Breaking News

21වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පොදු එකගතා

පූර්විකාව

අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයට බව අවිවාදිත ය. මෙම අර්බුදය හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත පාලක පක්ෂය ම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට සහ විරෝධයට ලක් ව සිටින බව ද, එම පාලක ක්‍රමය හැකි ඉක්මනින් අවසාන විය යුතු බව ද ජනතා අරගලයේ මූලික සටන්පාඨය බවට පත් වී ඇත.

මේ නිශ්චිත මොහොතේ ජනතා අරගලයේ සාධාරණ සටන්පාඨයන්ට ශක්තියක් වීමේ යුතුකම අප හඳුනා ගන්නා අතර ම, අර්බුදයට පාදක වූ මූල හේතූන් ද හඳුනා ගනිමින්, එම මූලික ගැටලු න්‍යායාත්මකව විසඳා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අපි අවධානය යොමු කළෙමු. රාජ්‍යයේ ස්ථාවරබාවය, ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම, විනිවිදභාවය සහ වගවීම ආදී කරුණු රැසක් එහි ලා අවධානයට බඳුන් විය යුතු ය.

ශිෂ්ටසම්පන්න පාලන ක්‍රමයක් ඇතිකර ගැනීම සදහා කාලාන්තරයක් තිස්සේ රට තුළ මහජනතාව විසින් ඉල්ලා සිටින ලද දේශපාලන පරිවර්තනයට අදාළව හා ජනතා අරගලයේ බුද්ධිඵලයක් ලෙස නිර්මාණය වී ජනගත වී ඇති විවිධ යෝජනා පිළිබඳව මූලික අවධානය යොමු කරමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාවලිය මගින් වත්මන් අර්බුදයට යම් කොටසකට ප්‍රතිචාර දක්වන අතර ම, මෙවන් අර්බුදයක් අනාගතයේ දී පැන නොනැගීම සඳහා ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ගෙන ඒම ද අතිශය වැදගත් කාර්යයක් බව අවධාරණය කෙරේ. බලය කේන්ද්‍ර කර ගත් එක් පුද්ගලයකු හෝ කණ්ඩායමකගේ අභිමතය පරිදි රටක් පරිපාලනය කළ හැකි වනවා වෙනුවට, සමාජ සාධාරණත්වය, නීතියේ ස්වාධීනත්වය, පරිපාලනයේ විනිවිදභාවය, නීතිය සහ ජනතාව ඉදිරියේ වගවීම වැනි දියුණු පුරවැසි මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවක් සහ පරිපාලන රාමුවක් ඇති කිරීම තුළින්, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනා ගැනීමට සහ එමගින් මෙම සමාජ-ආර්ථික-මානුෂීය අර්බුදයට ඉක්මන් අවසානයක් ගෙන ඒමට මැදිහත් වීම අපගේ අරමුණයි.

අප රට ජනතාව මුහුණ පා ඇති ආහාර, බලශක්ති, බෙහෙත් සහ විදේශ විනිමය ආදී විවිධ ශෝචනීය තත්ත්වයන් ගෙන් අත්මිදීමේ ආර්ථික අවශ්‍යතා සමාජයේ අස්තායීභාවයට හේතුපාදක වී ඇත. එහෙයින් යහපාලනය සඳහා විවිධ යෝජනාත්, ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමත් මගින් එකී ශෝචනීය තත්ත්වයන් අඩු තක්සේරුවකට ලක නොකරන බව මෙහිදී අවධාරණය කරමු. ඒවා ක්ෂණිකවමත්, මධ්‍යකාලීනවත් දිගුකාලීනවත් විසඳුම් රජය විසින් සැපයිය යුතු බව උද්දීපනය කරමු.

මෙම යෝජනාවලිය සැකසීමේ දී මහජනතාව විසින් ඉල්ලා සිටින සමාජ පරිවර්තනයට එළඹීම උදෙසා කෙටිකාලීනව අපේක්ෂා කළ හැකි ව්‍යවස්ථාමය වෙනසක් පිළිබඳවත්, දිගුකාලීනව රටේ පාලන ක්‍රමය දියුණු සංස්කෘතියක් කරා ගෙන යාම උදෙසා සමාජය විසින් විවිධ යෝජනාවලි හරහා මතු කළ මූලික වෙනස්කම් පිළිබඳවත් අවධානය යොමු කර ඇත. කෙසේ නමුත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛ කාර්යය ලෙස අවධානය යොමුකර ඇත්තේ ජනමත විචාරණයකින් තොරව ඉදිරි මාස කිහිපය තුළ වහා සංශෝධනය කර ගත හැකි මූලික ව්‍යවස්ථාමය සංශෝධන පිළිබඳව ය.

