හෙක්ටර් ඩයස් යළි ගායනා කළ ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතය ඇතුළත් වීඩියෝව යූටියුබ් නැරඹුම් මිලියන දහය හෙවත් කෝටිය පසුකළ බව දැක්කම එක පාරටම මතක් වුණේ ප්‍රේමකීර්ති ද අල්විස්. මේ ගීතය රචනා කළේ ප්‍රේමකීර්ති. මුල් ගීතයේ සංගීතය ස්ටැන්ලි පීරිස්. ගායනය ඩෙස්මන්ඩ් ද සිල්වා. ඒ එක්කම පහුගිය තුන් වෙනිදාට ප්‍රේමකීර්තිගෙ උපන් දිනය යෙදිල තිබුණ. තාමත් අපි අතර හිටිය නම් ගිය තුන් වෙනිදාට ඔහුට වයස අවුරුදු හැත්තෑ හතරක් සම්පූර්ණ වෙනව. ඒත් ඒක එහෙම වුණේ නෑ. ඒ වෙනුවට අපිට ලබන මාසෙ තිස් එක් වෙනිදාට ඔහුගෙ තිස් දෙවැනි ගුණඅනුස්මරණය සිහිපත් කරන්න සිද්ධ වෙනව. ජීවිතේ එහෙම තමයි. කොහොම වුණත් මේ හැම දෙයක්ම නිමිති කරගෙන අද ‘විත අස පත’ තීරුව ප්‍රේමකීර්ති ද අල්විස් වෙනුවෙන් ලියැවෙන්න තීරණය කළා.
ප්‍රේමකීර්ති ‘නිල්වන් මුහුදු තීරේ’ ලියද්දි යූටියුබ්, සෝෂල් මීඩියා ගැන හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ. ඔහුගෙ මාධ්‍ය වුණේ ගුවන් විදුලිය සහ පසුකාලීනව රූපවාහිනිය. නමුත් තමන්ගෙ මරණයෙන් වසර සෑහෙන්න ගණනකට පස්සෙත් නූතනම ඩිජිටල් ෆ්ලැට්ෆෝම්ස් පවා කළඹවන වචන ලියල තියන්න මේ මනුස්සයට පුළුවන් වෙලා තියෙනව. අනිත් හැමදේම අයින් කරල ඒ කාරණාව විතරක් ගත්තත් ඒක පට්ට වැඩක් නෙවෙයිද? ප්‍රේමකීර්ති කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති අය පවා අද ඔහු ලියපු පද පේළි මුමුණනව. කියනව. ගායනා කරනව. භෞතිකව මිය ගියත් මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් කියන්න ඒකම මදිද? හැබෑම ආර්ට් තියෙන්නෙ අන්න ඒ වගේ තැන්වල.
ඒ කාලෙ ගුවන් විදුලියෙ ඇත්තො ප්‍රේමකීර්ති හඳුන්වපු අන්වර්ථ නාමය පොඩි මාස්ටර්. තව ඉඳල තියෙනව ලොකු මාස්ටර් සහ මැද මාස්ටර්. ලොකු මාස්ටර් තිලක සුදර්මන් ද සිල්වා. මැද මාස්ටර් තමයි පහුගිය කාලෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිසා සමාජ මාධ්‍යවල සෑහෙන්න කතා බහට ලක්වුණ අමරබන්දු රූපසිංහ. මේ මාස්ටර්ලා තුන් කට්ටුව ගැන බොහොම රසවත් කතන්දර තියෙනව. සමන් අතාවුදහෙට්ටි වගේ ප්‍රවීණ සන්නිවේදකයො අදටත් ඒ කතාන්දරවල සජීවී සාක්‍ෂිකාරයො. ප්‍රේමකීර්ති ගුවන් විදුලිය ඇතුළෙ වගේම පිටතත් බොහොම සැහැල්ලුවෙන්, හැබැයි හරිම අදීනව තමන්ගෙ රාජකාරිය කරපු පුද්ගලයෙක්. ගුවන් විදුලි මැදිරිවල පුටු පෙරලුණාට, ගොඩක් දෙනෙක් හුඟක් උත්සහ කළත් කවදාවත් ප්‍රේමකීර්තිව පෙරළන්න බැරි වුණේ අන්න ඒකයි.
