Breaking News

නිවුන් ගේ නිවුණු කවි….

ඉන්දික සමන්ත

කවිය නම් වූ ඉසියුම් කලා මාධ්‍ය මැනවින් ගවේෂණය කරමින් එම කලා මාධ්‍යයට මහත් සේ පෙම් බඳින සහෘදයකුගේ 6 වන කාව්‍ය සංග්‍රහය “මට දුර ද මල් පිපෙන හදවත” නමින් අප දෝතට පත්ව ඇත එහි අන්තර්ගත බොහෝ නිමැවුම් අපූරුය. සුරස ය. බුද්ධි මණ්ඩලය ප්‍රසාරණය කරනසුලු ය එහෙයින්ම එම කෘතියෙහි කවිකීපයක් වින්දනය කිරීමට උත්සාහ කළෙමි.

කවියෙහි ප්‍රකාශන මාධ්‍යය භාෂාවයි භාෂාව තුළ පවත්නා වාච්‍යාර්ථය ඉක්මවා යමින් ධ්වනිතාර්ථ ව්‍යංග්‍යාර්ථ මතු වන ලෙසින් බස හැසිරවීම තුළම කවිය උපදී බසෙහි පවත්නා ධ්වනි ගුණය සංයමයෙන් ඉසියුම්ව භාවිත කිරීමට වෙර දරන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ඉවසීමෙන් කවියේ දිගු පුළුල් බව සොයා කවි මඟ ඇවිද යන්නෙකි.

සමාජයක පවත්නා මානව සබඳතා සංකීර්ණය ය .කවි ප්‍රතිභාවෙන් එවන් මානව සබඳතාවන් හි අපූර්වත්වය පරිකල්පනය කිරීම ආනන්දනීය කාර්යයක් ම නො වන්නේ ද?

“බස්සියකට”යන මැයෙන් ලියැවී ඇති කෙටි කවිය වෙසෙස් අරුත් ගම්‍ය කරන්නකි. විවිධාර්ථ ඔස්සේ සහෘද සිත රැගෙන යන්නකි. එය හමුවකි. පණ ගැහෙන හදවත් දෙකක සම්මුඛ වීමකි. ඉන්පසුව එම ළබැඳි හමුවෙහි මතක පමණක් ශේෂ වී ඇත ඒ ඈ පිළිබඳ, ඇගේ දිවිය පිළිබඳ තතු ය.

“රැය පැහැතිය
ඔබ දමා ගිය
පියාපත”

රැය අඳුරුය. කළුවරය. කලුම කලු පාටය කවියා අපට ගම්‍ය කරනුයේ
බස්සියගේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරි ජීවිතය මතු නොව ඇගේ ලෝකය වෙළාගෙන පවත්නා අසහනකාරී දුක් පිරිපතයි කථකයා ඇගේ ජීවිතයේ දුක්ඛදායි ශේෂ පත්‍රය හදවතින් මෙනෙහි කරයි එයට ළෙන්ගතු වෙයි ඇගේ දිවියෙහි සමස්ත ලෝකයාගේ ඇස නොගැටුණු මානයකට සහෘදයා ව කැඳවා යයි.

“අහුලා ගත් බැවිනි
දන්නේ
මේ සිනිදු බව ගැන”

ඔහු ඇගේ දිවියේ විඳුම් පිරිපත සියුම් සැතකින් විච්ඡේදනය කොට එහි පවත්නා අසරණකම, කම්පනීයබව සංවේදීත්වය මතු නොව සුසිනිදු බව ද හඟීයි
දෘඩ මානව සබඳතාවක වින්දනීය අපූර්වත්වය විශද කරන කවියා සමස්ත සමාජය ම ඈ වෙත හෙලන දෘෂ්ටිපථය කෙතරම් අසාධාරණ ද යන වග සංයමයකින් යුතුව රැගෙන එනුයේ මානව දයාවේහි ගුණ සුවඳ වගුරවමිනි.

“නුඹ
නිසාචර යැයි
දකින ලෝකය
නොදකිති
රැය පැහැ පියාපත
මේ තරම් සුසිනිදු බව”

ඈ බස්සියකි. නිශායාමයේ සරන්නීයකි. ළයේ තෙත පුරවාගත් ඈ සිය කය මිල කරනා අබිසරුලියකැයි සිතේ සමාජයේ ආන්තික මිනිසුන්ගේ කයට යටින් සැඟව ඇති ළතෙත් හදවත් හි අරුම කියාපාන ධ්වනි කාව්‍යයක් ලෙස අප සිත් ගනියි කවියාගේ පරිකල්පනීය ලොව තුළ සුලබ තේමාව රස නුසුන් කොට ප්‍රතිනිර්මාණය වී ඇත.