රටේ බොහෝ පාර්ශ්වයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන වත්මන් ජනධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරවම ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම්, ඕනෑම අවස්ථාවකදී කළ හැකි බවද , විධායක ජනධිපති ක්‍රමය සංශෝධනය/අහෝසි කිරීමට අදාළව ඇති යෝජනා ජනමත විචාරණයකින් තොරව ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයකින් කෙටිකාලීනව සාක්ෂාත් කර ගත නොහැකි බව මෙහි දී අවධානයට ලක් විය.

අපගේ මෙම සමස්ත වෑයම රට තුළ පවතින අවිනිශ්චිත හා අස්ථාවර දේශපාලන සමාජීය සහ ආර්ථික වටපිටාව හැකි ඉක්මනින් සමථයකට පත් කොට, පීඩාවට පත් මහජනතාවට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සහිතව සාධාරණ හා යුක්තිසහගත පාලන ක්‍රමයක් තුළ ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම ය. එමෙන් ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ශිෂ්ටසම්පන්නව පාලනය වන රටක් බව තහවුරු කිරීම උදෙසා අවශ්‍ය දේශපාලන පරිවර්තනයන්ට කඩිනමින් එළඹීම ද මෙහි අපේක්ෂාවකි. එබැවින් ඒ උදෙසා දේශපාලනඥයන්ගේ මෙන් ම සමස්ත පුරවැසියන්ගේ සහයෝගය අපි අපේක්ෂා කරමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති මෙම සංශෝධන පිලිබඳව පහත ප්‍රධාන අංශ යටතේ සලකා බලා ඇත.

  1. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලද, 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ පැවති සාධනීය වුවමනාවන් සහ මේ වන විට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වී ඇති කරුණු.
  2. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ දී, එහි පවතින තව දුරටත් අහෝසි නොකර රඳවා තබා ගත යුතු සංශෝධන.
  3. ඉහත 1 හා 2ට ඇතුලත් නොවන නමුත්, ජන අරගලයේ නියමු සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කර ඇති අත්‍යවශ්‍ය වැදගත්කමකින් යුතු යැයි සැලකිය හැකි සංශෝධන.
    20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරියට ගෙන යා යුතු යෝජනා
    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර, අවම තරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කළ යුතු ය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන නැවත ස්ථාපිත කිරීමත් සමග ම, ආනුෂංගික ව්‍යවස්ථාදායක සභා සහ ස්වාධීන කොමිෂන් සභා ද නැවත ස්ථාපිත විය යුතු අතර එම ආයතනවල මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කළ යුතු ය.
    එසේම,20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා කළ වර්තමාන අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව එසේ ම පැවතිය යුතු ය.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අලුතින් එකතු විය යුතු යෝජනා

  1. ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් ස්ථාපිත කළ යුතු බව

ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ පරිදි රජය විසින් ජාතික ප්‍රතිපත්ති සම්පාදන සභාවක් පත් කළ යුතු අතර එම සභාව විසින් සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්තිවලට අනුකූල වන සේ අමාත්‍ය මණ්ඩලය සහ පළාත් සභා ක්‍රියා කළ යුතු ය. මේ සඳහා මෙම සභාවේ පරමාර්ථ, සංයුතිය, මෙහෙයුම්, ලේකම් කාර්යාලයක් ස්ථාපනය, ප්‍රතිපත්ති සාධනයට විශේෂඥ කණ්ඩායම් සේවයට ගැනීම, පළාත් සභා වල නියෝජිතත්ත්වය ඇතුලත්වන පරිදි පාර්ලිමේන්තුවෙන් පනතක් සම්මත කර ගැනීම කළයුතු වේ.

