Breaking News

ඩිස්ටෝපියානු කවියක,විරුද්ධාභාසය හා ආත්මීය විනිවිදුම: ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්..

අනිල් නිශාන්ත ලොකු ගමරාල

කවියක් විඳීමේ දී එය ලියූ කවියා පෞද්ගලික මිතුරෙකු වීම ඇතැම් විට කවිය විඳීමට පහසුවක් වන අතර ඇතැම් විට අපහසුවක් ගෙන දේ. එනයින් මා අදහස් කළේ, කවිය හා කවියා අතර සාම්‍යයක් දැකීම මනසට සුවයක් ගෙන දෙතත් කවිය හා කවියා අතර විරුද්ධාභාසයක් (paradox) දැකීම මනසට ගෙනදෙන්නේ අපහසුවක් වන බවයි.

මෙහිදී කෙනෙකුට පැවසිය හැකි සුලබ ප්‍රකාශය වන්නේ, කවියා අතහැර කවිය කියවන්න යන්නයි. එය අන්‍යාලාපයකින් කියතොත්, ඇඟිල්ල දෙස නොබලා සඳ දෙස බලන්න යන්නයි. තව දුරටත් අවැසි නම් රෝලන්ඩ් බාර්ත ට අනුව “කර්තෘ ගේ මියයෑම” නම් සංකල්පය මත පිහිටා විග්‍රහ කළ හැකියි. එසේත් නැත්නම් ප්‍රංශ දර්ශනවාදියකු වන ඇලෙන් බදියෝ ට අනුව “පවතින ක්‍රමය, පුද්ගල අනන්‍යතාව හා පෞරුෂය දියකර හැරීමට තරම් කුරිරු වුවත්, එහි ව්‍යාධිමය අංගය පිළිබඳ දැණුම ද හෙමි හෙමින් හෝ ප්‍රගතියක් උදාකර ගනිමින් සිටී” යන ප්‍රකාශය වුව මතු කළ හැකියි.

කෙසේ වෙතත් මේ මොහොතේ මා කතා කරන්නට යන “ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්” නම් කෘතියේ කතුවරයා වන රෝහණ පොතුලියද්ද මගේ පෞද්ගලික මිතුරෙකි. මා දන්නා තරමින් ඔහු මධ්‍යම පන්තික ජීවිතයක් ගතකරන්නෙක් මෙන්ම එය නඩත්තු කරන්නෙකි. වත්පොත් චර්‍යාවේ දී යම් රැඩිකල් බවක් පෙන්වතත් පෞද්ගලික කතාබහේ දී කිසිවෙකු ගේ සිත රිදවීමට සෘජු වාග් ප්‍රහාර එල්ල නොකරන්නෙකි. සක්‍රීය දේශපාලනයේ නිරත නොවන්නේ වුවත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇත්තෙකි. කෙසේ වෙතත් ඔහු ඇසුරු කිරීමට ප්‍රිය මිතුරෙකි.

ඉතින් දැන් අපි ඔහු ගේ කවි පොතට පිවිසෙමු. සංයුක්තව ඒ ගැන යම් අදහසක් කියන්නේ නම්, එහි බහුතරයක් කවිවලින් මධ්‍යම පන්තික ජීවිතය – ව්‍යාජ, කටුක, කේදනීය එකක් යැයි විෂද කෙරේ. ඉතින් එය සැබෑවක් ද? එසේනම් එවන් ජීවිතයක් නඩත්තු කරන්නේ මන්ද? මේ සන්දර්භය හා බැඳුණු මිනිස් පැවැත්ම පිළිබඳ යථාවබෝධයක් එයින් ගම්‍ය වේද? නැතිනම් කවියා ගේ විරුද්ධාභාසය පරාවර්තනය කෙරෙන කැඩපතක් ද මේ.
මගේ ගැටලුව යම්තාක් දුරකට හෝ ලිහා ගැනීමට මම කවි දෙකක් තෝරා ගනිමි.

1. අපට කොහේ හරි වැරදුනා බං (12, 13 පිටු)
2. දෙවියනි! ඔබ නැති ලොව පුදුමයි (19, 20 පිටු)
(දෙවියනි ඔබ මැව් ලෝකය පුදුමයි)?