ඔහුගෙ ගීත රචනා ගැන ආයෙ අමුතුවෙන් ලියන්න හෝ කියන්න දෙයක් නෑ. වික්ටර් – ප්‍රේමකීර්ති කියල කියන්නෙ අපේ රටේ සංගීතය ඇතුළෙ පුරාවෘත්තයක් විදියට හඳුන්වන්න පුළුවන් සුසංයෝගයක්. ආදරය සහ මනුෂ්‍යත්වය පිරුණු, ලෝකය දිහා බොහොම නිවුණු බැල්මකින් බලන ස්වරයක් නිරන්තරයෙන් සහ නිරායාසයෙන් ඔහු ලියපු අකුරු අතරෙ කැටි ගැහිල තිබුණ. ඒක සර්වකාලීන ප්‍රේමයක්. අදටත් ඔහු නැතත් ඔහුගෙ ගීත විවිධ කටහඬවල් තුළින් පණ ගැහෙන්නෙ ඒකයි. ඒව අපිට ආශ්වාස – ප්‍රශ්වාස වෙන වචන. කොටින්ම තමන්ගෙ පුද්ගලික ජීවිතේ අතිශය දරුණු ප්‍රශ්න මැද වුණත් පොල්ලක්, පිහියක් හෝ තුවක්කුවක් අතට නොගෙන ඒ හැඟීම් ගීතයකින් මෝචනය කරන්න තරම් සංයමයක් සහ ඉවසිල්ලක් ප්‍රේමකීර්තිට තිබුණ. ඒ නිසා මහා ඛේදවාචක වෙනුවට විශිෂ්ට කලා කෘති ඔහු අතින් අනාගත ලෝකය උදෙසා තිළිණ කෙරුණා. පොඩි අඩියක් ගහන තැනක ඉඳන් රියැලිටි ෂෝ හරහා කෝටි ගාණක් වීව්ස් ලැබෙන වීඩියෝ දක්වා අපි අද බඩපිනුම් ගහන්නෙ අන්න ඒ ලෝකයෙ තමයි.
මේ මොහොත කියල කියන්නෙ අපේ රටේ නිල්වන් මුහුදු තීරය කලු ගැහෙමින් යන වෙලාවක්. ගල්මල් පිපෙනවා වෙනුවට පරවෙනවා, යායවල් පිටින්. සාධාරණත්වය, යුක්තිය සහ සමානාත්මතාවය අගය කරන, ප්‍රාර්ථනා කරන මිනිස්සු සමාජය කියන නැව් තලේ තනිවෙලාද කියලත් හිතෙනව. ප්‍රේමකීර්ති හිටිය නම් මේ වගේ වෙලාවක මොනව හිතයිද, මොනව ලියයිද, මොනව කියයිද? දැන් ඒක ගැන කල්පනා කරල තේරුමක් නෑ. හැබැයි ඇත්තටම ප්‍රේමකීර්ති කියල කියන්නෙ නිල්වන් මුහුදු තීරයක පිපුණු ගල්මල් මඳහසක්. නළ දත සහිත මන්දහාසයෙන් උපේක්‍ෂාසහගතව සහ අපේක්‍ෂාසහගතව අපූරු විදියට ලෝකය දිහා බලපු මිනිහෙක්. නමුත් ඒ මඳහසට පිළිතුරක් විදියට පෙරළා ඔහුට ලැබුණෙ වෙඩි උණ්ඩ ප්‍රහාරයක්. අන්න ඒ නිසා කඩුවට, තුවක්කුවට වඩා පෑන බලවත් කියල කතාවට කිව්වට අනාගතය වෙනුවෙන් අපිට ඒ ඉතිහාසය ගැන ආයෙ ආයෙත් කල්පනා කරල බලන්න සිද්ධ වෙනව.
ලංකා නිව්ස් වෙබ් අඩවියට ලියන ‘විත අස පත’ තීරුලිපි පෙළේ 25 වන ලිපිය