1.1ස්වාධින ව්‍යවස්ථා සභාවෙ වෘත්තිමයභාවය සහ සංයුතිය

19 සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය දහ දෙනෙකුගෙන් සමන්විත වන අතර එයින් 03 පමණක් වෘත්තිමය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගෙන් සමන්විත වේ. ඒ හේතු කොට ගෙන ව්‍යවස්ථාදායක සභාවේ බලය දේශපාලන පක්ෂ සාමාජිකයින් වටා ගොඩනැගී ඇති අතර,හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගෙන් සමන්විත වේ. ඒ හේතු කොට ගෙන ව්‍යවස්ථාදායක සභාවේ බලය දේශපාලන
පක්ෂ සාමාජිකයින් වටා ගොඩනැගී ඇති අතර,වෘත්තියවෙදින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සුළුතරය බවට පත්වී ඇත. මේ නිසා බලයට පත්වන පක්ෂයේ එකගතාවන් වලට ඉඩ තැබීම තුල,
දේශපලන්නකරණයට ඇති ඉඩකඩ ඇතිවේ. එය අවම කිරීම සම්බන්ධයෙන් සාමාජිකයින් 07න් සමන්විත ව්‍යවස්ථා දායක සභාව, කතානායක ,අගමැති , විපක්ෂ නායක ගෙන් සමන්විත වන අතර , වෘත්තිමය හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හතර දෙනෙකු ඉහත තිදෙනා විසින් පාර්ලිමේන්තු විමසා පත්කරගත යුතුය.

1.2 ව්‍යවස්ථා සභාවේ බලතල සහ වපසරිය

පහත සදහන් පත් කිරීම් (යෝජිත 21වන සංශෝධනයේ පත් කිරිම් වලට අමතරව) ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත සිදු කළ යුතු ය.
– අමාත්‍යංශ ලේකම්වරුන්
– ආණ්ඩුකාරවරුන්
– තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන්
– මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය
– තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
– වරාය නගර කොමිෂන් සභාවේ නිලධාරී මණ්ඩලය
– විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
මෙකී පත් කිරීම්වලට සහ ක්‍රියාත්මක කිරීම්වලට අදාළ පියවර, නිර්ණායක සහ ක්‍රියාමාර්ග ව්‍යවස්ථා සභාව විසින් සකස් කර ගැසට් කළ යුතු ය. ඒමෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීම පිලිබඳව විනිවිදබාවයක් සහිත විධිමත් ක්‍රම වේදයක් සකස් කිරීම ව්‍යවස්ථා සභාවේ වගකීමක් විය යුත්තේය.

  1. ජනාධිපති කාර්යය සහ බලතල සීමා කළ යුතු බව

2.1ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා විධායකයේ ප්‍රධානියා සන්නද්ධ සේවාවෙහි සේනාධි නායකයා විය යුතු අතර ආණ්ඩුවේ ප්‍රධානියා යන්න සංශෝධනය කොට, අගමැතිවරයාට එම බලය ලබාදිය යුතුය.
2.2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාට ප්‍රදානය කර ඇති තත්ත්වය අහෝසි කළ යුතු ය.
2.3 ජාතික ප්‍රතිසංධානය සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම ජනාධිපති කාර්යයන්ට ඇතුළත් කළ යුතුය.
2.4 ජනාධිපතිවරයා කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරිය යුතු ය.
2.5 ජනාධිපති සමාව ලබාදිය යුත්තේ 19 වන සංශෝධනයේ විධිවිධානවලට අමතරව ස්වාධින කමිටුවක නිර්දේශ පරිදි ය.
2.6 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය 19 වැනි සංශෝධනයේ විධිවිධාන අනුව වෙනස් කළ යුතු අතර ඒ සදහා අග්‍රමාත්‍යවරයා විමසිය යුත්තේය යන්නද ඇතුලත් කළ යුතුය.
2.7 පාර්ලිමේන්තුව කල් තැබීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති සිදු කළ යුතු ය.