පළමු කවියෙන් ඔහු මධ්‍යම පන්තික ජීවිතයේ කටෝරත්වය, ඉච්ඡාභංගත්වය හා ස්වපීඩක උන්නතිකාමය පිළිබඳ ස්වයං විවේචනාත්මක දෘෂ්ඨියක් හෙළයි.

“රස්සාවක් කෙරුවා – ඕ.ටී. කෙරුවා තව බ්‍රෝකර් වැඩත්
ගේත් හැදුවා – තාප්පෙත් බැන්දා ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා පංතිත් ඇරියා ශිෂ්‍යත්තෙං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැක්”

(අපට කොහේ හරි වැරදුනා බං – 12 පිටුව)
දෙවැනි කවියෙන් ඔහු, ලිංගික සේවා සපයන්නියක පිළිබඳ රැඩිකල් ප්‍රකාශයක් ඉදිරිපත් කරයි. වත්මනේ කවියක හෝ ගීතයක සාමාන්‍යයෙන් අප දකින්නේ හෝ අසන්නේ එවැන්නියක ගේ ජීවිතයේ ඇති දෝමනස්සය යි. එහෙත් රෝහණ ඈ ලවා ප්‍රකාශ කරවන්නේ, ඇගේ ජීවිතයේ නිදහස්කාමී, වින්දනීය පාර්ශවයක් ගැනයි. අම්බපාලිය මෙන්
වරප්‍රසාදිත වෘත්තිනියක බවයි.
“සාර රුවට පාට පෙඟුණ මැතිනියට
රාජ රාජ සිටු මැතිඳෝ පෙර මගට
දෑළ විදා ලීලෝපිත පියාපත
නෑර බිඳක් විඳගමි මම ජීවිතය

සිළිටි නිතඹ රන්වන් සිසිවත දරමි
සිළිකන් ළමැද හරබැර ලෙජරය රකිමි
ඩොලර් පවුම් යෙන් තුඩ තුඩ රස බලමි
ගෙදර මොටද? තුන් ලොවටම බුදුන් වෙමි

(දෙවියනි! ඔබ නැති ලොව පුදුමයි – 20 පිටුව)

ඉතින් පළමු කවියේ එන මධ්‍යම පන්තික ජීවිතය ගැන රෝහණ ගේ දැක්ම හා මේ සන්දර්භය තුළම ජීවත් වන ලිංගික ශ්‍රමය සපයන්නිය ගේ ජීවිතය පිළිබඳ ඔහු ගේ විකල්ප දැක්ම අතර විඝටනයක්, එසේ නැත්නම් ව්‍යාභිචාරීභාවයක් (dissociation) හට ගනී. දේශපාලන අර්ථයෙන් එක් කවියක් ඩිස්ටෝපියානු (dystopia – පවතින ක්‍රමයට විරුද්ධව, එහි කුරිරු බව වටහා ගනු පිණිස පවතින ක්‍රමයේ ආන්තික ස්වරූපය ගෙනහැර පෑම) වන අතර අනෙක් කවිය යුටෝපියානු (utopia – පවතින ක්‍රමය පරමාදර්ශී කොට ගෙන ඊට අනුගත වීම) වේ.

මෙය කවිය හා කවියා ගේ පැවැත්ම අතර වන විරුද්ධාභාසය සේම කාව්‍යාන්තර සමාජ දෘෂ්ඨියේ විඝටනාත්මක බව හෙළි කරයි.

මා පෙර කියූ සේම රෝහණ ගේ බොහෝ කවි මධ්‍යම පන්තික ජීවිතයේ නිස්සාරත්වය පිළිබඳ ශෝකීතානයක් නගන අතර ඇතැම් කවි නව ලිබරල් ධනේෂ්වර සමාජයේ යාවත්කාලීන වන උපයෝගීතාව මුල් කොට ගත් මිනිස් සබඳතා හා සන්සිද්ධීන් උපහාසාත්මක විවේචනයකට බඳුන් කරයි.
නිදසුන් – පොලා පැනීම (33, 34 පිටු) , නිලූ (57, 58 පිටු)

“ළිං කටින් ගොඩ වෙන්න
අනන්ත අහස විඳ ගන්න
නිකමට දැම්ම අයදුම
ඩාන්සින් තරුව තරගෙට

බකල ගමනින් හිනැස්සෙව්වා
කොන්ද නමලා දුන්න බෑවා
මැස්ස අල්ලන පිනුම ගැහුව ම
අවසන් වටයේ මුලට හිටියා