වචන අරපිරිමැස්මෙන් තෝරා ගැනීම ධ්වනි ගුණ සුරක්ෂා කරමින් කවි සිරුරට භාවිත කිරීම දිගුකලක සිට සිය මාධ්‍යය තුළ අභ්‍යාස වෘද්ධ නිර්මාණකරුවෙකුට ම කළ හැක්කකි එය අභියෝගයකි. එම අභියෝගය වසන්ත කෙමෙන් කෙමෙන් ජය ගන්නා අයුරු විශද කරන්නා වූ කාව්‍ය නිර්මාණයකි “දිය සහ ඇය”
ස්ත්‍රී රූපකාය නෙතට රසඳුනකි. ඇගේ සන්සුන් ඉරියව්වක පවා සිත් ප්‍රබෝධවත් කරන සරාගී බවක් ඇත ස්නානයට සූදානම් වන ඇගේ රුව ජල තලය මතට.

වැටෙයි සංසුන් දිය කැළඹෙයි
“ඈ රුව දියට වට තැන
කැළඹෙති
තිත්ත රැළ”

පුහුදුන් මිනිස් සිත සරාගික සිතුවිලි ඔස්සේ නොසන්සුන් වීම සංකේතාත්මක ව කියා පෑ අයුරු කදිමය මිනිස් සිතේ ස්වභාවය බසෙහි ධ්වනි ගුණය පාදක කර ගනිමින් මතු කිරීම කෙතරම් අගනේද?

“දියට බට පසු
ඇය
ඇසෙයි
නැවත
නැවතත්
දියරැලි
ඉවුර තෙරපන හඬ”

කෙටි පද භාවිත කරමින් කවියේ හැඩය සකසන කවියා ඇගේ සරාගී රුව දැකීමෙන් මනසෙහි ජනිත හැඟීම් වල ආයාසකර තෙරපුම කාව්‍ය හැඩය ඔස්සේද සහෘද සිතට සමීප කරනුයේ ජී බී සේනානායකගේ නිශ්ශබ්දතාවය වැනි කවියක ආකෘතියෙන් ලබාගත් ආලෝකය ද සිහිපත් කරමිනි.

“ඉවුරේ සිටිමි
නොබැස දියට
අසමින්
දිය රැලි
ඉවුරු තෙරපන හඬ”

කවියා බස ඔස්සේ නිමවන සංකේතාර්ථ මන බඳනා සුලු ය කථකයා ඇගේ සරාගී රුව මනසින් විඳීයි එම විඳුම් සීමාව අභිබවා යාමට කථකයා අපොහොසත්ය ඔහුගේ සිත නොසන්සුන්ය. එනමුදු ඉවුර බිඳගෙන ඔහු නොයයි. ඇගේ රුව මනසින් විඳි අනුරාගී වෙයි. මිනිස් මනස විනිවිද එහි ගැඹුරු තැන් ස්පර්ශ කිරීම සහෘද වින්දන ධාරිතාව ප්‍රසාරණය කරන්නකි.

මට දුර ද මල් පිපෙන හදවත කාව්‍ය සංග්‍රහයේ විවිධාර්ථ මතුකරමින් විඳින්නාට අනන්‍ය වන අර්ථ මතු කර ගැනීමේ ශක්‍යතා වෙන් යුතු කවි රාශියකින් ඒ අතරින් “පන්තිකාමරයක දී” කවිය සුවිශේෂීය.

නව යෞවන හැඟීම් කැටිකරගත් පාසල් යුවතියකගේ සිත තම පන්ති කාමරය තුළ, ඇගේ රොමැන්තික් ලෝකය තුළ වීරයා බවට පත්වන ගුරුතුමා වෙත ආශක්ත වීම අරුමයක් නොවේ. ඇතැම් තුරුණු ගුරු සිතක් සිය සිසුවිය වෙත ඇදී යාම ඇවතක් ද? එනමුදු සංස්කෘතිය විසින් අපට පවරා ඇති විවිධ සීමා බන්ධන මත හිරවී සිය නිර්ව්‍යාජ හැඟීම් යටපත් කරගෙන උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණ දීමට සූදානම් ගුරුවරයෙකුගේ නිර්ව්‍යාජ ආධ්‍යාත්මයක පිළිබිඹුවක් ලෙසින් පංති කාමරයකදී කවිය වින්දනය කළ හැක.

