Breaking News

ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලියට ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය ලංකාවේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම යෝජනාවලියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.

‘මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡාවලට ශ්‍රී ලංකාව සහභාගී වූයේ, විවෘත හා ඵලදායී මැදිහත්වීමක ස්වභාවයකින් වන අතර, මෙම කවුන්සිලය සමග අපගේ අන්තර්ක්‍රියාවලදී අප එය පෙන්නුම් කර ඇත.

ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද භාෂා සංශෝධන සම්බන්ධයෙන් ප්‍රධාන කණ්ඩායමේ මැදිහත්වීම අපි අගය කරමු. කෙසේ වෙතත්, අපට ඇති ඇතැම් ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් එකඟතාවක් සොයා ගැනීමට නොහැකි වීම ගැන අපි කනගාටු වෙමු.

කෙටුම්පත් පෙළට ඵලදායී සහභාගීත්වය සඳහා සියලු ම නියෝජිතයින්ට අපි ස්තූතිවන්ත වන අතර, අවිධිමත් උපදේශන සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලදී ධනාත්මක යෝජනා ඉදිරිපත් කළ රටවලට ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉතා අවංකව ස්තූති කිරීමට කැමති යි.

ශ්‍රී ලංකාව ආරම්භයේ සිට ම ප්‍රධාන කණ්ඩායම දක්වා පෙන්වා දී ඇති පරිදි, යෝජනාවලිය සම්බන්ධයෙන් අපගේ මූලික ගැටලුව වන්නේ, 2022 දී 51/1 යෝජනාවට යොමු කිරීම වන අතර එය OHCHR තුළ ශ්‍රී ලංකාව පිළිබඳ බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය දක්වයි. එය අපගේ දැක්ම අනුව කවුන්සිලයේ බලතලවල පෙර නොවූ විරූ සහ තාවකාලික ව්‍යාප්තියකි.

සැප්තැම්බර් 8 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයට සහභාගී වෙමින්, විදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා, අපගේ ම ජනතාවගේ අවශ්‍යතා සඳහා සංහිඳියාව සහ මානව හිමිකම් සඳහා සැබෑ කැපවීම මත පදනම්ව දේශීය ආයතන ශක්තිමත් කිරීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කරන අවස්ථාවක, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් පිහිටුවන ලද බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව පිළිනොගන්නා බව නැවත අවධාරණය කළේ ය. දැනට ක්‍රියාත්මක වන දේශීය ක්‍රියාවලීන් අතරට අතුරුදන්වූවන් සහ වන්දි ගෙවීමේ ස්වාධීන කාර්යාල සහ ජාතික එක්සත්කම සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ශක්තිමත් කිරීම මෙන් ම සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමක් සහ ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව මෙන් ම තවත් බොහෝ රටවල්, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ මෙම ව්‍යාපෘතිය ස්ථාපනය කළ ආකාරය, එහි කටයුතු සහ අයවැය ඒ සඳහා වෙන් කළ ආකාරය පිළිබඳ විශ්වසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳව නැවත නැවතත් ප්‍රශ්න කර ඇත. එහි පැවැත්මෙන් වසර 4කට පසුවත්, මෙම කවුන්සිලය තවමත් ශ්‍රී ලංකාවේ ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් ලැබුණු කිසිදු ප්‍රතිලාභයක් දැක නැත. මෙය මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ අන්තර්ගතයෙන් ද පැහැදිලිව පෙනේ. එහි නියෝගය දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවේ බෙදීම් ඇති කිරීමට සහ ප්‍රජාවන් බෙදීමට උත්සහ කරන පාර්ශව සඳහා පමණක් සේවය කරනු ඇති අතර, එක්සත්කම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ උත්සහයන්ට විරුද්ධ ප්‍රතිඵලයක් අත් වනු ඇත.

මානව හිමිකම් සම්බන්ධ කරුණු ආමන්ත්‍රණය කිරීම සඳහා සැබෑ ජාතික අයිතිය සහිත ක්‍රියාවලීන් වඩාත් සුදුසු බව අපි තරයේ විශ්වාස කරමු. ජාතික ක්‍රියාවලීන් දේශීය සන්දර්භය තුළ මුල් බැස ඇති අතර, වැඩි හිමිකාරිත්වයක් සඳහා ඉඩ සලසයි, අද්විතීය සංවේදීතාවන් හඳුනා ගනී, සහ ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කරයි.

මෙම වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට ශ්‍රී ලංකා සමාජයේ සියලු ම පාර්ශව හරහා “වෙනස් වීමේ වේගය” සහ “ගැටලු විසඳීමට රජයේ සැබෑ විවෘතභාවය” අත්විඳීමට අවස්ථාව ලැබිණි. මෙම කවුන්සිලයට ඉදිරිපත් කළ සිය වාර්තාවේදී ද මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් ඇති බව ය. මෙම කවුන්සිලයට කළ ප්‍රකාශයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දක්වා ඇති පරිදි, ඉතා කෙටි කාලයක් තුළ, රජය සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්පර්ශ්‍ය හා තීරණාත්මක පියවර මාලාවක් ගෙන ඇත. එබැවින්, දේශීය ක්‍රියාවලීන් හරහා තමන්ගේ ම ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ දීම සාධාරණ වේ.

මෙම හේතූන් නිසා, අපි ජාත්‍යන්තර බලහත්කාර ක්‍රියාමාර්ග සමග එකඟ නොවන අතර, මෙම කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 60/L.1/Rev.1 යෝජනාවලිය අපි ප්‍රතික්ෂේප කරමු.’

leave a reply