Breaking News

අධ්‍යාපනය විකුණන සහ මිලිටරීකරණය කරන කොතලාවල පනත පරාජය කිරීමට සියලු බලවේග එක්විය යුතුයි – පුබුදු ජයගොඩ

කොතලාවල අරක්ෂක විශ්ව විද්‍යාල පනත හරහා මහජන බදු මුදල් පාවිච්චි කරමින් එක් පසෙකින් අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් කිරීමටත් අනෙක් පසින් මිලිටරි ව්‍යුහයක් හරහා ලංකාවේ පාසල් සහ උසස් අධ්‍යාපනය පාලනය කිරීමටත් ආණ්ඩුව උත්සහ ගන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ කොතලාවල පනත් කෙටුම්පත පාවිච්චි කරමින් රට පුරාම පෞද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් සහ පාසල් ජාලයක් ඇතිකිරීමට සැරසෙන බවයි . එසේම ලංකාවේ තියෙන පෞද්ගලික උපාධි කඩ නිත්‍යානුකුල කිරීම සඳහා කොතලාවල විශ්ව විද්‍යාලයේ බෝඩ් ලෑල්ල පාවිච්චි කිරීමට සැරසෙන බවද ඔහු පැවසීය. මෙම පනත් කෙටුම්පතෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සමාන බලය සහිත මිලිටරි ව්‍යුහයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද පුබුදු ජයගොඩ පැවසීය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“2021 මාර්තු 26 වැනිදා ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක කෙටුම්පත නම් පනත් කෙටුම්පතක්. මේ පනත් කෙටුම්පත මුලින්ම ගැසට් කරේ යහපාලන ආණ්ඩුව 2018 අප්‍රේල් 11වැනිදා. පසුගිය ජුනි 22වැනිදා ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතාම ඉක්මනින් මේක සම්මත කරන උත්සාහයක මේක තියෙනවා. 1981 අංක 68 දරණ පනතෙන් හදපු කොතලාවල විශ්ව විද්‍යාලයේ අරමුණ විදිහට තිබුණු හමුදාවේ නිලධාරීන් සඳහා අධ්‍යාපනය ලබාදීම. නමුත් 2007 අංක 50 පනතින් මේක නැවත වතාවක් වෙනස් කරලා හමුදා නිලධාරීන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවට සල්ලි දීලා උපාධි ගන්න පුළුවන් තත්ත්වයක් මේකෙ හැදුවා. මේක නිශ්චිතව ගත්තොත් රජය සතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක්. දැන් 2021 එන පනතින් උත්සාහ කරන්නේ ඒ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ශාඛා නමින් රට පුරාම පෞද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ඇති කරන්න රට පුරා පාසල් ජාලයක් ඇතිකරන්න. ඒ වගේම දැනට ලංකාවේ තියෙන පෞද්ගලික උපාධි කඩ නිත්‍යානුකුල කිරීම සඳහා කොතලාවල විශ්ව විද්‍යාලයේ බෝඩ් ලෑල්ල පාවිච්චි කරන්න. මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි රජයට හැකියාවක් තියෙනවනම් අධ්‍යාපනය සඳහා මහජන බදු මුදලින් වියදම් කරන්න එය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය, ජාතික පාසල් පද්ධතිය වර්ධනය කිරීම සඳහා ඒ මුදල් වැය කළ යුතුයි. එහෙම ඇති නොකර පෞද්ගලික විශ්ව විද්‍යාල සහ පෞද්ගලික පාසල් ඇතිකිරීම සඳහා මහජන බදු