Breaking News

“ප්‍රීතියෙන් අමතා ඔබ ඉල්ලන රටේ අධ්‍යාපන නිදහස මෙයද ? “

අරුණි සමරකෝන්

1930 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින්, ශ්‍රේෂ්ඨ අධ්‍යාපනවෙදී William Edward Burghardt Du Bois පැවසුවේ “වඩාත් පහසුවෙන් ළඟා වන සර්වශුභවාදයක් පවතින බවට වැරදි අවබෝධයකින් තොරව අධ්‍යාපනයේ පවතින දේශපාලනය වටහා ගත යුතුය. පිළිගැනීමක් ලැබුණු හෙයින්ම, නුතන ශිෂ්ටාචාරකරණයේ කොටස්කරුවන් වීමට අපට නොහැකි වේ. මේ ලෝකයේ හිමිකරුවන් , ඔවුන් ගේ බලයෙන් සහ අහංකාරත්වයෙන් පීඩාවන් රැගෙන එනවිට , වඩාත් දුරදක්නා බවින් ද , විවිධත්වයෙන් ද සිතීමට අපට බල කෙරෙනු ඇත. එහිදී අප, මනාව සිතා, උගෙන ක්‍රියා කල යුතුය. අධ්‍යාපනයේ දේශපාලනය මගින් සිදු විය යුත්තේ, පිඩාකිරිම නොව, එම පිඩාකිරීම අවසන් කිරීමේ මාර්ගය සොයා ගැනීමය” (Ronald Butchart ,
Outthinking and outflanking the owners of the world: A historiography of the African American struggle for Education , 2001)

මෙම ලිපිය ලිවීමේ අරමුණ නම්, 2021 ජුලි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පිරිමි සහෝදර ආණ්ඩුව විසින් අණදෙමින් සිදුකල ප්‍රචණ්ඩකාරී ජන පීඩාව තුල වන ආඛ්‍යානය විමර්ෂණය කිරීමය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජන අරගලය විදිය වෙත පැමිණි මේ අත්‍යසන්න හේතුව නම්, කොතලාවල ජාතික ආරක්ෂණ විශ්ව විද්‍යාල පනත වෙත විරෝධය පල කිරීමය. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අචාර්ය හරිනි අමරසුරිය පනත පිළිබද පාර්ලිමේන්තුවේ දී මතු කල කරුණු කිහිපයක් මෙහි සඳහන් කිරීම වැදගත්ය. “දැනට පවතින කොතලාවල ජාතික ආරක්ෂණ විද්‍යාලය තුල දී වැඩුණු ස්ත්‍රියක් ගැබ්ගත හොත්, ආයතනය තුලින් නෙරපා දමන බවත්, ශිෂ්‍යකාලය තුළ විවහා වීම තහනම් බවත්, එහි ශිෂ්‍ය සංගම් තහනම් බවත්, ආයතන අත්පොතේ ප්‍රකාශ කර ඇත. එසේම යෝජිත පනත මගින්, ආරක්ෂක අමාත්‍යංශය සහ මිලිටරි ආයතන නියෝජනය බහුතරය වන ලෙස පරිපාලනය ගොඩනැගීමද, පවතින විශ්ව විද්‍යාල ආයතන ක්‍රමයට සමාන්තරව ගොඩනැගෙන කොතලාවල විශ්වවිද්‍යාලය වෙත ,අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමේ පසුබිමක් ද සැකසෙන සැකසිම විය හැකිබවය” (උපුටාගැනීම Headline News).

මෙම ප්‍රකාශනය මුලික කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරවයි. එනම්, අධ්‍යාපන ආයතන හි දැනුම සොයනු ලබන පිරිස් හි දේශපාලන චර්යාව කෙබදු විය යුතුද ? එහි නිදහස් ව සිතීමේ හැකියාවේ ස්වරුපය කෙසේ විය යුතුද ? එසේම එවැනි ආයතන පවත්වාගැනීම වෙන්වුවෙන් මුල්‍ය වෙන්කිරීම් හි ප්‍රධානත්වය දෙමින් රාජ්‍ය සපයන ආදර්ශනය කුමක්ද ?