පීරි ගා හම සුමට කොට
ඇස් ලොඩි ලා කළු උපැස් යට
පිම්බුවාට බඩ – ඇයි ගෙම්බො නැත්තෙ හැඩ
හැලෙන මෙරු තටු වගෙයි SMS සට සට”

(පොලා පැනීම – 33 පිටුව)

“හිස මුඩු කරමි
කවි ලියමි
ගී ගයමි

ඩෙනිම් අඳිමි
යළි ගලවමි
ආරිය සිංහල
සුද පොරවමි

කඩු හී ගෙන
සටනට එමි
මගෙ රට දැය ගැන
ලොවට කියමි

අහිකුණ්ඨක අත
රිලා මොටා සේ
බල්ටි ගසමි
බකල් ගසමි

නිලූ
මගෙ ලොලීටා වී
මා ඔබේ
කිරි කැටියා ය…
ඇද වැළඳ මිරිකා
මේ සාපෙන් මා මුදන්න”

(නිලූ – 57, 58 පිටු)

මෙම විරුද්ධාභාසිත හා විවේචනාත්මක බව තිබියදීම වුවත් මනුෂ්‍ය ආත්මය කෙරෙහි රෝහණ ගේ කවි තුළ පවතින සානුකම්පිත බව හා දයාර්ද බව කිසි විටෙක නොසලකා හැරිය හැකි නොවේ. ඔහු ගේ කාව්‍ය භාෂාව වුව අමුතු සැරසිලිවලින් අලංකාර වූවක් නොවේ. එහි ඇත්තේ වචනවල ඕජෝ ගුණය (vitality) හා ජෝතිමත් බව (brilliant) මග හැර නියෝජනාත්මක ගුණය භාවිතයට ගැනීමකි. එනම් ජෛව බලයෙන් හෙබි හා බබලන ගතියෙන් යුතු වචන තෝරනවා වෙනුවට තම අදහස සරලව හා ගැඹුරුව ප්‍රකාශ කිරීමට වචනවල ඇති හැකියාව තේරීමකි. ඒ අර්ථයෙන් මට දැනුණු රෝහණ ගේ කවි කිහිපයක උදෘත මෙහි ලා දක්වමි.

  • නෑ නෑ ඒ අපි නෙමෙයි (මෙය උත්ප්‍රාසාත්මක කවියකි) *පාසලක ප්‍රේමයක් *නිවසක් තිබේ අරුම *සමීප රූප *රහස් *ප්‍රේමයක සටහන් *ආනන්ද *කළමනාකරණය *කාටද ඒ අත්පොලසන *අනියම් *ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි
    මේ අතරිනුත් කාව්‍යෝක්තිය හා කාව්‍යාත්මය මනාව කැටිවුණු අනභිබවනීය පරිකල්පනයක් සහිත විශිෂ්ටතම කවි දෙකක් මගේ හදවත පැහැර ගත්තා ය. ඒ

“ආනන්ද” සහ “අනියම්” නම් කවි දෙක ය.

ලෞකිකත්වය හා ලෝකෝත්තරත්වය අතර ද පැවැත්ම හා නොපැවැත්ම අතර ද බැඳුම් සහ මිදුම් අතර ද වේදනාව හා නිවීම අතර ද දෝලනය වෙමින් යන “ආනන්ද” නම් කව අතිශය සියුම් කවියෙකු ගේ රැඩිකල් භාවිතයකි.

මිනිස් සන්තානය අවුලවාලන හද ආශා ඉවත ලන්නැයි, සංසාරගත බැඳුම් මුදාලන්නැයි දේශනා කළ මහා පුරුෂයෙකු අස, සියුම් ප්‍රේමයක හද ආශා ඉවත නොදැමූවේ යැයි ද ආනන්දනීය බැඳීමක වේදනාවෙන් නොමිඳුණේ යැයි ද කවියා හඟින ආනන්ද තෙරුන් ගැන මෙහි පැවසේ. මෙම කවෙහි වඩාත් රැඩිකල් භාවිතය වන්නේ මේ සියුම් බැඳුමෙන්, මනුෂ්‍යයෙකු වන බුදුන් වහන්සේ ද සහමුලින්ම මිදුණේ දැයි වන ප්‍රශ්නකාරී ඉසියුම් ඉඟිය යි.

