Breaking News

නිරෝධායන මධ්‍යස්ථාන වල රැදීසිටින්නන්ගේ සහ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරන්න

ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි

ඉදිරි මහ මැතිවරණයේදී නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ගේ සහ රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි. එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදී ඉල්ලීම් සිදුකළත් කිසිදු පාර්ශවයක් ඒ් පිළිබද අවධානය යොමු නොකිරීම බරපතල තත්වයක් බවයි.

මෙවර කොරෝනා අවධානම හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන තවමත් ක්‍රියාත්මක අතර මැතිවරණ කාලසීමාවේදී යම් පිරිසක් ඒම මධ්‍යසථානවල රැදී සිටින්නේ නම් ඔවුන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් යෙදීමේ අවශ්‍යතාව ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මෙරට ඡන්දය හිමි සෑම පුරවැසියෙකුටම හිමි අයිතියක් වන අතර වෙනත් කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් එය උල්ලංඝනය කිරීමේ අයිතියක් නොමැති බව ද ඇය කියා සිටියාය.

නමුත් එතෙක් මෙතෙක් පැවති රජයන් විසින් රිමාන්ඩ් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබද කිසිදු තැකීමක් කර නැති බව පෙන්වා දෙන ඇය සදහන් කලේ සිරකරුවන්ගේ ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි ප්‍රමාණයක් නොවීම නිසා බොහෝ පාර්ශව මේ පිළිබද අවධානය යොමු කර නොමැති බවයි. නමුත් යම් වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවීම යනු ඡන්ද අයිතිය අහෝසි වීමට හේතුවක් නොවන බව ද ඇය පෙන්වා දෙයි.

මේ නිසා මෙවර මහමැතිවරණයේදී වත් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවියන් සහ රිමාන්ඩ් සිරකරුවන් ගේ ඡන්ද අයිතිය පිළිබද අවධානය යොමු කළ යුතු බව ඇය පෙන්වා දෙයි.

leave a reply