසියට කුඩා දරුවෙකු අපයෝජනය කිරීමේ චෝදනා එල්ල වූ පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට විශාල කාලයක් ගතව තිබුණි. ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනිය ඉල්ලා තිබියදී වුවත් පොලීසිය ඒ සඳහා මැදිහත් නොවීය. එම හිමියන්ගෙන් ප්‍රකාශයක් පවා ලබාගෙන තිබුනේ පන්සලට යාමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත්තද පල්ලේගම හිමියන් දවස ගෙව්වේ පොලිස් හිර කූඩුවක නොවේ. නවලෝක රෝහලේයි. රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමෙන් පසු පවා නවලෝක රෝහලේ රැඳී සිටීමට පල්ලේගම හිමිට අවස්ථාව ලබාදී තිබුණි.
එසේම පසුව හෙළිවුනේ පල්ලේගම හිමියන්ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස්පතිවරයා විසින් අටමස්ථානයට ගොස් දැනුම් දුන් බවයි.
පොලීසිය උතුරේත් දකුණේත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරනවා නොව උතුරේත් දකුණේත් බලවතුන් ඉදිරියේ නීතිය නවන බවනම් පැහැදිලිය.