මුදල් වැයකරනවනම් ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මීට කලිනුත් මෙහෙම දේවල් වුණා. උදාහරණයකට මාලඹේ ස්ලිට් පෞද්ගලික විශ්ව විද්‍යාලය හැදුවේ මහජන අරමුදලේ සල්ලිවලින්. දැන් උත්සාහ කරනවා මුළු රට පුරාම රජය සතු පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න. මේ හදන විශ්ව විද්‍යාලය සතුව දැවැන්ත බලයක් තියෙනවා අලුත් විශ්ව විද්‍යාල, මණ්ඩප, පීඨ පටන් ගන්න අලුතෙන් උපාධි පාඨමාලා පටන් ගන්න, උපාධි පාඨමාලාවල විෂය නිර්දේශ තීරණය කරන්න. ඒ උපාධි පාඨමාලාවලට බඳවා ගන්නා සිසුන්ගේ අවම සුදුසුකම් තීරණය කරන්න ඒ විතරක් නෙමෙයි ජේෂ්ඨ මහාචාර්ය ආචාරය ධූර, කථිකාචාර්ය ධූර වැනි ධූර නම් කරන්න විශාල බලයක් තියෙනවා. ඒ බලය මෙතෙක් තිබුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට. විශ්ව විද්‍යාල කොමිසම හා සමාන බලතල සහිත තව ව්‍යුහයක් හදලා තියෙනවා. ඒ ව්‍යුහයට මේ සියලු බලය දීලා තියෙනවා. ඒ බලය දීලා තියෙන ව්‍යුහය මිලිටරි ව්‍යුහයක්. ඒ ව්‍යුහයේ නම දෙනෙක් ඉන්නවා. ඉන් හත් දෙනෙක්ම මිලිටරි නිලධාරීන්. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුධ හමුදාපති, නාවුක හමුදාපති, ගුවන් හමුදාපති සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ඉන්නවා. මේ පනතේ 10 (1) වගන්තියේ සඳහන් වෙලා තියෙනවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති බවට පත්කරන්නේ හමුදා නිලධාරියෙක් කියලා. හත් දෙනාම හමුදාවට සම්බන්ධ අය. එහෙම නොවන අය දෙන්නයි ඉන්නේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පත්කරන නියෝජිතයා සහ භාණ්ඩාගාරයෙන් පත්කරන නියෝජිතයා. මිලිටරි ව්‍යුහයක් හරහා ලංකාවේ පාසල් සහ උසස් අධ්‍යාපනය පාලනය කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මේක වැරදි දෙයක් වෙන්නෙ, එකපැත්තකින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩකරණය වෙලා වෙළඳ පොළට මුදාහරිනවා. අපි දන්නවා වෙළඳ පොළට මුදාහරියට පස්සේ සල්ලි තියෙන අයට ගන්න පුළුවන්. නැති අයට ගන්න බැහැ. සමාජ සමානතාවයක් ඇතිකරන්න ඉඩ තියෙනවා. අනිත් ප්‍රශ්නෙ තමයි මේකට මිලිටරිය මැදිහත් කර ගැනීම. මේ පාලකයන්ගේ තියෙන බරපතල අසමත්කමේ සංකේතයක් මේක. මොකද ඒගොල්ලන්ට මුකුත් බැරි උනාට පස්සෙ මොනවා හෝ විදිහකට හමුදාවත් ගාව ගන්නවා. මීට කලින් වී මිලදී ගැනීමේදී ප්‍රශ්නෙදි හාල් මෝල් මාෆියාවෙන් බේරෙන්න බෑ කියලා ඒක හමුදාවට බාරදුන්නා. ඒ කාලෙ කිව්වෙ හමුදාව වී මිලට ගන්නවා ලංකාවට අවශ්‍ය තරම් වී තියෙනවා මෝල් කාරයන්ට අහුවෙන්නෙ නැහැ කියලා. දැන් කෝ ඒ ගත්ත හාල්. හමුදාවට වී මිලදී ගන්න බැහැ. එහෙම ගන්න නම් වී අලෙවි මණ්ඩලයේ ගබඩා තියෙන්න ඕනා, අවශ්‍ය ව්‍යුහ තියෙන්න ඕනා. ඊට පස්සෙ කිව්වා හමුදාව දත්ත පද්ධතියක් හදලා