ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ආරම්භය 19 වන සියවසේ ආරම්භය දක්වා දිවෙන නමුත් නූතන මූලධර්ම මත පුළුල් අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැඟෙනුයේ 1970 සිට ය.ඉගැන්වීම පිළිබඳ ශක්තිමත් දේශපාලන එකඟතාවයක් මත ගොඩනැඟුණු මෙම අධ්‍යාපන ක්‍රමය පදනම් වූයේ “සෑම දරුවෙකුට ම පාසලක්” යන දෘෂ්ටිවාදය මත ය.මේ වන විට ෆින්ලන්ත පාසල් පද්ධතිය, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ම ඇගයීමට අඛණ්ඩව ලක්ව ඇති නමුත් එම ශ්‍රේණිගත කිරීම් සඳහා පාදක කරගෙන ඇති නිර්ණායක හා ලකුණු මත ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පරිකල්පනය කිරීම එහි ගැඹුරු දාර්ශනික හරය මඟහැරීමකි. එනයින් ෆින්ලන්ත පාසල් පද්ධතිය හා පාසල් අධ්‍යාපනය මඟින් සැබැවින් ම අදහස් කරන්නේ කුමක්ද, යන්න අවබෝධ කර ගැනීමට එහි ව්‍යුහය සහ දෛනික භාවිතය ප්‍රායෝගිකත්වයට නංවන මූලධර්ම පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍යය ය.
මෙම රචනයේ පළමු අර්ධය මඟින් එහිලා වැදගත් වන තීරණාත්මක සංකල්ප හතරක් විමසීමට බඳුන් කෙරේ
Equity
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ අතිමූලිකතම ප්‍රතිපත්තිය ලෙස සැලකෙනුයේ සාධාරණත්වය යි.එහෙත් සාධාරණත්වය යන්නෙන් ඒත්තු ගැන්වෙනුයේ සමානාත්මතාවය නොව සෑම සිසුවෙකුට ම පොදුවේ උසස් තත්ත්වයක් කරා ළඟා වීමට අවශ්‍යය භෞතික හා මානව සම්පත් ප්‍රදානය කිරීම යි.එමඟින් දරුවාගේ සමාජ පන්තිය, ප්‍රාදේශීයත්වය හෝ ඉගෙනුම් වෙනස්කම් නොසලකා ඔහුගේ අධ්‍යාපනික අනාගතය තීරණය කිරීම අවධාරණය කරයි. සමස්ත ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගොඩනඟා ඇති නීතිමය හා සදාචාරාත්මක පදනම් මූලධර්මය මෙය යි.
මෙම මූලධර්මය අතිශය ක්‍රමානුකූල සහ බහුවිධ අයුරින් ෆින්ලන්ත පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වේ.ඒ අනුව ෆින්ලන්තය තුළ පෞද්ගලික පාසල් නොමැති අතර ඉහළ ද්විතීක පාසල් අධ්‍යාපනයෙන් පසුව පවත්වන මෙට්‍රික් විභාගය හැරුණු විට අන් කිසිදු ජාතික මට්ටමේ විභාගයකට සිසුන් මුහුණ දෙන්නේ නැත.විශේෂයෙන් ම වයස අවුරුදු 7 සිට 16 දක්වා සියලු ම සිසුන් ඒකාබද්ධ විස්තීර්ණ පාසලක(පෙරුස්කොලු) තබා ගැනීමෙන් අවසන් උසස් විභාගයට මුහුණ දීමේ දී ශිෂ්‍යයන්ගේ ආර්ථික-සමාජ තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අසමානතාවයන් අවම කිරීම ෆින්ලන්ත ක්‍රමයේ අපේක්ෂාව වේ (Sahlberg, 2011)
එපමණක් නොව, සාධාරණත්වය නමැති සංකල්පය ඉතා ම ශක්තිමත් හා ක්ෂණික මැදිහත් වීම් ඔස්සේ මෙහෙයුම්ගත වීම ෆින්ලන්ත පාසල් ක්‍රමයෙහි දක්නට ලැබේ.එහි ශක්තිමත් භාවයට ප්‍රධාන හේතුවක් වන්නේ විශේෂ අධ්‍යාපන ගුරුවරුන්, මනෝවිද්‍යාඥයින්, සෞඛ්‍ය සේවකයින්, සමාජ සේවකයින් ඇතුළු බහු-වෘත්තීය ශිෂ්‍ය සහයෝගී කණ්ඩායම්වලින් පාසල් සමන්විත වීම යි.ඔව්න්ගේ සහයෝගය ලබා ගැනීම කිසිසේත් ම ශිෂ්‍යයෙකු අපකීර්තියට ලක්වීමට හේතුවක් නොවන අතර එය පාසල් දිනයේ සාමාන්‍ය, සුලබ අත්දැකීමකි.සහයෝගය අවශ්‍යය දරුවන් ඉක්මනින් හඳුනාගෙන ක්ෂණිකව ඔව්න් සඳහා මැදිහත් වීම ද මෙහි දී සිදු වේ.නිදසුනක් ලෙස කියවීමට හෝ ලිවීමට අරගල කරන සිසුන් හඳුනා ගත් විට අදාළ පාඩම සිදු වන මොහොතේ ම හෝ ඊට පසු තනිව හෝ කුඩා කණ්ඩායම් ලෙස එම සිසුන්ට විශේෂිත සහයක් ලබා දෙයි.වැදගත් ම කරුණ වන්නේ ඒ සඳහා එම සිසුන්ගේ දෙමව්පියන්ට කිසිදු වියදමක් දැරීමට සිදු නොවීම යි.
