Breaking News

නැව් ගින්න කොරෝනා මර්ධනය හා අස්සයා පැනගියාට පසුව ඉස්තාලය වැසීම

කොළඹ වරාය ආසන්නයේ නවතා තබා තිබියදී ගිණිගැනීමට ලක්වූ එක්ස්ප‍්‍රස් පර්ල් නැව මේ වන විට විශාල පරිසර හානියක් කරමින් මුහුදුබත් වෙමින් තිබේ. මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳ කතා කිරීමට වඩා මෙවන් විනාශයක් වලක්වා ගැනීමට හෝ අවම කරගැනීමට වගකිවයුතු පාර්ෂව අසමත්වූයේ ඇයිදැයි විමසා බැලීමටය. මෙහි දුමාරයක් පිටවීමක් පිළිබඳ තොරතුරු වාර්තාවන්නේ මැයි 15 ආසන්න දිනවලදීය. මැයි 21 වන විට ගින්න මැඩපැවැත්වූ බවට වරාය ඇමතිවරයා ප‍්‍රකාෂ නිකුත්කර තිබුනි. හරියට අපි තමයි හොඳටම කලේ වැනි ආකාරයෙන්මය.ගිණි ගැනීමට හේතු දැන් ඉදිරිපත් කරනවාට වඩා එහි ඇති ද්‍රව්‍යයයන් පිළිබඳ වැටහීමක් මුහුදුරළ සුලං හමන දිසාව වේගය ගැන වැටහීමක් ඇති වගකිව යුත්තන්ට මෙවන් තත්වයක් පුරෝකථනය කර ගැනීමට නොහැකිවූයේ මන්ද තොරතුරු දත්ත හිග කමද නොසැලකිල්ලද එසේත් නැතිනම් කාගේ හෝ අණසකට යටවී කරකියාගත නොහැකි තත්වයකට ඇද වැටීමක්ද දැන් ඒ ගැන නිවේදන නිකුත්කරමින් කරුණු කීමෙන් ඇති පලය කුමක්ද වෙරළට ගොඩ ගැසෙන ද්‍රව්‍ය රැුගෙන යනවුන් සෙවීමට ඩ්‍රෝනා යැවීම හරියට කෝවිඞ් පැතිරීමට ඉඩහැර මුඛ ආවරණ නොපලඳින හෝ සංචරණ සීමා කඩකරන නැතිබැරි වුන් පස්සෙන් පන්නන පොලිස් කාරයන් වගේය. මෙවන් තත්වයක් හමුවේ මිනිසුන් ක‍්‍රියා කරන ආකාරය ගැන මේ රටේ උන්දලාට වැටහීමක් ඇත්තේම නැතිද හැම මංගල්‍යකටම හමුදාව යොදන ආණ්ඩුවට පූර්ව නිරීක්ෂණ මගින් තත්වය වලක්වාගෙන මහජන ජීවිත ආරක්ෂ කරගැනීමේ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදන්නට නොහැකි වූයේ මන්ද වනතම වාර්ථාවන්ට අනුව මෙම නැව ඩුබායි සහ ඉන්දීය වරායන්ගෙන් ප‍්‍රතික්ෂේපවූ බව කියැවෙන අතර එසේනම් ලංකාවේ වරායට පැමිනියේ ඕනෑම කුණු කූඩයක් බේරුවල බොක්කට කීවාසේ ලංකාව මේ වන විට ඇද වැටී ඇති සැබෑ තත්වය නිසාද?

කොරෝනා වසංගත පාලනයට කොරෝනා ප‍්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩපිළිවෙලට සිදුවී තිබෙන්නේද නැවට වූ දේමය. කලින් දැනගෙන වලක්වන්නට පියවර ගතහැකිව තිබියදී එසේ නොකොට පැතිරෙන්නට ඉඩහැර නාහෙන් ඇඞීමය. දැනට ලබාදෙමින් තිබෙන්නේද නොමිලේ ලැබුන එන්නත්ය. එයින්ම එන්නත් ගෙන්වීමේ ආණ්ඩුවේ සැලැස්ම මනාව පැහැදිළි වේ. කෙසේ නමුත් එළඹෙන ඕනෑම තත්වයක් තමන්ගේ වාසියට පෙරළා ගැනීමේ හැකියාව නම් අප පාලකයින්ට තිබේ. කොරෝනාව ගරානාවක් කරගත්තා සේ ඕනෑම විපතක් තම සැපත බවට පෙරළා ගත් අත්දැකීම් ඇති වුන්ට මේ සිදුවීමද වාසි ගෙනදෙන්නක් විය හැක. කලින්ම නැවේ ගැටලූව නිරාකරගන්නට කටයුතු කරනවා වෙනුවට රටට විදේශ විනිමය හිග මේ අවස්ථාවේ හානිපූර්ණයට වන්දි මුදලක් ලබා ගැනීමට සිතුවා වන්නටද බැරි නැත.