  1. නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු බව

3.1 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කෙටුම්පතක් කාරක සභා අවස්ථාවේ සංශෝධනයට ලක් වී සම්මත වුවහොත්, එය සාධාරණ කාලයක් තුළ දී ශේෂ්ඨාධිකරණයේ විමර්ශනය කළ හැකි බව සහතික කළ යුතු ය.
3.2 නීතිපතිවරයාගේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහිතව වගවීම සහතික කරන යාන්ත්‍රණයක් සහ නීතිපතිවරයා සතුව පවතින ද්විත්ව කාර්යයභාරය (රජයේ නීති උපදේශක සහ අභිචෝදක) බැඳියාවන් අතර ගැටුමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා සුදුසු ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කළ යුතු ය.
3.3 රජය විසින් නීති සම්පාදනය කිරිමේ දී සහ අන්තර්ජාතික ගිවිසුම් ඇති කර ගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයන්ට ඒවායේ ඇති අනුකූලතාව නීතිපති විසින් ඒවා භාවිතයට පෙර තහවුරු කළ යුතු ය.
3.4 ජනාධිපති කොමිෂන් සභා මගින් අධිකරණයට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළ යුතු ය.
3.5 විගණකාධිපතිවරයා හෝ ඔහුගේ බලයලත් නිලධාරියෙකු සිදු කරන ලද විගණන පරීක්ෂාවක් මගින් වංචාවක්, දූෂණයක් හෝ ඊට ආනුෂංගික වෙනත් ඒ හා සමාන රජයේ මුදල් හෝ දේපළ අවභාවිතයක් සිදු වී ඇති බව තහවුරු වන සහ අධිකරණය තුළ ගොනු කළ හැකි සාක්ෂි හෙළිදරව් වන අවස්ථාවල දී නීතිපතිවරයා මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමේ බලය විගණකාධිපතිවරයා වෙත පවරා දිය යුතු ය.
3.6 නීතිපතිවරයා මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම මත සිදු කෙරෙන අධිකරණ කටයුත්තක දී හැර, අධිකරණ කටයුත්තක් සදහා විගණකාධිපති වාර්තා භාවිතයට ගන්නා අවස්ථාවල දී එකී විගණකාධිපති වාර්තා, බිඳ හෙළිය හැකි පූර්ව නිගමනයක් සේ සළකා කටයුතු කළ යුතු ය.

  1. අමාත්‍ය මණ්ඩලය සීමා කළ යුතු බව

4.1 අසීමාන්තිකව කැබිනට්, කැබිනට් නොවන සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සීමාවකට ලක් කල යුතු අතර, අමාත්‍යාශ විෂයන් , සංඛ්‍යාව විද්‍යාත්මකව පදනමක් මත බෙදිය යුතුය. ඊට සමගාමිව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කල හැකි අතර එය 20 නොඉක්මවිය යතුය.
4.2 අමාත්‍ය මණ්ඩල තීරණ, රජය විසින් එළඹෙන අන්තර්ජාතික ගිවිසුම්, ජාතික සම්පත් හා සම්බන්ධිත ගිවිසුම් පිළිබඳ වාර්තාවක් ආසන්නතම පාර්ලිමේන්තු වාරයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.
4.3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52-2 අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍යවරු විසින් ලේකම්වරුන්ට ලබා දෙන විධාන සහ පාලනයට අදාළ මෙහෙයවීම් ලිඛිතව සිදු කළ යුතු ය.

  1. රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ප්‍රසම්පාදනය සහ අල්ලස, දූෂණය මැඩලීමට අදාළ නීති ශක්තිමත් කළ යුතු බව

