අපි ටිකක් කතා කරමු ද?
මොනවා ද? මොනවා ගැන ද? අනිත් එක මොකට ද?
ඇයි එහෙම කියන්නෙ, අපිට කතා කරන්න දෙයක් නැද්ද?
නැහැ. කතාව ඉවරයි.
ඒ කියන්නෙ අපේ ප්‍රේම කතා ව ද?
ඔව්.
කතාව අපේ නම්, ඉවර කිරීමේ තීරණය විතරක් ඔයාට ගන්න පුළුවන් ද?
ඔව්. ඇයි බැරි, තීරණ ගන්න මම කවදාවත් පසුබට වුණේ නැහැ.
ඉතිං, ඒ තීරණ හරි ද?
සමහර ඒවා වැරැදියි. කසාදයට තමුසෙ වගේ බූරුවෙක් තෝරගත්ත එක තමයි මම ගත්ත වැරැදි ම තීරණය.
දැනුත් ගන්න හදන්නෙ ඒ වගේ තීරයක්
තමුසෙ අත් හරින එක ද?
ඔව්.
ඔව්ව ගිහින් කියනවා මෝඩ බමුණන්ට, එක එකාගෙ කුණු හොය හොයා යන මෝඩ ගෑනුන්ට, දෑතේ මහන්සියෙන් හරි හම්බ කරගන්න පුඵවන් නම් කොයි ගෑනිටත් ස්වාධීන වෙන්න පුළුවන් ඕයි. තමුසෙලා වගේ පිරිමි ළග වැද වැටෙන්න ඕන නෑ.
හැමදාම වගේ පැතුමිගේ පූස් සුරතලා එයාගෙ ස්වාමි දූගෙ උණුසුමට තුරුල් වී නිදයි. එහෙත් වරින්වර නැගෙන පැතුමිගේ සුසුම් හඩ සමග අවධි වී ඇය දෙස බලයි.
දැන් හුගාක් කාලෙක ඉදන් මම කියන දෙයක් අහගෙන ඉන්නෙත් මා එක්ක කතා කරන්නෙත් මට කතා කරන්න හිටියෙත් ඔයා විතරයි සුදු මැණික, ඉතිං මට ජීවිතයේ ඉතිරි කාලයත් ඔයා ම විතරක් එක්ක ඉන්න පුළුවන් නේද? අපි දෙන්නාගේ චූටි ගෙදර අපි දෙන්නට හිතුණු දෙයක් උයාගෙන කාල ඉන්න පුළුවන් නේද? රටේ ඉන්න මිනිස්සු පොහොසත් කරන්න අපට ඕන නැහැනෙ. එයා පොහොසත් වෙනකොට මම දුප්පත් වෙනවනෙ. පැතුමි පූස් සුරතලාට කියයි. ඌත් සියල්ල අහගෙන ඉදියි.
පැතුමිට කතා කරන්න හුගාක් දේවල් තියෙනවා. මේ විදිහට පැතුමි ගොඩාක් කාලයක ඉදන් කල්පනා කරනවා. කොහොම වුණත් අදින් වසර 15කට පෙර ඇදුම් සූට්කේසය බස් එකේ දාගෙන කොළඹ ඇවිත් මරදානෙ බෝඩින් කාමරේ නතර වුණු තැණින් නැවතත් පැතුමිට ජීවිතය පටන් ගන්න සිදු වෙලා.
වෙලාවකට ඒක මහා දුක හිතෙන ඉරණම් කතාවක් වගේ,
මීට වසර හතරකට පෙර පැතුමි තමන්ගේ ජීවිතය පිළිබද කල්පනා කළ ආකාරයට වඩා අද තම ජීවිතය පිළිබද හිතන විදිහ සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. එදා හිතුවෙ වැඩ ඇරිල ගෙදර ආවහම ඔපිස් එකේදි සිදු වූ දේවල් කියන්න, ගමනක් බිමනක් යන එන වෙලාවට ආරක්ෂාවට, ජීවිතයට රක්ෂණාවරණයක් වගේ සැමියෙකුත් ළග හිටියා නම් හොදයි කියලයි. පැතුමිට හමු වූ බොහෝ පිරිමින් අතර මහී සිය සිතුවිලි හා බද්ධ තමන්ගේ කන්දොස් කිරියාව ඉවසන කොනෙක් කියලයි පැතුමිට හිතුනෙ. තාත්තෙක්ගෙන් වගේ රැකවරණය සොයන අතර ම පැතුමි හෙව්වෙ යාලුවෙක් වගේ සැමියෙක්. මගුල් ගෙවල් ගන්න ලක්ෂ ගණනින් වියදම් කරන්න මුදල් නැති නිසා දෙදෙනාගේ කැමැත්ත මත අලුත් බෝඩිං කාමරයකට පැමිණිමෙන් පැතුමි යුග දිවිය ආරම්භ කළා. සැමියාට දෙවියාට වගේ ගෞරව සමාචාර දැක්විය යුතු බව පැතුමි නොදැන සිටියා නොවේ. එහෙත් ඔවුනොවුන් අතර තිබූ අඩු වයස් පරතරය නිසාදෝ පැතුමි සෑම විට ම සැමියා සමග ගනුදෙනු කළේ ලෙන්ගතු මිතුරෙක් හා ගනුදෙනු කරන විලාසයෙනි. එම ස්වභාවය උචිත නැතැයි ඇයට බොහෝ වර හැගී ගියේය. ඒ ඇය නිවෙසට