ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රකෘතිමත්වීමට සහාය වීමටත්, එරට තුළ 7%ක මධ්‍ය කාලීන ආර්ථික වර්ධන ඉලක්කයක් සපුරා ගැනීම සහ රැකියා නිර්මාණයට සහාය වීම සඳහාත් ලෝක බැංකු සමූහය සහ ශ්‍රී ලංකා රජය නව පස් අවුරුදු රට හවුල්කාරිත්ව රාමුවක් (Country Partnership Framework CPF) දියත් කර තිබේ.
“අපි දැනටමත් අත්කරගෙන ඇති අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ශක්තිමත් කළ පාලනය සහ ආදායම් පදනම් කරගත් මූල්‍ය ඒකාබද්ධතාවය මත ගොඩනැගීමට අපි කැපවී සිටිනවා. අපගේ ඉලක්කය වන්නේ අපගේ ආර්ථිකය ශක්තිමත්, තිරසාර සහ සියලු දෙනා ඇතුළත් වර්ධනයක් කරා විශ්වාසයෙන් මෙහෙයවීමටයි. මධ්‍ය කාලීනව 7% කට වැඩි ආර්ථික වර්ධන වේගයක් කරා අපි කටයුතු කරමින් සිටිනවා. ලෝක බැංකු සමූහය දශක 07කට වැඩි කාලයක් අප සමඟ සිටිනවා. මෙම හවුල්කාරිත්වය එම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරනු ඇති.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නව හවුල්කාරීත්වය සම්බන්ධයෙන් පැවසීය.
ප්‍රමුඛ රැකියා නිර්මාණය නව හවුල්කාරිත්වයේ හදවත පෞද්ගලික අංශයයි. ඉදිරි දශකය තුළ තරුණ ශ්‍රී ලාංකිකයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් රැකියා වෙළෙඳපොළට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශක්තිමත් වර්ධනයක් සහ විශාල පෞද්ගලික ආයෝජන නොමැතිව, ආර්ථිකය නව විධිමත් රැකියා 300,000ක් පමණ නිර්මාණය කරනු ඇති වුවත්, තරුණ රැකියා සොයන්නන් 10 දෙනෙකුගෙන් 07 දෙනෙකු පමණ ගුණාත්මක රැකියාවකට ප්‍රවේශය නොමැතිව ඉතිරි වීම කනගාටුදායක තත්ත්වයකි.
“පසුගිය වසර තුන පුරා ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත්වීම දුෂ්කර නමුත්, ආකර්ෂණීය අවස්ථාවක් වුණා. ප්‍රතිලාභ සෑම කෙනෙකුටම ළඟා වන බව සහතික කිරීම සඳහා මෙම නව හවුල්කාරීත්ව රාමුව නිර්මාණය කර ඇති. රාජ්‍ය සම්පත් පෞද්ගලික ප්‍රාග්ධනය සහ නවෝත්පාදනයන් සමඟ සම්බන්ධ කිරීමෙන්, කාන්තාවන්, තරුණයින් සහ ප්‍රජාවන් සඳහා ගුණාත්මක රැකියා නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට උපකාර කිරීම අපගේ අරමුණයි.”
යනුවෙන් දකුණු ආසියාවේ ලෝක බැංකු උප සභාපති ජොහැන්නස් සූට් පැවසීය.
මෙම හවුල්කාරිත්වය ලෝක බැංකු සමූහයෙන් සැලකිය යුතු සම්පත් රැස් කරනු ඇත. ඒ යටතේ, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් වසර පහක් තුළ සෘජු හා බලමුලු ගැන්වූ ආයෝජනවලින් ඩොලර් බිලියන 01කට වඩා සැපයීමට නියමිතය. එසේම ඉදිරි වසර තුන තුළ ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 01ක් දක්වා අඩු පොලී මූල්‍යකරණයක්ද ඇතුළත් වේ. එය ලෝක බැංකු සමූහයේ මූල්‍යකරණය, ඇපකර, උපදේශන සේවා සහ පුද්ගලික ප්‍රාග්ධන බලමුලු ගැන්වීම ආදී උපකරණවල සම්පූර්ණ පරාසය යෙදවීමකි.