5.1 අල්ලස, දූෂණය, නාස්තිය සහ වැරදි කළමනාකරණය වැළැක්වීමට අදාළ නීති ශක්තිමත් කළ යුතු ය.
5.2 රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආර්ථිකමය වශයෙන්, කාර්යක්ෂම, සඵලදායීතාව සහ වගවීම තහවුරු වන ලෙස යාවත්කාලීන කිරීම ප්‍රසම්පාදන කොමිසමේ මුඛ්‍ය අරමුණ විය යුතු ය.
5.3 මාර්ගෝපදේශවලින් බැහැරව සිදු කරන ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ට සහභාගිත්වයක් දක්වන බලධාරින්ට එරෙහිව නෛතික ක්‍රියාවලීන්ට එළඹිමේ බලතල ප්‍රසම්පාදන කොමිසමට පැවරිය යුතු ය.
5.4 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 156ඇ (1) යටතේ ප්‍රසම්පාදන “පටිපාටි සහ උපමාන සකස් කිරීම’ ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කර්තව්‍ය ලෙස සඳහන් වේ. එහි (ඉ) අනූ ව්‍යවස්ථාව යටතේ රජයේ ආයතන විසින්, පිළිගත් පටිපාටිවලින් හා මෙහෙයුම් නිර්ණායකවලින් බැහැරව කරන ලද ප්‍රසම්පාදන විමර්ශනය කර වාර්තා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදනය තුළින් පසම්පාදන පටිපාටීන් ට බැහැරව ටයුතු කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවූ තුළින්ම අවසරයක් සලසයි. එය පරස්පරයකි.
පසුගිය දසක කිහිපය තුළ මහා පරිමාණ මූල්‍ය වංචා වන්ට ඉඩ සැලසූ “ඉල්ලීමක් නැති යෝජනා” (unsolicited proposals) ක්‍රමය සඳහා මෙමගින් ආවරණය ලැබෙන හෙයින් උක්ත (ඉ) යටතේ ප්‍රතිපාදනය සංශෝධනය කර ප්‍රසම්පාදන පටිපාටීන් උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි වන පරිදි නව සංශෝධනයක් ගෙනා යුතුය.
5.5 මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ විධිමත් ක්‍රමවේදයකට සමාලෝචනය සහ සැක කටයුතු අවස්තාවලදී පරීක්ෂා කළ හැකි පරිදි ව්‍යවස්ථාවේ 154-1 සංශෝධන සිදු කළ යුතු ය.
5.6 සියලු විදේශ ණය සහ ආධාර ව්‍යාපෘති විගණනය අනිවාර්ය කළ හැකි පරිදි ව්‍යවස්ථාවේ 154-1 සංශෝධන සිදු කළ යුතු ය.
5.7 ගණකාධිකාරවරයකු විසින් ම විගණන කටයුතු කිරීමේ දී ඇති වන ලැදියාවන් අතර ගැටුම මග හැරීම සඳහා ව්‍යවස්ථාවේ 154-8 සංශෝධන සිදු කළ යුතු ය.
5.8 රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සම්පූර්ණ පාලනය සහ වගවීම පාර්ලිමේන්තුවට පැවරීමට අදාළ නීති, විශේෂයෙන් ම මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තු කමිටු බලතල (උදා: කෝප්, කෝපා සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාව) වැඩිදියුණු කර ශක්තිමත් කළ යුතු ය.
5.9 සියලු සංවර්ධන ව්‍යාපෘති සමාජ විගණනයකට ලක් කර, හානිකර සහ අනවශ්‍ය ව්‍යාපෘති සමාලෝචනය කර ව්‍යාපෘති නතර කිරීමට හෝ සුදුසු වෙනස්කම් සහිත ව නැවත ආරම්භ කිරීම කළ යුතු ය.
5.10 රාජ්‍ය ආයතන පිළිබඳව සහ ජාතික වැදගත්කමකින් යුතු සම්පත් පිළිබඳව තීරණ ගැනීමේ දී වෘත්තීය සමිති, ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ඇතුළු අදාළ පාර්ශ්වයන්හි (Relevant Stakeholders)අදහස් විමසා, විධිමත් හා පාරදෘශ්‍ය ක්‍රියාවලියක් තුළ එකී තීරණ ගත යුතු ය.

  1. සමානාත්මතාව සහ සංහිඳියාව තහවුරු කළ යුතු බව

6.1 සියලු සිවිල්, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් තහවුරු කළ යුතු ය.
6.2 සියලු ජනකොටස්වලට (ජාතිකත්වය, ආගම, කුල-ගෝත්‍ර, ලිංගිකත්වය, භූගෝලීය සීමා, ජීවන වෘත්තීන් සහ සංස්කෘතිය ආදී විවිධතා නිසා පීඩාවට පත්ව සිටින ජනකොටස්වලට) සාධාරණ හා යුක්තිගරුක ලෙස ජීවත්විය හැකි පසුබිමක් සහතික කිරීමේ නෛතික ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය.
6.3 සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට හා ශක්තිමත් කිරීමට ඉඩ ලබා දිය යුතු ය. ඒ යටතේ ව්‍යවස්ථාදායකය සහ ජනතාව සම්බන්ධ කරන පුරවැසි සභාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු අතර පුරවැසි අරගලයට සම්බන්ධ පාර්ශ්ව ප්‍රමුඛ ව, සිවිල් සමාජ කොටස් ඇතුළත් කර ගනිමින් සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි ගොඩනැගෙන මෙම පුරවැසි සභාවේ අදහස් හා අභිලාෂයන් රාජ්‍ය පාලනයට හවුල් කර ගැනීම සඳහා විධිමත්, හරයාත්මක සහ කාර්යපටිපාටිමය නෛතික ප්‍රතිසංස්කරණයන් ඇති කළ යුතු ය.

