Breaking News

මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනුවට වැඩි වැඩියෙන් ආදාහනාගාර ඉදිකිරීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ රෝහල් තුළ දැරිය හැකි ධාරිතාවයට වඩා මේ වන විට රෝගීන් වාර්තාවීමේ සීඝ්‍රතාවය හේතුවෙන් මේ තත්ත්වය සෞඛ්‍ය අංශ වෙත පාලනය කිරීම සිදුකල නොහැකි බවයි.

දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවන බවත් ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹායාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවත් උපුල් රෝහණ සදහන් කරනවා.

මේ වන විට ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා වාර්තා වන බව පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික ආසාදිත වාර්තා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රාදේශීය වශයෙන් ලබාදෙන දත්ත අතර පරස්පරතාවයක් පවතින බවද මෙම වැඩසටහනේදී පවසා සිටියා.

“කියන්නේ නෑ රජයේ දත්ත බොරු කියලා. නමුත් දත්ත පිළිබඳ ගැටලුවක් තියෙනවා. තියෙන ධාරිතාවයට වාර්තාවන රෝගීන් ප්‍රමාණය එක්ක අපිට දැන් පාලනය කරන්න අමාරුයි. අපි දැනට කරන්නේ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම. ආශ්‍රිතයින් සියලුදෙනා සොයා යෑමේ අවස්ථාවක් නෑ මේ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව සමඟ. අහඹු පීසීආර් පරීක්ෂණ ඇතැම් විට සිදුකරනවා මහ මඟ 100ක් ගත්විට එයින් 19දෙනෙක් වාර්තා වුණා.”

“ඊයේ දින සන්ධ්‍යාවේ මට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුරකථන ඇමතුමක් දීලා ඔහුගේ දුක කිව්වා. රෑ එළිවෙනකල් දැන් මෘත දේහ ආදාහනය කරනවා. ඊයේ ඒ වෙනකොට 22ක් කොවිඩ් -19 යැයි සැක සහිත මෘත දේහ දහනය කරලා තියෙනවා. වාද්දුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙකුගේ ඥාතියෙකුගේ මෘත දේහයක් ආදාහනය කර ගැනීමට මමත් කතා කරා. ඒ වෙනවිටත් ඔහුට මෘත දේහ පොරොත්තු ලේඛනයක් තියෙනවා ආදාහනය කිරීම සඳහා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවත් හදලා වැඩක් නෑ. තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ කියන එක පැහැදිලියි.”

leave a reply