රාජපක්ෂ පිරිමි පාලනය විසින් 2005 සිට බටහිර ධනේශ්වර රාජ්‍යයන් සමඟ එක්ව දෙමළ විමුක්ති අරගලය “බලහත්කාරයෙන් අමානුෂික ලෙස විනයගත කිරීමට කටයුතු කරන ලදී “. 2021 දී ද එම පිරිමි රාජපක්ෂවරුන් “නිදහස් අධ්‍යාපන ආයනත විනයගත කිරීමට උත්සහ කරමින් තිබේ.” ශ්‍රී ලංකාවේ පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල යනු ‘නිදහස් චින්තයේ අභය භුමි නොවේ ‘. ‘එකඟතා වය ‘ බලය යන වචනය ආයතන බලය යොදා අර්ථකථනය කරමින් ,ස්ත්‍රීන් ව ලිංගිකව සහ දැනුමෙන් සුරාකමින් , ප්‍රචන්ඩකාරී ව , අත්තනෝමතිකව හැසිරෙමින් මේ මොහොතේ පවතින ආයතන බවට තර්කයක් නොමැත. එසේනම් එවැනි ආයතන පවත්වා ගත යුතුද යැයි නගන ගැටලුවට මා පවසන්නේ, “ඔව් , මන්ද ඒවා ප්‍රශ්න කිරීමේ හැකියාව පවතී.” එම හැකියාව සිමා සහිත වුවත්, එය සමාජ ව්‍යාපාර දක්වා පුළුල් කල හැකිය. එම ප්‍රශ්න කිරීම් මහජන අවකාශය වෙත රැගෙන ආ හැකිය. එලෙස පවතින ක්‍රියාවලින් හි විකාශනය නව යෝජනා හරහා අලුත්වන ආයතන බවට පත්කල හැකිය.

එහෙත් මිලිටරිකරණය වූ අධ්‍යාපන ආයතන ව්‍යුහය එසේ නොවේ. ඉතාම පැහැදිලි රුපරාමු ව පල වූ දෙමළ ස්ත්‍රී දුෂණය කිරිම්, දරුවන් ගේ ගෙළ සිඳ මරා දැමීම් සහ අතුරුදහන් කිරීම් හි ඍජු සම්බන්දතා හි සාක්ෂි ද පෙන්වන විට අදටත් මිලිටරිකරණ ආයතන මගින් සිදුකළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් ප්‍රශ්න කිරීම්, සමාජ අවකාශය වෙත රැගෙන එම් දුෂ්කර වන පසුබිමක, මිලිටරිකරණය වූ අධ්‍යාපන තුළ නිදහස් චින්තයක් වර්ධනය වීම බලාපොරොත්තු විය නොහැකිය. එසේම එම ආයතන මතු දිනක ස්ත්‍රී ගෘහනියන් වීම පමණක් ඉගෙන ගත යුතු බවට යෝජනා කල හොත් මා පුදුමයට පත් නොවේ. මන්දයත් මේ වනවිටත් මෙම පිඨයේ අත්පොතට අනුව ස්ත්‍රීගේ ලිංගික වරණය තීරණය කිරීමට කටයුතු කර තිබීමය.

අනික් කරුණ නම්, රාජ්‍ය නිදහස් අධ්‍යාපනයේ සුභසාධනය වෙනුවෙන් මුල්‍ය වෙන්කිරීම සිදුකිරීමේ දී අනුගමනය කල හැකි පාර්ශවිය සැලකීමය. 2019 දී ශ්‍රී ලංකාවේ මිලිටරි ව්‍යපෘති සහ ඒ ආශ්‍රිත වියදම් ලෙස සඳහන් වනුයේ දළජාතික නිෂ්පාදනයෙන් 1.9416 කි. එම වියදම් , NATO වර්ගීකරණය ට අනුව වියදම් වැටුප්ගෙවීම්, මිලිටරි ව්‍යපෘති , මිලදී ගැනීම්, පර්යේෂණ සහ සංවර්ධන යනාදී ලෙස සිදු වේ (https://tradingeconomics.com/sri-lanka/military-expenditure-percent-of-gdp-wb-data.html). ගැටලුව නම්, මෙම වියදම් හි පාරදෘශ්‍යභාවය පිළිගැනීමට හැකිද යන්නය. උදාහරණ ලෙස, 2007 දී සිදුවූ මිග් ප්‍රහාරක යානා දුෂිත ගණුදෙනුව අනාවරණ කළ ලසන්ත වික්‍රමතුංග අධිආරක්ෂිත කලාපයේ දී මරා දමන ලද අතර අන්තර්ජාතික රතු වරෙන්තුවක් යටතේ අත්අඩංගුවට ගෙන සිටි උදයංග රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරන ලදී. මෙයින් ප්‍රකාශිත කරුණ නම්, රාජ්‍ය සහ හමුදාව අතර පවතින ඉතාමත් කුළුපග සම්බන්ධය මත , ඕනෑම දුෂණයක් ද්විපාර්ශවික එකඟතාවය මත සිදුවිය හැකිය. එම දුෂණ අනාවරණය නොවන ඉතාම මධ්‍යගත ව්‍යුහයක් ද වන අතර , මිලිටරි දුෂණ අනාවරණය කිරීම , ජිවත් වීමේ අයිතිය අහිමි කිරීමක් ද විය හැකිබවය.

