වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක එම තනතුරේ වැඩ භාර අරගෙන තවම ගතවී තිබෙන්නේ දින හතරක් පමණයි. මේ දින හතර තුළ ඔහු අවස්ථා දෙකකදී ජනතාව ආමන්ත්‍රණය කළා. පළමුවෙන්ම ඔහු වැඩ භාරගත් දින ජනතාව ආමන්ත්‍රණය කිරීමත් දෙවනුව ඔක්තෝම්බර් මාසයේ 25 වන දින රටේ සමස්ත ජනතාවගේ නායකයා ලෙස ජාතිය ඇමතීමත් මේ අවස්ථා දෙකයි. අභිනවයෙන් පත් වූ ජනාධිපති ජනතාව ආමන්ත්‍රණය කළ මේ අවස්ථා දෙකම සුවිශේෂී අවස්ථා වන් වෙනවා.
විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ගර්භාෂයෙන් උපන් නායකයකු ලෙස භෞතිස්ම ලබා සිටීමත් මෙතෙක් ජනාධිපතිවරුන් ලෙස පත් සියලු දෙනාටම වඩා හොඳින් ඔහු මේ රටේ සංයුතිය පිළිබඳ මනා අවබෝධයකින් සිටින්නෙකු ලෙසයි බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ. ඒ අනුව සියලු ජාතීන් කෙරෙහි සම සිතින්ද, සියලු ආගම් කෙරෙහි සම භක්තියෙන් ද, තම ජනාධිපති ජොබ් එක කරන බව අඟවන්නට දිවුරුම් දුන් විගස ඔහු ගියේ ආගමික සිද්ධස්ථාන සොයාගෙනය. එයින් ඔහු පෙන්වා දෙනු ලැබුවේ තනා තිබෙන ප්‍රේම් එක ඇතුලට තමන් කිසිදු පැකිලීමකින් තොරව ඇතුල්වන බවයි. ඒ අනුව මේ වන විට සිංහල බෞද්ධ රාජ්‍ය ව්‍යුහයට ඔහු පැකිලීමකින් තොරව හැඩගැසෙමින් සිටින බව අපට පෙනෙන්න තියෙනව. මේ ගෙවුණු දින කීපය තුළ ඔහුගේ ක්‍රියාකලාපය ඊට නිදසුන් සපයා තියෙනවා.
අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම 1948 නිදහසෙන් පසු ක්‍රමානුකූලව නිර්මාණය කළ මේ සිංහල බෞද්ධ රාජ්‍ය රාමුව තුළ බැස පීනා නායිද, එසේත් නොමැති නම් ජනතාව බලාපොරොත්තුව සිටි ප්‍රේම් එක කඩා නව ප්‍රේම් එකක් නිර්මාණය කිරීමේ විප්ලවීය වෙනස කරයිද කියලා කියන්නට අපි තවමත් ඉක්මන් වැඩියි. එනිසා දැනට දුටු දේ පමණක් සැකෙවින් සටහන් කර තබමින් අනුර කුමාර දිසානායක දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වන විටත් මගහැර ගිය අතිශයින් වැදගත් වන කාරණයක් සටහන් කර තබන්න සිදුවෙනවා.
අපි දන්නවා අපේ රටේ විවධ ජාතීන් ජීවත් වෙනවා. ඒ ජාතීන් කතා කරන භාෂාවන් අතර සිංහල සහ දෙමළ ප්‍රධාන භාෂාවන් දෙක බවට පත්වෙනවා. ඒ අනුව ගත් කල අනුර කුමාර දිසානායක ජාතියට ආමන්ත්‍රණය කරද්දී මේ භාෂා දෙක කෙරෙහිම අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ඔහු ජාතිය අමතා කළ මේ කතා දෙකේදීම ඔහු කළේ සිංහලෙන් ජාතිය ඇමතීම. අවම වශයෙන් රූපවාහිනී තිරය මත ඔහුගේ කතාවේ දෙමළ උපසිරසවත් යොදන්නට කටයුතු නොකළේ කුමක් නිසාද යන්න ගැටළුවකි . සජීවීව ඔහුගේ කතාව නරඹන දෙමළ ජනතාවට කුමක් තේරුණාද අප නොදනී. පසු දවසේ දෙමළ පුවත්පතින් ජනාධිපතිතුමාගේ කතාව දෙමළෙන් කියවනවාට වැඩිය සජීවීව රූපවාහිනියේ ජනාධිපතිතුමා කතා කරන විට ඒ කතාවේ දෙමළ උපශීර්ෂය කියවා ගන්නට තිබුණානම් ඒ මිනිසුන් සතුටු වනවා නොඅනුමානයි.
එසේත් නොමැති නම් ජනාධිපති සහෝදරයාගේ කතාවෙන් පසුව ඒ කතාව යම් පුද්ගලයෙක් දෙමළ භාෂාවෙන් සජීවීව කළා නම් ඒකත් වෙනසේ කොටසක් බවට පත් වන්නට ඉඩ තිබුණා.
කෙසේ වෙතත් අනුර කුමාරගේ කණ්ඩායමට මේ සම්බන්ධයෙන් අවබෝධය මද වුණේ කිනම් පදනමක් හේතු කරගෙනද යන්න අප නොදනී. මක්නිසාදයත් ජාතික ගැටලුව නිර්මාණය වීමට හේතු වූ කාරණා අතර භාෂාවේ ප්‍රශ්නයද විශාලම වැඩ කොටසක් ඉටුකළ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉගැන්වීම් වල තිබෙන හෙයිනි.
ඉතින් දැන් අපට ඉන්නේ ජනාධිපති සහෝදරයෙකි. මේවා සුළු කාරණා ලෙස බැහැර කළ හැකිය, එහෙත් සමස්ත ජාතික ගැටළුව පසුපස පොදි බැඳ තිබෙන්නේ සුළු සුළු කාරණා ගොඩකි.
අනුරට වැඩ වැඩි නිසා මේවා අමතක විය හැකිය. එහෙත් ඔහු වටා සමීපයේ සිටින්නන්ට මේවා මතක් කර දිය හැකිය.