Teacher Autonomy
ෆින්ලන්ත ගුරු භූමිකාවේ වෘත්තීය භාවය විශද කෙරෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ගුරු ස්වාධීනත්වය යි. ඉන් අදහස් වන්නේ පන්ති කාමරය තුළ දී තීරණ ගැනීම විෂයෙහි ගුරුවරයාට හිමි වී ඇති ඉහළ මට්ටමේ නිදහස හා විශ්වාසනීයත්වය යි. බාහිර ප්‍රමිතිගත හෝ අක්‍රමණශීලී පරීක්ෂණයන්ගේ පීඩනයකින් තොරව ඉගැන්වීමේ ක්‍රම හා ද්‍රව්‍ය තෝරා ගැනීමටත් සිසුන් තක්සේරු කිරීමටත් ගුරුවරයාට ඇති නිදහස ඊට ඇතුළත් ය.මෙය ගුරුවරයාට හිමි වී ඇති වරප්‍රසාදයක් නොව ඔහුට හිමි වී ඇති උසස් වෘත්තීය තත්ත්වය ජීවමාන කරන්නකි.
මෙම ගුරු ස්වාධීනත්වය අවිචාරවත් ලෙස හිමිවන්නක් නො වේ. ඒ සඳහා ගුරුවරයා සතු විය යුතු දැඩි සුදුසුකම් මාලාවකි.පුළුල් පාසලක සෑම ගුරුවරයෙකු ම සැලකිය යුතු පර්‍යේෂණ අංගයක් ඇතුළත් ශාස්ත්‍රපති උපාධියක්(අධ්‍යාපන) සම්පූර්ණ කළ යුතුය.මෙමඟින් ඔවුන් හුදු උපදේශකයින් ලෙස පමණක් නොව, අධ්‍යාපනික විශේෂඥයින් පිරිසක් ලෙස සන්නද්ධ කරයි.
එනම් ගුරුවරු යනු ඉහළ සිට පහළට සැලසුම් කළ විෂයමාලාවක් උගන්වන රූකඩ නොවෙති.ඔවුන් තමන්ගේ සිසුන් සඳහා විෂයමාලා නිර්මාණය කිරීමට, සැලසුම් කිරීමට හා ඇගයීමට හැකි පරාවර්තක වෘත්තිකයන් පිරිසකි.ඔවුහු ජාතික ඉලක්ක අර්ථකථනය කරන අතර ආකෘතික තක්සේරු කිරීම් සංවර්ධන කරති.
මෙම ස්වාධීනත්වය ගුරුවරුන් අතර තරඟකාරීත්වයක් වෙනුවට සහයෝගීතාවය ප්‍රවර්ධනය කරයි. සිසුන්ගේ ප්‍රතිඵල මත තමන්ගේ ශ්‍රේණිය හෝ උසස්වීම් තීරණය නොවන හෙයින් තම වෘත්තීය සගයන් සමඟ හොඳ ම භාවිතයන් බෙදා ගැනීමට හා ඔවුන්ගේ සහය ලබා ගැනීමට ගුරුවරයා යොමු වේ.
ගුරුවරුන් කෙරෙහි තබා ඇති විශ්වාසය ගැඹුරු වගකීමක් සමඟ බැඳී ඇත. එනම් ඉහළ නිලධාරීන් පිරිසකට නොව තම සිසුන්ට, ඔවුන්ගේ සගයන්ට හා වෘත්තීය ආචාර ධර්මවලට ඔවුන් වගකිව යුතුය.මෙම ක්‍රමය ගුරුවරුන්ට ප්‍රතිචාරාත්මක වීමට හා අනුවර්තනය වීමට බලය ලබා දෙයි.එමඟින් ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් මානුෂීය හා සඵලදායී වේ.