එක් චරිතයකුත් ඉන් පිටත දී තවත් චරිතයකුත් රගපෑමේ අභ්‍යාසයේ නොසිටන නිසාවෙන් පිරිස ඉදිරියේ දෙදෙනා අතර හුවමාරු වන ඇතැම් වදන් දෙස සමහර වැඩිහිටියන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා අවස්ථා ද වන නිසා ය. එවන් අත්දැකීම් ලබන අවස්ථාවන් හි දී මම ආයෙත් ඒ වගේ හැසිරෙන්නෙ නැහැ. මම මහී ට සුවච කීකරු බිරියක් විය යුතුයි. ඔහු මගේ විහිලුවලට සම්බන්ධ කර නොගත යුතු යැයි සිතන පැතුමි ඉතා ආයාසයෙන් සිය කෝලම් යටපත් කරගෙන මහී ට සැමියා ය යන උත්තරීතර පදවිය දීමට සූදානම් වෙයි. අඩු කතාබහ වැඩි ගරු සරුව සහ ආවතේව කටයුතු සදහා ඇය වෙනස් වීමට අදිටන් කර ගනී. එහෙත් මහී ට අවශ්‍ය වන්නේ සිය යෙහෙළියයි. වැඩ ඇරිල ගෙදර එන වෙලාවට කොහෙහරි මුල්ලක හැංගිලා ඉදන් තමන්ගෙ ඇගට කඩා පයින පැතුමි ව හයියෙන් අල්ලාගෙන තම අණසකට නතු කර ගන්න තේ එක අතට දීල ඔඩොක්කුවේ ඉදගන්න සුරතලී සමග සුරතල් වෙන්න ඔහුත් කැමැති ය. ඒ නිසා ම සුවච කීකරු භාර්යාවක වීමට අදිටන් කර ගනිමින් පැතුමි තබන සෑම පියවරක් ම දිය පිට ඇදි රේඛාවක් මෙන් මැකී යයි. ඒ කෙසේ වෙතත් දැන් ඔහු ද සිය ජීවිත කතා පොතෙන් මකා දමන්නට පැතුමිට සිදු ව ඇත.
‘‘පලිගැනීමක් නැත. හැර නොයන් යැයි කරන හඩා වැලපීම් ද නැත. මගෙන් නොලැබුණු කුමක් හෝ ඇයගෙන් ලැබෙයි. මගෙන් අතපසු වූ කුමක් හෝ දෙයක් හෝ බොහොමයක් දේවල් ඇය සම්පූර්ණ කර ඇත. මා මාගේ සතුට සොයා ඔබේ තුරුලට ආ සේම ඔබ ඔබේ සතුට සොයාගෙන යන්න. ඒ සතුට යි මේ සතුටයි සතුටු තොටුපොළවල් දෙකක උරුමය විදීමට මට ඔබට අවස්ථාව දිය නොහැකිය. මා අත්හැරීමත් අහිමිවීමත් හදුනමි. ඒනිසා ස්වභාදහමේ පාඩමට යටත් වීමට නොහැකිව මා හඩා නොවැළපෙමි.’’
පැතුමි කොහේදෝ තැනක ලියා තැබුවා ය.
රාත්‍රී 8 -9 දක්වා නිවෙසට පැමිණීම ප්‍රමාද කළ මහී තව ටික දිනකින් රාත්‍රී 10 – 11 දක්වා එම ගමන ප්‍රමාද කළේය. කාලයත් සමග පැයෙන් පැය නිවෙසට පැමිණීම ප්‍රමාද කරන විට. ඔහුට බෙදූ බත් පත පිළුණු විය. ඒ සේම පැමිණීම තව තවත් ප්‍රමාද වී පසු දින දක්වා දීර්ඝ විය. දුරකතනයට අලුත් රහස්‍ය අංකයක් ලැබුණි. ගැලරියට තවෙකක් ලැබුණි. හදිස්සි අවශ්‍යතාවයකට හෝ එය භාවිතයට පැතුමිට නොලැබිණි. එහෙත් ඇය මෝඩියක නොවූවා ය. නිදි නැති රාත්‍රීන් පුරා හුවමාරු වූ කෙටි පණිඩිය රෑ නින්දට පැතූ සුබ පැතුම්. උදාවන දවසට යැවූ සහ ලැබූ සුබ පැතුම් සියල්ල දකිමින් විටෙක නිහඩව ද තවත් විටෙක උණුසුම් වචනයකින් දෙකකින් දමා ගැසීම් කරමින් ද ඇය සිටියා ය. අත්හැරීමේ සහ අහිමිවීමේ ස්වභාදහම් පාඩම පැතුමි හොදින් අධ්‍යයනය කර තිබුණත් සිය සැමියා බෙදා හදා ගැනීමේ පාඩම ඇය කිසිදිනෙක අධ්‍යයනය නොකළා ය. එවැන්නක් අධ්‍යයනයට හෝ ඇය අකමැති ය. එහෙත් දානයට කැමැති ය. අවසානයේ දානය උතුම් ය යන බුදු වදනට අනුව ඇයගේ දාන වස්තුව ඔහු බවට පත්කර ගත්තා ය. අත්හැරීමේ අගය වටිනාකම දැන සිටි වටහාගෙන සිටි පැතුමි අතහැරිය යුතු දේ අතහැර ජීවිතය යළි ආරම්භ කළා ය.