මිනිසෙකු මිය ගිය විට ඔහු පිළිබඳ ගුණකථන සිදු කිරීම සාම්ප්‍රදායික ලක්ෂණයක් සේ සලකා බැහැර කළ නො හැකිය.මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ජීවත් වීම කෙතරම් වැදගත් දැයි එවිට දැනට ජීවත්ව සිටින්නවුන්ට අවබෝධ කර ගත හැකිය.එනයින් එබඳු ස්මරණයන් වැදගත් ය.
එහෙත් මංගලගේ මළගම සටහන් වූ සැණින් ගමේ අවමංගල්‍යාධාර සමිති සභාපතිවරුන් සේ ඇතැම් සම්භාෂකයින් හැසිරෙනු දැකීම හේතුවෙන් මේ සටහන ලියන්නට සිත් විය.
පළමුව ඔහු නියෝජනය කළ දේශපාලන අක්ෂය දේශපාලන – ආර්ථිකයේ දී පෙනී සිටියේ කවර පදනමක් වෙනුවෙන් ද, යන්න මෙහි දී මූලික වශයෙන් අපගේ අවධානයට ලක් විය යුතුය.ඒ අනුව මංගල නිශ්චිත වශයෙන් ම නව ලිබරල් ධනවාදය නියෝජනය කළ හා ඒ වෙනුවෙන් අවංකව සේවය කළ දේශපාලකයෙකු බව අමතක නො කළ යුතුය.ඒ නව ලිබරල් ධනවාදය යනු ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය වෙනුවෙන් පෙනී සිටින සියලු මානවීය හරයන් හා උරුමයන් සඳහා මිලක් නියම කරන හා එම මිල ගෙවා ගත නො හැකි බහුතරය පරාජිතයන් බවට පත් කරන සමාජ ආර්ථික ක්‍රමයකි.
මංගල ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ දේශපාලකයෙකු විය.ඒ අර්ථයෙන් මංගලගේ මිය යෑමෙන් ලංකාවෙ නව ලිබරල් දේශපාලන ව්‍යාපෘතියට නම් ඇති වනුයේ මහත් ම හිස්තැනකි.ජේආර්,රනිල්,චන්ද්‍රිකා බඳු දේශපාලකයින්ට නම් මංගල නැති අඩුව දැඩිව දැනී යා යුත්තේ එබැවිනි.
එසේ නම් එම දේශපාලන ආර්ථිකයට සපුරා ම ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නන් පවා මංගලගේ අහිමි වීමෙන් ඇති වී ඇතැ යි කියන මේ හිස්තැන කුමක් ද ? ඒ අන් කිසිවක් නොව අප රටේ උත්තරාරෝපිත ධනවාදය මඟින් ම ජනනය කළ වාර්ගික, ආගමික හා සංස්කෘතික අගතීන්ට එරෙහිව ඔහු නියෝජනය කළ දෘෂ්ටිමය හා කායිකමය භූමිකාව අහිමි වීමෙන් උපන් හිස්තැනකි.
දේශපාලන – ආර්ථික තලයේ දී පොදුජනයාට සතුරු ප්‍රාග්ධනයට පක්ෂ භූමිකාවක් නියෝජනය කළ ද සංස්කෘතික ක්ෂේත්‍රයේ ඔහුගේ ඇතැම් නවීකාරක භාවිත හා මතවාද පමණක් සලකා ඔහුගේ වියෝව ගැන කම්පා වන අපගේ සම්භාෂකයින් මේ යළිත් සිහිපත් කර දෙමින් සිටින්නේ අද දවසේ දේශපාලන විඤ්ඤාණයේ තථ්‍ය ස්වරූපය යි.
එනම් අන්තර්ගතයේ දේශපාලනය වෙනුවට ස්වරූපයේ දේශපාලනය පෙරට පැමිණ ඇති ස්වරූපය යි.මෙය ලංකාවෙ දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සාහිත්‍ය – කලා ව්‍යාපෘති ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්හි දක්නට ලැබෙන ව්‍යාධිගත ලක්ෂණයකි.
කෘතියේ අන්තර්ගතය මිය ගිය ස්වරූපය පමණක් වැදගත් වන සමාජයක අප ජීවත් වන බව අවබෝධ කර ගැනීමට නම් මංගලගේ මරණය බොහෝ සෙයින් වැදගත් ය.කටහඬ පමණක් වැදගත් අර්ථය වැදගත් නො වන සමාජයක් බිහි වී ඇති බව මංගලගේ මරණය අපට යළි යළිත් හඬ ගා කියයි.
සැබවින් ම මංගලගේ මරණයෙන් කිසිවක් හිස් වී නැත.එහෙත් අප ජීවත් වන්නේ කෙතරම් හිස් සමාජයක ද,යන්න නම් ඔහුගේ මරණය විසින් පෙන්වා දී ඇත.
ස්තුතියි මංගල !!!