Tag: PHI

  • මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ

    මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ

    පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනුවට වැඩි වැඩියෙන් ආදාහනාගාර ඉදිකිරීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

    රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ රෝහල් තුළ දැරිය හැකි ධාරිතාවයට වඩා මේ වන විට රෝගීන් වාර්තාවීමේ සීඝ්‍රතාවය හේතුවෙන් මේ තත්ත්වය සෞඛ්‍ය අංශ වෙත පාලනය කිරීම සිදුකල නොහැකි බවයි.

    දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවන බවත් ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹායාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවත් උපුල් රෝහණ සදහන් කරනවා.

    මේ වන විට ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා වාර්තා වන බව පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික ආසාදිත වාර්තා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රාදේශීය වශයෙන් ලබාදෙන දත්ත අතර පරස්පරතාවයක් පවතින බවද මෙම වැඩසටහනේදී පවසා සිටියා.

    “කියන්නේ නෑ රජයේ දත්ත බොරු කියලා. නමුත් දත්ත පිළිබඳ ගැටලුවක් තියෙනවා. තියෙන ධාරිතාවයට වාර්තාවන රෝගීන් ප්‍රමාණය එක්ක අපිට දැන් පාලනය කරන්න අමාරුයි. අපි දැනට කරන්නේ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම. ආශ්‍රිතයින් සියලුදෙනා සොයා යෑමේ අවස්ථාවක් නෑ මේ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව සමඟ. අහඹු පීසීආර් පරීක්ෂණ ඇතැම් විට සිදුකරනවා මහ මඟ 100ක් ගත්විට එයින් 19දෙනෙක් වාර්තා වුණා.”

    “ඊයේ දින සන්ධ්‍යාවේ මට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුරකථන ඇමතුමක් දීලා ඔහුගේ දුක කිව්වා. රෑ එළිවෙනකල් දැන් මෘත දේහ ආදාහනය කරනවා. ඊයේ ඒ වෙනකොට 22ක් කොවිඩ් -19 යැයි සැක සහිත මෘත දේහ දහනය කරලා තියෙනවා. වාද්දුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙකුගේ ඥාතියෙකුගේ මෘත දේහයක් ආදාහනය කර ගැනීමට මමත් කතා කරා. ඒ වෙනවිටත් ඔහුට මෘත දේහ පොරොත්තු ලේඛනයක් තියෙනවා ආදාහනය කිරීම සඳහා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවත් හදලා වැඩක් නෑ. තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ කියන එක පැහැදිලියි.”

  • කොරෝනා පැතිරීමේ උපදෙස් කඩකරන ආයතන අල්ලන්න නීති නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

    කොරෝනා පැතිරීමේ උපදෙස් කඩකරන ආයතන අල්ලන්න නීති නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

    වසංගත රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගත හැකි වුවත්, ඒවා කඩකරන ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් සෞඛ්‍ය බලධාරීන්ට නොමැති බව අනාවරණය වී තිබේ.

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එම හෙළිදරව්ව කොට ඇත්තේ ජාත්‍යන්තර පරිමානයේ ඇඟලුම් කම්හලක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කෝවිඩ් පොකුරෙන් ආසාදිත සංඛ්‍යාව තුන් දිනක් තුල 1000 ක් ඉක්මවා ඇති අවස්තාවකය.

    “රට තුළ තව දුරටත් මාර්ගෝපදේශ වශයෙන් ප්‍රකාශයට පත් කරපු මාර්ගෝපදේශ වලංගුයි. නමුත් ඒවා නීති නොවීම සම්බන්ධව ගැටලුවක් තියනවා. මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධව. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන කඩ කිරීම සම්බන්ධව අපිට නීත්‍යනුකූලව කටයුතු කිරීමේ හැකියාවක් මේ මොහොතේ නෑ ”

    බෝවන රෝගයක් වන කොවිඩ් 19 පාලනය කිරීම සදහා රටම බෝවන රෝග පාලනයට අදාලව නීරෝධායන නීතියත් මාර්තු මාසයේදී ස්ථාපිත කර තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරන්නේ, එයට අදාලව 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ ආඥා පනතින් නීති කඩරන්නන්ට එරෙහිව නීත්‍යානුකුලව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.