“වෘත්ත චතුරස්‍ර හා තවත් තලරූප
ගැන පමණි කතා කළ හැක්කේ අපට”
“විෂය නිර්දේශයෙන් එපිට වැඩි ඈත
යන්න හොඳ නෑ පමාවෙයි පාඩම අපට”
“ගුරු මේසයෙන් ඈත්වී යන්න පෙර
මදක් එහෙ මෙහෙ කරයි ඔබ මල් බදුන”

මල්පිපෙන පොකුණ සහ තුඹස පුරුෂ චිත්තසන්තානයේ ජනිත වන සැකමුසු සිතුවිලි පරම්පරාවක ස්වභාවය විද්‍යමාන කරන්නකි මල්පිපෙන පොකුණ මෙන්ම තුඹසෙහි නාගයා ද සංකේතාර්ථ මතු කරයි. මිනිස් සිතක ඇතිවන මෙවන් සැකමුසු සිතුවිලි පවුල් සංස්ථාව දෙදරා යාමට ද හේතු වන්නකි. එහෙයින් නාගය හෙවත් මිනිස් සිත විසකුරු කරවනා සැකමුසු සිතුවිලි ඉවත දා අසුන්දර දේ මගහැර සුන්දර දේට මුහුණ දෙමින් දිවි ගඟ තරණය කිරීම නොවේද මිනිසුන් ලෙස අප කළ.

යුත්තේ
“වැටට මදක්
ඔබ්බෙන් වූ
ඒ තුඹසෙහි
නාගයෙකු සිටින බව
ඇතැම් දවසක ඌ
පොකුණට බසිතැයි
ගංගොඩේ පැතිර යන
කතාබහ ගැන
කල්පනා කරයි
ඔහු තනියම”

මානව සබඳතාවන් ගේ ගැඹුරු පැතිමානයන් ඉසියුම්ව කවිය මගින් විනිවිදින කවියා අත්දැකීම ප්‍රතිනිර්මාණයෙ දී දක්වන සංයත බව නිවුණු බව, කවිය ගැඹුරු අධ්‍යයනයකට හසු කරන්නෙකුගේ ඥානවෘද්ධ බව කියාපාන්නකි.

මිනිස් මනස අසිරිමත් වූවකි එය තරම් විස්මය උපදවන දෙයක් ලොවෙහි නොමැති බව බුදුන් වහන්සේ ද ප්‍රකට කොට ඇත මිනිස් මනසේ ගැඹුරු මනෝභාව සොබාදහම සමඟ අනන්‍ය කරමින් විවරණයට තැත් දැරීම නිවුන් ගේ කවියෙහි සුවිශේෂී ලකුණකි.

මරණය සාමාන්‍යකරණය වූ අඳුරු කාල පරිච්ඡේදයක් අපි ගෙවමින් සිටිමු සීතල මරණය පුහුදුන් මිනිස් සිතට රැගෙන එන පාලුව හුදෙකලාව තනිකම අසරණ බව කෙතරම් ද? මරණයත් සමග ඇතිවන වියෝගය පුහුදුන් සිතට අති මහත් වේදනාවකි පරිසර සාධකය මනාව කවි සිරුර සමඟ බද්ධ කරමින් මරණය හා පුහුදුන් මිනිස් සිත පිළිබඳ සංයත විවරණයකි “සම්බුදු පිරිනිවන සහ ආනන්ද තෙර” මැයින් විරචිත කෙටි කව.
“හිරු නික්මගිය අහසේ
අඳුරු පැහැයට හැරෙන වළාකුළු
කුසිනාරා නුවර උපවත්තන සල් උයන
දෙසින් එන සීතල සුළඟ
බෝපත් විසිර ගිය
නො අමදින ලද බෝ මළුව
ගණදුර ඉතිරි කර කුටියෙහි
දැල් වූ සැණ නිවී ගිය පහන
දිය සෙවෙල සහිත පොකුණේ
පතුලෙන් එකදිගට ඇසෙන මැඩි හඬ”

කවියා රපිරිමැස්මෙන් භාවිත වචන කෙමෙන් කෙමෙන් කවිය මගින් ප්‍රතීත අර්ථය කුළු ගැන්වීමට සමත් ය එහිදී සංකේතාර්ථ මතුකරන දාර්ශනික විදර්ශනාව ථෙරී ථෙර ගාථාවකින් ලබන නිරාමිස වින්දනයකට සහෘදයා කැඳවාගෙන යයි.