Pupil Well-Being
ෆින්ලන්තයේ ශිෂ්‍ය යහපැවැත්ම යනු දරුවෙකුගේ ශාරීරික, චින්තවේගීය, සමාජීය සහ සංජානන සෞඛ්‍ය ඇතුළත් වන පරිපූර්ණ සංකල්පයකි.එය සරල ලෙස පෙනෙන නමුත් ගැඹුරු දර්ශනයක් මත ගොඩනැඟුණකි.කුසගින්නෙන්, ආතතියෙන් හෝ කනස්සල්ලෙන් සිටින දරුවෙකුට ඵලදායී ලෙස ඉගෙන ගත නොහැකිය.එනයින් යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වීම අධ්‍යයන ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍යය පූර්ව අවශ්‍යතාවයකි.
මෙම මූලධර්මය පාසල් කාලය තුළ ම එම පරිසරය තුළ ම ක්‍රියාත්මක වේ.පාසල තුළ සැහැල්ලු හා අවිධිමත් වාතාවරණයක් පවතින අතර පාසල් දිනය ආතතිය අවම වන ලෙස ව්‍යුහගත කර ඇත.දීර්ඝ කාලච්ඡේද වෙනුවට මිනිත්තු 45ක පාඩමකට පසු මිනිත්තු 15-20ක ව්‍යුහගත නොවන විවේකයක් ලබා දීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම මීට කදිම නිදසුනකි.එහි දී කාලගුණය නොසලකා ළමයින්ට නිදහස ලබා දෙන අතර එමඟින් දරුවාට සමාජගත වීමට හා මානසික අවපීඩනයෙන් මිදීමට අවකාශය ලබා දෙයි.
එසේම මුල් වසරවල දී අධ්‍යයන පීඩනය සීමා කර ඇත. ප්‍රාථමික අධ්‍යාපනයේ දී ගෙදර වැඩ අවම වන අතර ඒ වෙනුවට ක්‍රීඩාව, සමාජ අන්තර් ක්‍රියා සහ ඉගෙනීමට ඇල්මක් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. මේ අනුව පාසල් පරිසරය, ආරක්ෂිත සහ සහය දක්වන “දෙවන නිවහනක්” බවට පත් කෙරේ.
මින් අදහස් වන්නේ පාසල, සෑම සිසුවෙකුට ම දිනපතා නොමිලේ, පෝෂ්‍යදායී, උණුසුම් ආහාර ලබා දෙන, චිත්තවේගීය හෝ සමාජීය දුෂ්කරතාවන්ට මුහුණ දෙන සිසුන් කල්තියා හඳුනාගෙන සහය දෙන ස්ථානයක් වන බව ය. මේ අයුරින් දරුවෙකුගේ සමස්ත යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබා දීමෙන්, ෆින්ලන්ත ක්‍රමය සිසුන් සාර්ථක හදාරන්නන් පමණක් නොව සමබර හා ප්‍රීතිමත් පිරිසක් බවට පත් කෙරේ.
Phenomenon-Based Learning
සංසිද්ධි පාදක ඉගෙනීම යනු ෆින්ලන්ත ජාතික විෂය මාලාව මඟින් නියම කරන ලද අධ්‍යාපනික ප්‍රවේශයකි.එමඟින් සිදු වනුයේ සාම්ප්‍රදායික විෂයන් මත යැපීම වෙනුවට ප්‍රායෝගික ලෝකය මත පදනම්ව පරිපූර්ණ, අන්තර්විෂයාත්මක අධ්‍යයනයක් කරා සිසුවා යොමු කිරීම යි.
මේ සඳහා යොදා ගන්නා මාතෘකා, තේමා හෝ සංසිද්ධි, මනුෂ්‍යයා හා සමාජයට අදාළ සමකාලීන හෝ සර්වකාලීන ඒවා විය හැකිය. එසේම එම කවර වර්ගයේ මාතෘකාවක් වුව කේවලව, වියුක්තව හදාරනු වෙනුවට විවිධ විෂයන්ගේ දැනුම සහ කුසලතා ඒකාබද්ධ කිරීමෙන් ගවේෂණය කිරීමට දරුවා යොමු කෙරේ.