පරිසරයට ජීවීන්ට සාමාන්‍ය ජනතාවට සිදුවන විනාශය ඔවුන්ට අදාලම නැත. මොකද ඔවුන් මේ දේශපාලනයට එන්නේම බඩගෝස්තරවාදයට මිස රට ජාතිය පිළිබඳ කැක්කුමකින් නොවේ. එහෙත් හැම විටම එසේ කෑ මොර දෙන්නේ ජනතාව ගොනාට අන්දන්නට යැයි තේරුම් ගැනීමට තවමත් නොහැකි වී තිබෙන්නේ ජනතාවටමය. ඔවුන්ට අවස්ථාව හිමිවන්නේ ටික කලකටය. බලයේ සිටින විට හැකි තරම තර විය යුතුය. බලය නැතිදා දඩාවතේ යන බල්ලන් වැනිය. ඒ නිසා තව කොපමන කලක් අල්ලා සිටිය හැකිදැයි දෙගෙඩියාවෙන් පසුවන ඔවුන් මේ ටික කාලය තුල ගත හැකි ඉහළම සැප ගැනීමට යුහුසුලූ වෙති. කොරෝනා අස්සේ එයට ප‍්‍රමුඛතාවය දී ජනතාව ඉන් ආරක්ෂා කරනවා වෙනුවට කොරෝනා අස්සේ සංවර්ධන නම්වූ කොමිස් ව්‍යාපෘතිද ඇතුලූ සියලූ දේ ක‍්‍රියාත්මක කිරීමට උත්සහ දරයි. කෙසේද යත් මෙවන් ව්‍යසනයක් අවස්ථාවේ පවා මංත‍්‍රී වරුන්ට සැප වාහාන ගෙන්වීමද අත්‍යාවශ්‍ය කටයුත්තක් බව සැලකීම මෙයට කදිම උදාහරණයකි.

කෘෂිකර්මාන්තය කෙරෙහි මැදිහත්වෙමින් තිබෙන ආකාරය ගෙන බැලූවද අන්දෝ සංසාරයක් නැත. ගොවීන්ගේ අවශ්‍යතාවයන් සැපිරීමේ සිට අස්වැන්න විනාශවී නොදී රැුක ගැනීමට හෝ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැලැස්මකින් පාලනයකින් යුතුව සැපයීමට අදාල කිසිදු වැඩ පිළිවෙලක්ද නැත. රසායන පොහොර සහ යෙදවුම් තහනම හා කාබනික පොහොර භාවිත කතා වස්තුව ඊට කදිම උදාහරණ සමයයි. කාබනික පොහොර අවශ්‍යතාවය සැපයීම ගැන උපදෙස් ලබා දෙන්නේ දැන්ය. ඒ වන විට ගොවීන්ට වන්නට ඕන දේ සිදුවී හමාරය. අපට එසේ හැගුනත් කෘෂි කර්මය හා යෙදවුම් පිළිබඳ ඔවුන්ගේම වූ සැලසුමක් තිබේ. ඒ ගොවි ජනයා ඉන් පිටමන් කර මහාපරිමාණ ප‍්‍රාග්ධන හිමියන් අතට පත්කිරීමය.

ඒ නිසා වැරැද්ද ඇත්තේ ඔවුන් අත නොව අප අතේමය. වසර 73ක් තිස්සේ රට පාලනය කලවුන් අපට ඉතිරිකර ඇත්තේ කුමන වර්ගයේ රටක්ද යන්න අද වන විට සියලූ ජනතාවට මනාව වැටහිය යුතුය. අවසානයේ ඇඳිවත පවා විකුණා දමන තත්වයට අප රට පත්කොට ඇත. ඒ විතරද මේ වන විට අපේ ස්වෛරීභාවය හා නිදහස පවා පාවාදෙමින් අප රට ලෝක බලවතුන්ගේ පිළිකන්නක් බවට පත්කර නොමැතිද?

ඉතින් ඔවුනට දොස් පවරා පලක් නැත. වැරැුද්ද ඇත්තේ අප අතේමය. වරින් වර අප ඉදිරියට එනවුන් බදා වැලඳගෙන ඔවුන් බලයට පත් කරන්නේද අද අනේ අපොයි කියා වැලලෙන්නට හදන ජනතාවමය. ඒ නිසා අපිට ඇත්තේ පාලකයින්ගෙන් ඉල්ලීම් කරන්නට නොවේ. කල යුත්තේ ජනතාව ලෙස අපට සිදුවී ඇතිදේ වටහා ගැනීමය. හෙට දවසේ කලයුතු කාර්යය ගැන සිතා තමන්ගේ ඉරණම තමන් අතට ගැනීමට කටයුතු කිරීමය.

තීමස් විජිත්

leave a reply