“අඳුරු පැහැයට හැරෙන වළාකුළු”
“සීතල සුළඟ”
“නො අමදින ලද බෝ මළුව”
“ගණදුර”
“දැල් වූ සැණ නිවී ගිය පහන”

උක්ත පද කැටි මතු කරන අර්ථය අවසන් පද්‍ය පේලි දෙක ඔස්සේ ත්‍රීව කරන අයුරු අපූරුය.

“දිය සෙවල සහිත පොකුණේ”
පතුලෙන් එකදිගට ඇසෙන මැඩි හඬ”

මේ හි දිය සෙවල සහිත පොකුණ රාග ද්වේශ මෝහ යන්ගෙන් පිරි පුහුදුන් මිනිස් සිත ම නොවන්නේද මැඩි හඬ පුහුදුන් මිනිස් ආධ්‍යාත්මයෙන් නැගෙන වේදනාත්මක ස්වරය සංකේතවත් නොකරයිද? පිරිනිවන් මංචකය පරිසර සාධකය ඇසුරින් දාර්ශනික සංකල්ප රූපයක් බවට පත්කිරීම වෙසෙස් සමත්කමකි.
මිනිසා ගෙවන යාන්ත්‍රික ජීවිතය නීරස ය. ජීවන් අරගලයෙන් හෙම්බත් වුණු මිනිසා නැවත ප්‍රකෘතිය පසුපස හඹා යයි. ඉන් වින්දනයක් ලබයි සරල බව ක්ෂුද්‍ර බව තුළ පවත්නා චමත්කාරය මතු කර ගත් විට මිනිස් සිත විඳින සැහැල්ලුව “පුංචි මිදුලක සැඳෑ කල” කවියෙහි අන්තර්ගතයයි.

“වනගහනයට නුදුරු
පුංචි නිවහනක
මිදුලක
ගෙවී යන සැඳෑ කල
“කළුවර සමඟ මතුවන
මහා තාරකා විශ්වයෙන්
බිඳක් ගෙන
කණමැදිරි යෙක් හැසිරෙයි
මා අවට”

මේ මහා විශ්වයෙහි මිනිසා කෙතරම් ශුද්‍ර අංශුවක් ද යන්න මෙමගින් ප්‍රතීත නොකරයිද?

මානව සබඳතා, මිනිස් සිතෙහි අපූර්වත්වය, සොබාදහම මතුනොව ප්‍රියංකරගේ අනුභූති මාලාවේ දේශපාලන සමාජ කාරණා ස්පර්ශ කරනා කවිද විද්‍යමානය වඩා වැදගත් වනුයේ එම සමාජ දේශපාලන යථාර්ථයන් සංයමයෙන් යුතුව කාව්‍යාත්මකව ධ්වනි පූර්ණ ව ප්‍රතිනිර්මාණය කිරීමයි. මහරජ රුව, බෝසතෙක් එනතුරු මග බලන සාපිපාසිත සෙනග, උද්‍යාන අලංකරණයේ නියුතු මිතුරාට, මතක යනාදී කවි ලාංකේය මහපොලොවේ සමාජ දේශපාලන ආර්ථික යථාර්ථය කවිය මගින් ගවේෂණය කිරීමට ගත් අපූරු උත්සාහයන් ලෙස හඳුනාගත හැක.

බසෙහි පවත්නා ධ්වනි ගුණය පෙරදැරි කර ගනිමින් සංයමයෙන් යුතුව සිය අනූභූතීන් ් සංරචනයට පෙළඹෙන නිවුන් නන්දන වීරසිංහ ආරියවංශ රණවීර වැනි දෙටු කවියන්ගේ කවිය ගැඹුරින් හදාරමින් ලැබූ ආභාසය ද මෙම කාව්‍ය සංග්‍රහයෙහි පිළිබිඹු වේ. එමතුද නොව දෙස් විදෙස් කෙටි කවිය ගැඹුරු ගවේෂණයකට ලක් කරමින් ලැබූ පරිචය ද කෘතියෙහි නොඅඩුව දක්නට ලැබේ. කවිය ගැන ගැඹුරු ගවේෂණයක නිමග්න නිවුන් හෙට දිනයේ කවියට දක්වන දායකත්වය පිළිබඳ සහෘද අපි නෙත් සිත් දල්වා සොඳුරු අපේක්ෂාවෙන් යුතුව බලා සිටිමු.

ඉන්දික සමන්ත
උසස් පෙළ සිංහල විෂය භාර ආචාර්ය
හලා/වෙන්/බෞද්ධ බාලිකා ජාතික පාසල

leave a reply