මාතෘකාවක් ලෙස “බ්ලූබෙරි” යොදා ගන්නා ආකාරය විමසා බැලීමෙන් මෙකරුණ මනාව වටහා ගනිමු: පරිසර අධ්‍යයනය හා ස්වාභාවික විද්‍යා අනුව එය ශාකයක් ලෙස දරුවාට උගන්වන අතර දෘශ්‍ය කලා යටතේ බ්ලූබෙරි සිතුවමක් ලෙස විඳීමට හෝ තීන්ත සඳහා වන අමුද්‍රව්‍යයක් ලෙස හඳුනා ගැනීමට දරුවා යොමු කෙරේ.රසායන විද්‍යාව යටතේ එහි ඇති සංරචක ගුණය පිළිබඳ අවධානය යොමු කෙරෙන අතර ගෘහ ආර්ථික විද්‍යාව හා ශාරීරික අධ්‍යාපනය යටතේ බ්ලූබෙරිවල රසය හා ගුණය ගැන අවබෝධය වර්ධනය කෙරේ.
මෙය “බ්ලූබෙරි” සිට නූතන ලෝකයේ සංකීර්ණතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම දක්වා දිගු වන්නකි. ගැටලු, විෂයන් ලෙස වර්ගීකරණය කිරීම වෙනුවට විවිධ විෂය ක්ෂේත්‍ර අතර සම්බන්ධතා දැකීමට මෙමඟින් සිසුවාට මඟපාදයි.එසේම ඉගෙනීම සැබෑ සන්දර්භයන් තුළ යෙදවීමට එමඟින් සිසුන්ට බලගන්වයි. ඔවුන් හුදු කරුණු රැස් කරන, කටපාඩම් කරන පිරිසක් ලෙස නොව ලෝකය තේරුම් ගන්නා සහ ලෝකය වෙනස් කිරීමට ද වෙනස් වන ලෝකයට හැඩ ගැසීමට ද සමත් නව්‍ය චින්තකයින් පිරිසක් බවට පත් කිරීමට මෙම ක්‍රමය අනුබල ලබා දෙයි.
Strengths:
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සහජීවනය යි. සමානාත්මතාවය, විශ්වාසය හා යහපැවැත්ම යන මූලධර්ම හුදෙක් වචනවලට පමණක් සීමා වූ පරමාදර්ශ බවට පත් වී නොතිබීම ද මේ සඳහා වැදගත් ය.විශේෂයෙන් ම මෙම සංකල්ප එකිනෙකට බැඳී ඇති ප්‍රායෝගික මූලධර්ම බවට පත්ව ඇත.ගුරුවරුන් සතු ඉහළ ම සුදුසුකම් ඔවුන්ගේ ස්වාධීනත්වයට හේතු වන අතර එමඟින් ශිෂ්‍ය සමාජය තුළ සමානාත්මතාවය ගොඩනැඟීම සඳහා වෙනස් ප්‍රවේශ යොදා ගැනීමට ගුරුවරුන්ට හැකි වේ. යහපැවැත්ම පත්වාගැනීමට ද මෙය අත්‍යවශ්‍යය සාධකයක් වේ. තරඟකාරීත්වයේ පීඩනයෙන් මිදී ඉගෙනීමට ලැබෙන ඉඩකඩ හේතුවෙන් උසස් ප්‍රතිඵල ලබා දෙන ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් මෙමඟින් නිර්මාණය වේ.
මීට අමතරව, දිගුකාලීන අරමුණක් සහිත ඉගැන්වීමේ ක්‍රමවේදය ද ෆින්ලන්ත ක්‍රමයේ වැදගත් ශක්තියකි. විභාග කේන්ද්‍ර කරගනිමින් කෙටිකාලීන ඉලක්ක වෙනුවෙන් ඉගැන්වීම වෙනුවට මෙම ක්‍රමය අවධානය යොමුකරන්නේ නිර්මාණශීලී, දරාගැනීමේ ශක්තිය සහිත. විවිධ ශක්‍යතා සහිත උසස් පුරවැසියෙකු බිහි කිරීම විෂයෙහි ය.
Challenges:
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය වර්තමානයේ මුහුණ දී තිබෙන ප්‍රධාන අභියෝගයක් වී ඇත්තේ ෆින්ලන්ත සමාජයේ දිගු කලක් තිස්සේ පැවති සජාතීය ස්වභාවය ක්‍රමයෙන් පරිවර්තනයට ලක් වෙමින් පැවතීම යි. සංක්‍රමණික ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් භාෂාමය හා සංස්කෘතික වශයෙන් විවිධත්වයෙන් යුතු ශිෂ්‍ය ප්‍රජාවක් බිහි වී ඇති අතර පන්තිකාමර තුළ දක්නට ලැබෙන මෙම වෙනස්කම්වලට ආමන්ත්‍රණය කළ හැකි පරිදි ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ මූලධර්ම අනුවර්තනය කර ගැනීම පහසු අභියෝගයක් නොවේ.