    ඒ අනුව වෛරසය පාලනය සදහා ලබා දුන් සෞඛ්‍ය උපදෙස්, මුඛ ආවරණ පැළදීම, අත් සේදීම, විෂබීජ හරන ක්‍රියාවලිය වැනි උපදෙස් පිළි නොපදීනම් ඔවුනට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බව සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි.

    ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ දැන දැන බෝවන රෝගයක් පැතිරීම සදහා පිටුවහලක් ලැබෙන අන්දමට කටයුතු කරන්නේ නම් ඕනෑම පුද්ගලයකුට එරෙහිව සෘජුවම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නඩු පැවරීමේ හැකියාව පවතින බවයි.

    උපුටා ගැනීම – theleader.lk

  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තවදුරටත් වර්ජනයේ

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තවදුරටත් වර්ජනයේ

    මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හා වෙනත් ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති එක්කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

    තම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර ඇති තවත් වෘත්තීය සමිති සමඟ ලබන සඳුදා දිනයේදී සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

    කොවිඞ් 19 මර්දන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වෙත අවශ්‍ය නීතිමය බලතල ලබාදීමේ හැකියාව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට තිබියදීත් එසේ ලබානොදීම හේතුවෙන් තම සංගමය ඉකුත් 19 වැනිදා සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳුමක් ලැබෙන තුරු අත්නොහරින බව ද ඔහු කීවේය.

    උපුල් රෝහණ මේ බව පැවසුවේ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    තම සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට එක්වන බවට අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 16ක්, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති 15ක්, ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය, මහජන සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය හා තැපැල් වෘත්තීය සමිති ද දැනුම් දී ඇතැයි උපුල් රෝහණ පැවසීය.

    මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඉකුත් 19 වැනිදා සිට කොවිඞ් මර්දන රාජකාරීවලින් මෙන්ම ඩෙංගු රෝග මර්දන කටයුතුවලින් ඉවත්ව සිටින අතර, අද (24) දිනයේ දී අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වූහ.

  • දේශපාලනඥයෝ තිදෙනෙක් නිරෝධායනය නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙනවා – උපුල් රෝහණ

    දේශපාලනඥයෝ තිදෙනෙක් නිරෝධායනය නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙනවා – උපුල් රෝහණ

    රාජාංගණය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයින් සිව් දෙනකුගෙන් තිදෙනකු නිරෝධායනය ප්‍රතික්ෂේප කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

    එම තිදෙනා මේ වන විට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙන බවත් එක් අයෙකු පමණක් නිරෝධායනය වෙන බවත් ඔහු පවසා ඇත.

    ගැසට් පත්‍රය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා නොදෙන්නේ මෙවැනි කාරණා නිසා බවද දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නිසා බවද සභාපතිවරයා සදහන් කළේය.

    උපුල් රෝහණ මෙසේද පැවසීය.

    “බෝවෙන රෝගයක් පාලනය කිරීම සදහා භාවිත කරන්නේ ලංකාවේ 1897 අංක 3 දරණ නිරෝධායන සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත මේ පනත අපට හදල දීලා ගියේ විදේශිකයෝ. මේ පනතේ නිසි බලධාරියෝ නීති හදනවා. දිවයින පුරා නීතිය ක්‍රියාත්මක කරන්න විධිවිධාන ලබාදෙනවා. මේ පනත බලාත්මක කරන්නේ බිම් මට්ටමේ පරීක්ෂකවරුන්.1943 සැනිටරි ඇසිස්ටන් කියලා සදහන් කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමයි පත් කරන්නේ. අපි කිව්වේ අපිව අධිකරණවල අභියෝගයට ලක් වෙන නිසා සැනිටරි ඇසිස්ටන් කියන එක මහජන සෞඛ්‍ය පරීක්ෂක කියලා වෙනස් කරන්න මේ ආඥා පනතේ. ඒක නියෝගයක් මගින් කරන්න පුළුවන් ඇමතිවරියට.සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිව්වේ 39 වැනි වගන්තිය ප්‍රකාරව මේ ක්‍රියාවල නිරත වන අයට නීතිමය රැකවරණය දෙන්න කියලා.