තියෙනවා. එකෙ සියලුම හාල් ගත්ත තොරතුරු තියෙනවා. ඒක නිසා සෙල්ලම් කරන්න හදන්න එපා කියලා හමුදා නිලධාරියෙක් ඇවිත් රූපවාහිනියේ කිව්වා. දැන් නහයෙන් අඬනවා. මෝල් කාරයෝ හාල් හංගලා අපිට කරන්න දෙයක් නෑ, අපි පිටරටින් හාල් ගේනවා කියලා. හමුදාව එහෙම දාලා කරපු වැඩ අසාර්ථකයි. කොවිඩ් මර්දනය සඳහා කියලා වෛද්‍ය විශේෂඥයෝ පැත්තකින් තියලා හමුදාව දාලා ඒක කරන්න හැදුවා. අවසානයේදී සිද්ධ වෙලා තියෙන්නෙ මුළු ක්‍රියාවලියම අවුල් වෙලා. ලංකාවේ ජනතාව බුරුතු පිටින් මැරෙන තත්ත්වයක ඇතිවෙලා. ලංකාව කියලා කියන්නේ ලෝකෙ හොඳම ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ ක්‍රමයක් තිබුණු රටක්. මුදාව දානවා හමුදාව දානවා කියලා කරලා තියෙන්නෙ ඒ රටට එන්නත් ටික හරියට ගහගන්න බැරි ජාතියේ ප්‍රශ්නයක් ඇති කරපු එක. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අකර්යක්ෂමයි. ඒකෙ වංචා දුෂණ තියෙනවා කියලා ඒක බේරන්න රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හමුදාවට දෙනවා කිව්වා. අන්තිමට හමුදාවට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දුන්නා. එතන පිළිවෙලක් වෙලත් නෑ, අකාර්යක්ෂමතාවය නැතිවෙලත් නැහැ, වංචා දූෂණ නැතිවෙලත් නැහැ. ඒ නිසා මේ හැම එකටම හමුදාව ඔබ්බනවා කියලා වහගන්න හදන්නෙ සම්පූර්ණ අසමත්කම. අසමත්කම පේනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳරට ගිහිල්ලා මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයක් අහපු ගමන් ආ ශවේන්ද්‍ර ආ ශවේන්ද්‍ර කියලා ටෙලිෆෝන් කෝල් දෙන එකෙන්. ඒකම තමයි උසස් අධ්‍යාපනයට පාසල් අධ්‍යාපනයට කරන්න යන්නෙ. රටේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ මේ මිලිටරි කතාව ඉතා බරපතලයි. මේකට විරුද්ධව සියලු දෙනා පෙළ ගැහෙන්න ඕනා. ඒ නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර , විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්, ගුරු සංගම්, ශිෂ්‍යයෝ, දෙමව්පියෝ, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයේ පක්ෂ, වාමාංශිකයෝ ප්‍රගතිශීලීයෝ මේ සියලු දෙනා සමඟ පුළුල් වේදිකාවක් ගොඩ නගලා මේ අනතුර පරාජය කරන්න අපි පක්ෂයක් විදිහට මැදිහත්වෙනවා. අපි දින දෙකකට කලින් රටේ දිස්ත්‍රික්ක 09ක කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණ කරා. අපි ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලටත් මේ උද්ඝෝෂණය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව මේ පනත් කෙටුම්පත සම්මත කරන උත්සාහයක දිගින් දිගටම ඉන්නවනම් ගම් මට්ටමින් ජන බලයක් ගොඩනගන අතර මෙයට එරෙහි පොදු වේදිකාවක් ගොඩනැගීම සඳහා නායකත්වය දෙන්න අවශ්‍ය මූලික කටයුතු කරන්න අපි පක්ෂයක් ලෙස මැදිහත් වෙනවා. “

leave a reply