එසේම පරම දැනුම ලෙස පුද්ගල අභිමතාර්ථ පිළිගැනීමට බලකළ හැකිවීම. මේ මොහොතේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුලද මෙම ගැටලුව දැකිය හැකිය. එය මට මතක් කරනුයේ, ලියනගේ අමරකීර්ති ගේ රතු ඉරි අඳින අත කෘතියෙහි පලවූ වාක්‍යකි. “මිෂෙල් ෆුකොල්ට් කිවේ දැනුම බලය වේ, ලංකාවේ දී බලය දැනුම වේ බවට පත් වේ “. මේ අනුව හමුදා බලය ‘පරම දැනුම ‘ බවට පත් විය හැකිය. සිවිල් පරිපාලනය යටතේ වන , විශ්ව විද්‍යාලයක පවතින කතිකාවක් නම්, “පැවති 30 අවුරුදු යුද්ධය ජනවාර්ගික ගැටුමක් නොවන බවත් එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්ය “. ත්‍රස්තවාදී ලෙස නම් කරන කණ්ඩායම නාථ දෙවියන් ගේ තිළිණයක් නොවේ යන්න පැවසිය යුතු අතර අනෙක් අතට, එය ජනවාර්ගික ගැටුමක් නොවන බව යනු පරම දැනුම නොවේ. එය ප්‍රශ්න කිරීමට හැකියාව පැවතිය යුතුය. සිවිල් පරිපාලනය යටතේ වන විශ්ව විද්‍යාල හි පරම දැනුම පරිපාලන බලය සහිත කණඩායම තීරණය කරන්නේ නම්, එය මිලිටරි පාලනයක් යටතේ කෙසේ වනු ඇතිද ?

අවසාන වශයෙන් පවසන කරුණ නම්, ජන මතය ප්‍රකාශනය ට අයිතිය අහිමි කිරීමට නොහැකිය. පුබුදු ජාගොඩ, අලුත් කඩේ උසාවි සංකීරණය ඉදිරියේ දී , 8/07/2021 පැවසූ ලෙස, ශ්‍රී ලංකාව යනු තවමත් සාමාජ වාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් වේ නම්, ජනතාවට අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තහවුරු කල යුතුය, නැතිනම්, ශ්‍රී ලංකාව පොලිස් මිලිටරි රාජ්‍යයක් වේ නම්, එය ද ප්‍රකාශයට පත් කල යුතු අතර එයට අනුරූපව ජනතාව පෙළ ගැසෙනු ඇත. ජනතා පරමාධිපත්‍යයේ ආයතනය වන පාර්ලිමේන්තුවෙන් සම්මත නොකළ නිරෝධායන නීති හරහා ජනතා අයිතීන් උල්ලංඝනය කල නොහැකිය. covid 19 ගෝලීය වසංගතය අවස්ථාවේදී , බහුතර ආණ්ඩු , වසංගතය මර්ධනය වෙනුවෙන් වන නීති පාර්ලිමේන්තුව තුල සම්මත කරගැනීමවෙත ප්‍රමුඛත්වය ලබාදුන් නමුත්, ශ්‍රී ලංකාවේ වසංගත මර්ධනය වෙනුවෙන් වන නීති යාවත්කාලින කිරීම හෝ නව නීති සම්පාදනයක් නොවිය. එවිට , මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පොදු පෙරමුණු ආණ්ඩුවට හැසිරීම පිළිගත හැකිද?

එසේම, මෙම අරගලයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර පසුව නිරෝධායනය වෙත බලහත්කාරයෙන් රැගෙන යන ජනතාව වෙත , ශ්‍රී ලංකා පොලිසිය විසින් ශාරීරික හිංසනය සිදුකරන ලදී. හිංසනයේ ඉතිහාසයක් සහිත විධායකයක් යටතේ වන හිංසක ආයතනයක් මගින් අවිහිංසාව බලාපොරොත්තු නොවනව නමුත් ශිලාචාර හැසිරීම බලාපොරොත්තු වේ. මෙම පොලිස් නිලධාරින්හට මානව අයිතිවාසිකම් සහතික පත්‍රලාභින් වීම නිලයේ උසස් වීමේ අවශ්‍යතාවක් කර තිබෙනුයේ, ශිලාචාර ලෙස රාජකාරිය කිරීම උගනිම අත්‍යවශ්‍ය හෙයිනි. එම අරගලය තුලදී අත්අඩංගුවට ගෙන , නිරෝධායනය වෙත බලහත්කාරයෙන් පිටුවහල් කිරීමේ පීඩනය එක් සටන්කාමි ස්ත්‍රියක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ වීඩියෝ පටය වෙත පිතෘ මුලික රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් /හිතවතියන් ඉතාම අශිලාචාර ලෙස සාධාරණය කර තිබේ.

ඥාතිසංග්‍රහය ප්‍රගුණ කරමින්, දේවත්වය ට පත්වෙමින් සහ ජනයා මෝහාන්දකාරයට පත් කරමින් , මාරාන්තික covid 19 වසංගතය ව්‍යාප්තියට එහි ආරම්භයේ සිටම ඉඩ සලසමින් සිටි, නන්දසෙන ගෝටාබය රාජපක්ෂ, විධායක ජනාධිපතිතුමනි, ඔබ ප්‍රීතියෙන් අමතමින් , ඉල්ලා සිටිනේනේ අධ්‍යාපනය ට ඇති නිදහස අහිමිකරන තුරු නිහඬ ව සිටින මෙන්ද ?

අරුණි සමරකෝන්

leave a reply