“ශ්‍රී ලංකාවේ ඊළඟ අදියරේ වර්ධනය ඉදිරියට ගෙන යනු ලබන්නේ තරඟ කළ හැකි, නවෝත්පාදනය කළ හැකි සහ සැමට රැකියා නිර්මාණය කළ හැකි පෞද්ගලික අංශයක් මගින් පමණයි. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ කුසලතා ඇති ශ්‍රම බලකාය සමඟින්, ශ්‍රී ලංකාව කලාපයේ තම භූමිකාව පුළුල් කිරීමට සුදුසු ස්ථානයක සිටින අතර, ප්‍රගතිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස පෞද්ගලික අංශයට සහාය වීමට අපි කැපවී සිටිනවා.” යැයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු සහ පැසිෆික් උප සභාපති සර්වේෂ් සූරී පැවසීය.
මෙම නව හවුල්කාරීත්වය ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒවා නම්,
ව්‍යාපාර කිරීම පහසු කිරීම – රජයේ රෙගුලාසි සරල කිරීම, වෙළෙඳ ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ තවත් රජයේ සේවාවන් මාර්ගගතව ගෙන ඒම ශ්‍රී ලංකාව ව්‍යාපාර කිරීමට සහ ආයෝජනය කිරීමට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීම. මෙම ප්‍රතිසංස්කරණ මගින් 2030 වන විට වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂයට සහාය වනු ඇත.
සියලු දෙනාටම ප්‍රතිලාභ ලබා දෙන ශක්තිමත් යටිතල පහසුකම් – යටිතල පහසුකම් සඳහා වූ ආයෝජන කොළඹ වරායේ ධාරිතාව පුළුල් කරන අතර ආසියාවේ ප්‍රමුඛ සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස සිටීමට පුද්ගලික ක්‍රියාකරුවන් ආකර්ෂණය කර ගනු ඇත. බලශක්ති අංශයේදී 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලියෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට උපකාරී වන අතර එමඟින් ගිගාවොට් 1 ක නව පිරිසිදු බලශක්තියක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතය. මෙය දකුණු ආසියාවේ දැනට ඉහළම අගයක පවත්නා නිවාස සහ ව්‍යාපාර සඳහා වූ විදුලි බිල්පත අඩු කිරීම අරමුණු කරයි.
සංචාරක හා කෘෂිකර්මාන්තයේ වැඩියෙන් සහ වඩා හොඳ රැකියා – සංචාරක හා කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ විශාලතම වත්කම් දෙකක් වන අතර දිවයින පුරා රැකියා නිර්මාණය කිරීමට ශක්තිමත් විභවයක් ලබා දෙන බව හඳුනා ගනිමින්, මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ සංචාරක උපායමාර්ගික සැලැස්ම 2026-2030 ට සහාය වනු ඇත. ගොවීන් නව තාක්ෂණයන්, වෙළෙඳපොළවල් සහ මූල්‍යකරණයට සම්බන්ධ කරනු ඇත. කැපී පෙනෙන ස්වාභාවික හා සංස්කෘතික දායාදයන් සහිත, නමුත් ජාතික ආර්ථිකයෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් නියෝජනය කරන උතුරු සහ නැගෙනහිර පළාත්වලට කැප වූ ආයෝජන සහ උපදේශන සහාය ලැබෙනු ඇත.
අනාගත කම්පන සඳහා සූදානම් වීම – 2025 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.1ක හානියක් සිදු කළ සහ මිලියන 22 ක ජනතාවකට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව, හවුල්කාරීත්වය ශක්තිමත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා අරමුදල් සපයනු ඇත. එමඟින් ප්‍රජාවන්ට අනාගත අර්බුදවලින් වේගයෙන් යථා තත්ත්වයට පත්වීමට සහ වැඩි සහයෝගයක් ලබා දෙනු ඇත.
මෙහි සඳහන් ආකාරයට ලෝක බැංකුව හරහා අපට ඩොලර් බිලියන එකක ණය මුදලක් ලබාදීම හරහා මෙම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වේ. එසේම රජයේ රෙගුලාසි ලිහිල් කිරීම හරහා ආයෝජන ආකර්ෂණය කරගන්නා බවටද ඉඟි සැපයේ. ඒ අනුව ලිහිල් කරන්නේ කුමන නීතිද යන්න පැහැදිලි නැත. බොහෝ විදෙස් ආයෝජන හරහා ඉල්ලීම් ලැබෙන්නේ අපේ රටේ කම්කරු නීති, පරිසර නීති වෙනස් කිරීම සඳහායි. මෙම පස් අවුරුදු සැලැස්ම හරහා ආණ්ඩුව එවැනි උත්සාහයන් ගනීද යන සැකය මතුවේ.