“පමා වන නමුදු නිවන
ඇලී නොඇලී රැඳුන
හිරු නැගි කල ද නො මැකුණ
බුදුන් මත පිනි බිඳකි ආනන්ද

නොනිදන්නාට රැය දිගු තමයි
ගඳකිළිය වට නොනිදා සරයි
බුදු මුව මත පිපි මල් එකින් එක ගෙන
සදහම් මාලය ගොතයි ආනන්ද
………………..

කුසිනාරා නුවර සල් ගසක් පාමුල
නිවී යන විට සංසාරගත බැඳුම
නැගුණ ඝනඳුර මැද තනිව
සල් ගසක් සේ හඬයි ආනන්ද

සියලු ක්ලේෂයෝ නැසූ වග කීවත්
ශේෂ වූ බැඳුම් සරැල්ලක්
උප නූපන් කඳුළු බිඳිත්තක්
බුදුන් ඇස තුළ භාවනාවක්

(ආනන්ද – 42, 43 පිටු)

මෙය නිර්මාණකරුවෙකු තමන් අවට ලෝකය හා සාම්ප්‍රදායික දැණුම ප්‍රශ්න කිරීමක් මෙන්ම තම පරිකල්පනීය ශක්‍යතා සියුම්ව හා ප්‍රබලව මුදාහැරිය අවස්ථාවකි.
“අනියම්” නම් කව ද එවන් අද්විතීය නිර්මාණයකි. වක්‍රෝක්තිය හා රූපක ප්‍රබල හැඟවුම්කාරක බවට පත්කර ඇති මේ කව පරිකල්පනයේ අග්‍රඵලයකි. මිනිස් ප්‍රේමයේ, ශෘංගාරයේ බුර බුරා නැගෙන ආශා – ලෝ දියෙන් වුව දැවී නොයන්නේ යැයි ද සූර්‍ය අග්නි ජාලා අතරින් වුව නොනැසී ගමන් කරන්නේ යැයි ද කාල නිර්ණයක් හෝ වයස්ගත වීමක් හෝ ඊට නොවන්නේ යැයි ද ඉන් හැඟේ.

මේ කවියා කිසි විටෙකත් ලෝකෝත්තරවාදියෙකු නොවේ. ඔහු මිනිස් ආත්මයට එබෙන්නෙකි. ඉන්ද්‍රජාලික නොවන, මනුදමේ ඓන්ද්‍රීය ලෝකයක ඉඳුරන් සමග ගැටෙන්නෙකි. එනම් සන්සිඳුවාගත නොහැකි හැඟීම් ලෝකයක සැරිසරන්නෙකි. ඔහුගේ කවියේ භෞතිකවාදී පැවැත්ම වන්නේ ද එයයි.

මල් පවාරන සමයක වුවත්
රොන් සුණක මිහිර ශේෂ වුණු
නර කෙසක කතන්දර අස අස
මකාදේවලත් ඇවිද ගිය
කටුසර මලකට උරුම
වාලුකා උර තලක
නිල් මහනෙලක්
හිස තියයි

පැසි පැසී සුසුම්ලන
රත් යබොර කඩිත්තක
පැණි කුරුල්ලෙක්
සිහිල් දිය සනහයි
………………………..

ඒක, ඓන්ද්‍රජාලික ඉසව්වක්
එල්ලුම් ගහෙත්
මල් පිපෙයි.”
(අනියම් – 61, 62 පිටු)

ඉතින් මේ එක් එක් කවි ගැන වෙන වෙනම කතා කරන්නට තව බොහෝ දෑ ඇතත් මේ ලිවීම තව තවත් දිග්ගැස්සෙන බැවින් මෙ තැකින් නවතිමි. පොතුලියද්ද කවියා ගේ “අහස හැඩි වී ඇත” නම් මා වඩාත් ප්‍රිය කරන පළමු කෘතියේ දී මෙන්ම “ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්” නම් මෙම දෙවන කෘතියේ දී ද ඔහු ගේ සාධනීය කවි ලකුණු නොනැසී තිබේ. එබැවින් මිතුර, විප්ලවීය වෙනසක් සහිත කවි රැගත් ඔබ ගේ තෙවෙනි කෘතියක් කෙරෙහි අපේක්ෂා දල්වමින්, මම ඔබට සුබ පතමි.

 

leave a reply