    නිරෝධායනය කරනවා කියල අපි නිවෙස් තුළ රඳවා තියන්න නීතිමය ආවරණයක් නැත්නම් ඒ මිනිස්සුනට පුළුවන් අනික් පැත්තට අභියෝග කරන්න.ඒක හදලා දෙන්න කියලා තමයි කිව්වේ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන තෙක් ඉටු කරලා නෑ.

    මේක රජයේ වෛද්‍ය සංගමය අර්ථ දක්වනවා අනිසි බලතල ඉල්ලනවා කියලා අපි අනිසි බලතල නෙමෙයි ඉල්ලන්නේ.අපි කරපු වැඩ වලට අදාළ බලතලයි ඉල්ලන්නේ බලය නීතිගත කරන තුරු අපිට මේ රාජකාරිය තවදුරටත් කරන්න බෑ.16 වැනිදා පටන් ගත්ත කොරොනා පාලන කටයුතු වලින් ඉවත් වීම ඊයේ සිට සියලුම බෝවන රෝග කටයුතු වලින් ද ඉවත්වුණා. ඉදිරියේදීත් මේකට විසදුමක් දෙන්නේ නැත්නම් මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මීටත් එහාට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයාත් මේක කළ යුත්තක් කියන මතයේ ඉන්නවා. රට විවෘත කරද්දි මේ පනතට අදාළව මාර්ගෝපදේශ ගැසට් කරන්න ඕනේ.මේක මූලික නීතිමය ලියවිල්ලක් විතරයි. මේ ලියවිල්ලෙන් සියලුම රෝග පාලනය කරන්න බෑ. රෝග පාලනය ට කළින් කලට ආපු හැම අවස්ථාවකම මේකට අදාළව නියෝග හදන්න ආමාත්‍යවරියට බලය ලබා දීලා තියෙනවා මේ ආඥා පනතෙන්. මේ කොවිඩ් 19 පාලනය සදහා මිනිස්සු අනුගමනය කළ යුතු මාර්ගපදේශ ගැසට් කරන්න ඕනේ. මේකේ බලධරයට සහ නිසි බලධරයට නඩු පවරයි කියන බවට මෘත ශරීර පුළුස්සා දැමීම ගැන විතරක් ගැසට් කළා. ඒ හැර කොවිඩ් පාලනය සදහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නෑ. මේ කරන හැම එකක්ම මිනිස්සු සහය දෙනකම් විතරයි කරන්න පුළුවන්.

    සෞඛ්‍ය ඇමතිවරියගේ ගැසට් එක හරියට එන්ජිමක් නැති බස් එකක් වගේ යන්න ඔ්නේ. කොවිඩ් මර්දනය කරන්න ගැසට් එක ගැහුවට ඒක ක්‍රියාත්මක කරන්න නිලධාරියෙක් පත් නොකළම ගැසට් එක කොලයක් විතරයි. රටකජු ඔතන්න ගන්න පුළුවන් ගැසට් එක. හැබැයි දේශපාලනඥයෝ විශේෂයෙන් රට නිදහස් කරද්දි ඇති වෙච්ච තත්ත්වයත් එක්ක රාජංගණයේ සිද්ධියටත් ඒ මළගෙදරටත් දේශපාලනඥයෝ හතර දෙනෙක් සහභාගි වෙලා තිබ්බා.ඒකෙන් එක් දේශපාලනඥයෙක් විතරයි නිරෝධායනය වෙන්නේ. අනෙක් තුන්දෙනාම මේ වෙද්දි මැතිවරණ ක්‍රියාවල නිරත වෙනවා.”

    උපුටා ගැනීම – medialk.com වෙබ් අඩවිය