Breaking News

ජනතාව සියල්ලට බදු ගෙවද්දී ලොකු සමාගම් කෝටි ගණනින් බදු ගෙවීම පැහැර හැරලා – පුබුදු ජයගොඩ

සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් කෝටි ගණනින් පැහැර හැර ඇති ආකාරය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙළිකරන ලදී. ඔහු පැවසුවේ ආර්ථික අර්බුදයක් තිබෙන බව පැවසුවත් ධන කුවේරයන් බදු ගෙවීම පැහැර හරිමින් කිසිදු අර්බුදයකින් තොරව සිටින බවයි. ඒ වෙනුවට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සෑම එකකටම බදු ගෙවීමට සිදුව ඇති බවද පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“2015 සිට 2019 වසරත් ගෙවුණු අවුරුදු පහේදි රුපියල් කෝටි හතළිස් එක්දහස් පහළොවක වටිනාකමින් යුතු බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර තියෙන බව විගණකාධිපති වාර්තාව කියනවා. 2020 වසර තුළ සමාගම් ගෙවිය යුතු බදු රුපියල් කෝටි 10500ක් ගෙවීම පැහැර හැරලා තියෙන බව කෝප් කමිටුව විසින් අනාවරණය කර තිබෙනවා. එතකොට 2015 සිට 2020 වසර තුළ පමණක් ගෙවීම පැහැර හරින ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි පනස් දෙදාහකට ආසන්නයි. ඒ බදු එකකවත් අයකරගන්නේ නැතුව තමයි ජනතාව මත බර පටවමින් ඉන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නොගෙවන ලද බදු සම්බන්ධ වාර්තාවේ තියෙනවා බේලිස් සමාගම පැහැර හරින ලද බදු ප්‍රමාණය රුපියල් මිලියන 575ක්. මේ සමාගමේ අධ්‍යක්ෂක ලෙස නම් කර තිබෙන්නේ අනුරාධ පෙරේරා. මොහු ධම්මික පෙරේරාගේ මල්ලි. මල්ලිගේ නමින් තිබුණට මේ සමාගම ධම්මික පෙරේරාගේ කියලා හැමෝම දන්නවා. එතකොට මේ මිලියන 575ක් ගෙවීම පැහැර හැරපු ධම්මික පෙරේරා තමයි ඩොලර් මිලියනයක් රටට ගේන්න පුළුවන්, ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන්නේ. මරීනා කලම්බු රෑන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින් අයිති රවී විජේරත්න විසින් රුපියල් මිලියන 760ක් ගෙවන්නේ නැතුව පැහැර හැරලා තියෙනවා. ඔහුගේම ස්ටාර් ඩස්ට් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින් කියන ව්‍යාපාරය තව රුපියල් කෝටි 76ක් නොගෙවා පැහැර හැරලා තියෙනවා. ඔවුන් සම්බන්ධ කිසිම පියවරක් අරගෙන නැහැ. විශේෂ අධිකරණයක් අහිකර මොවුන්ට විරුද්ධව නඩු පවරා ඔවුන්ගේ දේපොළ රාජ සන්තක කරලා හරි ඔවුන්ගේ බදු අයකර ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ බදු ගහනවා පටි තදකරගන්න කියලා ජනතාවට කියද්දී මේ බදු පැහැර හැරීම සම්බන්ධ මොකක්ද අරන් තියෙන පියවර. ඒගොල්ලෝ යාලුවෝ නිසා කිසිදු පියවරක් ගන්නෙ නැහැ. මීට අමතරව වැට් බද්ද අහෝසි කිරීම නිසා රුපියල් බිලියන 600ක් අහිමිවුණා. ඒකෙන් රටේ සාමාන්‍ය ජනතාවට කිසිම වාසියක් වුණේ නැහැ. ඒ බදු මුදල් ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරිකයන් විසින් රැස්කර ගත්තා. සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි එක්දහස් හයසිය හැත්තෑ හයක පාඩුවක් වෙලා තියෙනවා. මේ විදිහට බදු වංචා විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. ජනතාවගේ ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය දේවල් මත බදු ගහනවා. ඒ බදු ගහන ගමන් ආදායම් බදු නොගෙවන අයට නිදහසේ ඉන්න ඉඩ දීලා තියෙනවා. ජනතාවට බදු සහන දෙනවා කියද්දී ජාවාරම්කරුවෝ විසින් ඒක මංකොල්ල කනවා. අන්තිමට ජනතාවට කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. ආර්ථිකය අර්බුදය කිව්වට ධන කුවේරයන්ට කිසි අර්බුදයක් නැහැ. ”

leave a reply