  1. පොදු දේපළ සම්බන්ධයෙන් ඇති නිර්වචනය වඩf පුලූල් කළ යුතු බව

7.1 ව්‍යවස්ථාවේ පොදු දේපළ සම්බන්ධයෙන් ඇති නිර්වචනයට මෙම අංශද ඇතුළත් විය යුතුයි – මහජන සංඛ්‍යාත, ස්පර්ශ අස්පර්ශ සංස්කෘතික උරුමයන්, ජෛව විවිධත්ව උරුමයන් සහ කාබන් පා සටහන් (carbon foot print)
7.2 පාර්ලිමේන්තුවේ අනුදැනුම ඇතිව පොදු දේපළ ගිවිසුම් සහ විදේශ ණය ලබා ගැනීම/ සුරක්ෂිත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට විනිවිදභාවයක් ඇති යාන්ත්‍රණයක් සකස් කළ යුතු ය.
7.3 ශ්‍රී ලංකාව විදේශ වෙළඳ ගිවිසුම්වලට එළඹීම ජාතික වෙළඳ ප්‍රතිපත්තියකට අනුකූලව සිදු විය යුතු ය.
7.4 ජාතික සම්පත් සම්බන්ධයෙන් මහජනතාවට ඇති පරමාධිපත්‍යය තාවකාලිකව හෝ දීර්ඝකාලීනව අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට අයිතියක් නොමැති අතර එය යෝජිත ව්‍යවස්ථාවෙන් තහවුරු විය යුතු ය.

  1. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ විධිවිධාන යාවත්කාලීන කළ යුතු බව
    සියලු පක්ෂ තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ දී නියෝජනයක් නොලබන කණ්ඩායම්/ විශේෂත්ව දැනුම සහිත පුද්ගලයන් ඇතුළත් කිරීමට සහ එම ඡන්දයේ දී මහජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් පත් නොකිරීමට ව්‍යවස්ථාවෙන් විධිවිධාන සැලසිය යුතු ය.

  2. මහජන නියෝජිතයින්ට පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ අවම කළ යුතු බව
    මහජන නියෝජිතයින්ට හෘද සාක්ෂියට ඒකගව පක්ෂ මාරු කිරිමට ඇති අයිතිය පිළිගන්නා අතරම බලය හෝ වරප්‍රසාද අරඹයා පක්ෂ මාරු කිරීමේ ඉඩකඩ අවම කළ යුතුයි. ඒ සදහා විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ඒක්වී තනතුරු හෝ වරප්‍රසාද ලබා ගැනීම වැලකෙන අකාරයේ නීති සම්පාදනය කළ යුතුවේ.

  3. මූලික අයිතිවාසිකම් හා ගැටෙන නීති සංශෝධනය කළ යුතු බව
    මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ පනත් සංශෝධන සහ ව්‍යවස්ථාවෙන් සාක්ෂාත් කර ඇති මූලික අයිතිවාසිකම් හා ගැටෙන නීති සංශෝධන කඩිනමින් සංශෝධනය කර, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු ය.

  4. ස්තූතිය
    වර්ථමානයේ පවත්නා රාජ්‍යතන්ත්‍රභාවය සැලකිල්ලට ගනිමින් මෙහි නිරීක්ෂණ සහ නිර්දේශ සිදු කර ඇත.

මෙම යෝජනාවලිය සකස් කිරීමේ දී ත්‍රෛනිකායික මහා සංඝාවහන්සේලාගේ සහ පහත සදහන් සංවිධාන සහ කණ්ඩායම් වල යෝජනා සැලකිල්ලට ගනු ලැබිණි.
ත්‍රෛනිකායික නිකායික අතිපුජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ යෝජනා , ශ්‍රී ලංකා නීති සංගම, මාර්තු 12 ව්‍යාපාරය , සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය , ගාලු මුවදොරින් ඔබ්බට පුරවැසි යෝජනාවලිය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය , පැෆ්රල් සංවිධානය , Direction Sri Lanka, දෙවන පරපුර , ” ebuildSriLanka2022 , සභාගීත්ව යාන්ත්‍රණයක් හරහා ජනතා ව්‍යවස්ථාවක් , ජන අරගල සහයෝගීතා ව්‍යාපාරය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය , Way forward for Young Leaders,Transparency International SL, SSU and IUS සමගිජන බලවේගය , ජාතික ජනබලවේගය , පාරිභෝගික ආරක්ෂණ පිළිබද ප්‍රතිපත්තියක් , ජාතික සාමුහික ප්‍රකාශනය , නවක මන්ත්‍රීවරුන් , ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය , මහජන සභාව , සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමය , ලංකා වාණිජ සංගමය

06.06.2022- මාර්තු 12 ව්‍යාපාරය

 

leave a reply