දෙවනුව ගුරු සේවයේ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අභියෝගයට ද ෆින්ලන්ත පද්ධතිය මුහුණ දී ඇත. බාහිර වශයෙන් එල්ල වන පීඩනයක් නොමැති තත්ත්වයක් යටතේ ගුරුවරුන්ගේ වගවීමේ ක්‍රියාදාමය විෂයෙහි කිසියම් උදාසීනත්වයක් දැක්වීමේ අනතුරක් පවතී.
එසේම සංසිද්ධි පාදක ඉගෙනීම් ක්‍රියාදාමය හමුවේ පවතින ප්‍රායෝගික අභියෝග ද රැසකි. ඒවා හුදු ක්‍රියාකාරකම්වලට සීමා නොකර පදනම් දැනුම ඵලදායී ලෙස ගොඩනඟන බවට සහතික කිරීම සංකීර්ණ ක්‍රියාවක් වී තිබේ.
මීට අමතරව පන්ති පරතරය, සංස්කෘතික විෂමතා ආදිය හේතුවෙන් පන්ති කාමර තුළ ඇතැම් දරුවන් පීඩාවට පත් වීමේ ප්‍රවණතා ද දක්නට ලැබේ (bullying).
අවසාන වශයෙන් ගෝලීයකරණයේ සහ ඩිජිටල්කරණයේ බලපෑමෙන් එල්ල වී ඇති අභියෝගයන්ගෙන් ගැලවීමට ෆින්ලන්ත පද්ධතියට ද හැකි වී නැති බව දෘශ්‍යමාන වේ. පුරවැසියෙකු වෙනුවට පාරිභෝගිකයෙකු ද විචාරශීලී මිනිසෙකු වෙනුවට ශ්‍රමිකයෙකු ද ඉල්ලා සිටින සමාජ ක්‍රමයක් නිර්මාණය වී ඇත. මානව සබඳතාවන්ගේ වැදගත්කම වේගයෙන් හීන වෙමින් තාවකාලික සමාජ ජාල උත්කර්ෂයට නැඟී ඇත. තාක්ෂණයේ වේගවත් සංවර්ධනය ඉදිරියේ මානව කේන්ද්‍රීයත්වය පසුපසට තල්ලු වී ඇත. මෙම අභියෝග හමුවේ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ අර්ථය හා භාවිතය නොනසා පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක් කිරීමට සිදු වනු ඇත.
Conclusion:
මෙම සියලු කරුණු සලකා බැලීමේ දී පෙනීයන්නේ ෆින්ලන්ත පාසල් ක්‍රමය, අධ්‍යයන විශිෂ්ටත්වයට පමණක් සීමා වී නොමැති බව ය. එය අධ්‍යාපනය පිළිබඳ සමස්ත දර්ශනයක් මත ගොඩනැඟී ඇත. ඒ අනුව සමානාත්මතාවය යනු අත් හළ නොහැකි අයිතියකි; ගුරු ස්වාධීනත්වය ඉහළ ම වෘත්තීය භාවයේ සංකේතය යි; ශිෂ්‍ය යහපැවැත්ම ඉගෙනීම අතිමූලික කොන්දේසියකි; සංසිද්ධි මූලික අධ්‍යාපනය අනාගත සංකීර්ණතා සඳහා සිසුවා සූදනම් කරයි. මේ අර්ථයෙන් වර්තමානයේ සිදු වන සංකීර්ණතා මධ්‍යයයේ මෙන් ම විවිධ විෂම තත්ත්වයන් යටතේ ද ලෝක පාසල් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමේ දී ආදර්ශයට ගත යුතු විශිෂ්ට ලක්ෂණ සහිත පද්ධතියක් ලෙස ෆින්ලන්ත ක්‍රමය අගය කළ හැකිය.
Reference:
Suomen Perustuslaki [The Constitution of Finland] 11 June 1999/731. (2000). Ministry of Justice. https://www.finlex.fi/en/laki/kaannokset/1999/en19990731
Lonka, K. (2018). Phenomenal learning from Finland. Edita Publishing.
Sahlberg, P. (2011). Finnish lessons: What can the world learn from educational change in Finland? Teachers College Press.
Walker, T. D. (2017). Teach like Finland: 33 simple strategies for joyful classrooms. W.W. Norton & Company.
ලක්ෂාන් මදුරංග වික්‍රමරත්න






