Breaking News

ගල් අඟුරු සිද්ධිය හොරකමකට ලඝු කිරීමේ නාට්‍යයට අපි නෑ – පුබුදු ජයගොඩ

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් සිදුව ඇති අලාභය විදුලි ගාස්තු හරහා හෝ බදු මුදල් හරහා හෝ ජනතාවගෙන් අය කිරීම වළක්වන ලෙසට නියෝගයක් ඉල්ලා අද, මැයි 21දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය අභියාචනාධිකරණයේ නඩුවක් පවරන ලදී. එහිදී අදහස් දැක්වූ පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මෙලෙස පැවසීය.

“ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය නිසා විදුලි උත්පාදනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වීමත්, එම අඩුව මිල අධික ඩීසල් ඉන්ධන හරහා පියවා ගැනීමට සිදුවීමත් නිසා විශාල අලාභයක් සිදුවුණා. බාල ගල් අඟුරු නිසා බොයිලේරු වලට වන හානියේ මූල්‍ය අලාභයත්, පරිසර හානියේ යථාවත් පිරිවැයත් නොමැතිව ඉන්ධන වලින් සිදුවන අලාභය පමණක් රුපියල් බිලියන 20 ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. ප්‍රශ්නය මෙම අලාභය දැනටමත් ජීවන වියදමෙන් මිරිකී පීඩාවට පත්ව සිටින ජනතාව මත පැටවීමට ආණ්ඩුව උත්සාහ ගන්න එක. මේ අලාභය විදුලි ගාස්තුවට එකතු කරන්න දෙන්නේ නෑ කියලා මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ගත්තා. නමුත් බොරු ඉලක්කම් සෙල්ලම් හරහා විදුලි බිලෙනුත්, මහජනයාගේ බදු මුදලිනුත් මේ පාඩුව පියවන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බෑ. මේ අලාභය බාල ගල් අඟුරු ගෙනා සමාගමෙන්, මේ මගඩියට ඉඩ සැලසූ දේශපාලන බලධාරීන්ගෙන් හා වගකිවයුතු නිලධාරීන්ගෙන් අය කරගත යුතුයි. කන්නත් නැතිව ඉන්න ජනතාවගේ කර මත මේ පාඩුව පටවන්න දෙන්න බෑ. අපි අද අභියාචනාධිකරණය ඉදිරියේ ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් පාඩුව අය කිරීමට එරෙහි තහනම් නියෝගයක්, අලාභය වගකිවයුත්තන්ගෙන් අය කර ගැනීමේ මැන්ඩාමුස් ආඥාවක්, මේ නඩුව අවසන් වනතුරු විදුලි ගාස්තු වැඩි නොකරන ලෙස අතුරු නියෝගයක් සහ විදුලි ගාස්තු වැඩි කිරීමේ ගැසට් නිවේදනය අවළංගු කිරීමේ රීට් ආඥාවක්.

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන කිසිම වෙනත් අදහසක් නැති, මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළේම ඉන්න පාර්ලිමේන්තු විපක්ෂය මේ සමස්ත ප්‍රශ්නය හොරකමට ලඝු කළා. ආණ්ඩුවත් ඒකේ එල්ලිලා 2009 සිට හොරකම් හොයනවා කියලා නාට්‍යයක් රඟපානවා. ඒ නාට්‍යය දෙස බලාසිටියදී ජනතාවගෙන් පික්පොකට් ගහනවා. මේ අලාභය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේත්, මහජන උපයෝගිතා කොමිසම මාර්තු මාසයේත්, ජාතික විගණන කොමිසම අප්‍රේල් මාසයේත් වාර්තා නිකුත් කළා. ඒ කිසිවක් ගැන විමර්ශන නොකැඳවා කොමිසමක් පත් කිරීම සැක සහිතයි. ඒ වගේම මැයි පළමුවැනිදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොමිසමේ වාර්තාව ගැන කොමිසමට අපහාස කරමින් කළ ප්‍රකාශය තවදුරටත් ඒ සැකය තීව්‍ර කරනවා. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කලා මේ නාට්‍යයේ හවුල්කාර නළුවන් බවට පත්නොවී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න.”

leave a reply