විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ මේ දක්වා කාලයේ මෙරටට සිදු කර තිබෙන ප්‍රේෂණවල වටිනාකම රුපියල් කෝටි 195,000 (අමෙරිකානු ඩොලර් බිලියන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මේ වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ඔක්තෝබර් මාසයේ 31 වැනිදා දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක ප්‍රේෂණ සිදු කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.
මේ අගය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 20.1ක කැපී පෙනෙන වර්ධනයක් බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
ඔක්තෝබර් මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 712ක ප්‍රේෂණ ලැබී තිබේ.
නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන්නේ මේ වසරේ මුල් මාස නවයේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2 ක් පමණි. ඒ අනුව 2025 මුල් මාස නවයේ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වන අතර, එය 2024 මුල් මාස නවයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට සියයට 5.3ක වැඩිවීමකි.
කෙසේ වෙතත්, මේ වන විට ආනයන වියදම් ද ඉහළ ගොස් තිබේ. සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන දෙක ඉක්මවූ වියදම් ප්‍රමාණයක් වාර්තා කර ඇත. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණයෙන් සැලකිය යුතු මුදලක් වැය කරමින් ඉහළම ධනවතුන්ගේ පරිහරණය සදහා සුපිරි මෝටර් රථ ගෙන ඒමද මේ වසරේදී සිදු වී තිබේ. ඒ සඳහා වියදම් කර ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 1204කි.
මෙරට විදෙස් ප්‍රේෂණ අංශයෙන් වැඩිම ප්‍රමාණයක් එවනු ලබන්නේ මැද පෙරදිග කලාපයෙන් වන අතර මැද පෙරදිග කලාපයේ වැඩකරන බහුතරය කාන්තාවන් වේ. එහිදී ඔවුන්ට ඉතා අහිතකර කොන්දේසි යටතේ රැකියා කිරීමට සිදුවීම හැම දෙනාම දන්නා කරුණකි. විදෙස් ප්‍රේෂණ ගැන උදම් අනන ආණ්ඩුව ඔවුන්ගේ සුබ සිද්ධිය තකා ගත් පියවරක් මේ වනතෙක් වාර්තා වී නැත.






