Breaking News

ගංජා සමඟ අත්අඩංගුවට ගත් දේශබන්ධුගේ ගෝලයා සිසිල කුමාරගේ පැටිකිරිය

නිදන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝ 23ක් සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස මොණරාගල පොලිස් කොට්ඨාසයේ පොලිස් දිස්ත්‍රික්කය (ASP රේන්ජ්) භාරව කටයුතු කරද්දී ලැබුණු පෙත්සමකට අනුව ස්ථාන මාරු කර තිබියදී බව වෙත වාර්තා වනවා.

එම පෙත්සම ලැබී ඇත්තේද සිසිල කුමාර හේරත්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වන අතර පෙත්සම ගැන විමර්ශනය කරන ලෙස එවකට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් මත ඔහු යටතේ සිටි පොලිස් අධිකාරීවරයකු ලවා ඒ ගැන විමර්ශනයක් කර තිබෙනවා.

එම දීර්ඝ විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ පෙත්සමේ ඇති කරුණ සත්‍ය බවයි.

ඒ අනුව විමර්ශන නිලධාරීගේ සහ නියෝජ්‍ය පොලිස්පතිගේ ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ නිර්දේශය වූයේ මොණරාගල දිසාවෙන් සිසිල කුමාර හේරත් වහාම ස්ථාන මාරු කිරීමයි.

පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඔහු ස්ථාන මාරු කළ බවත්, පසුව කොළඹ උතුර ගම්පහ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරන සමයේදී මීගමුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සිසිල කුමාර හේරත් පත්වූ බවයි.

සහාරන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු මීගමුවේ කිතුණු දේවස්ථානයකට 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ සමයේදී ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළේ සිසිල කුමාර හේරත්ය.

පාස්කු ප්‍රහාරය ගැන රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නමද ඇති අතර ඔහුට එරෙහිව ද චෝදනා පත්‍රයක් ලබාදෙන ලෙස මීට පෙර පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කළා.

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර ගැන මෙසේ සඳහන්වේ.
‘ඔහු ආගමික අන්තවාදය හා අල්කයිඩා සම්බන්ධයෙන් තුර්කියේ පාඨමාලවක් සඳහා සහභාගී වූ බැවින් පලපුරුදු නිලධාරියෙකි. සී 365 සහ 375 සමඟ සී4 අ, ආ, ඇ, තොරතුරු ඔහුට ලැබිණි. කෙසේ වෙතත් ඔහු තොරතුරු ස්ථානාධිපතිවරුන්ට යවා නැත. ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරලගෙන් ඇමතුමක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු යටතේ ඇති පොලිස් ස්ථාන නිසි ලෙස පාලනය කර නොතිබිණි. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.’
( පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සිංහල පිටපතෙහි 355 පිටුව)

එවකට වැඩ බලන පොලිස්පති ලෙස සිටි වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න එම නිර්දේශය, කෙටුම්පත් කරන ලද චෝදනා පත්‍රද සමඟ ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කර තිබුණා.

ජාතික පොලිස් කොමිෂන් සභාව 2020 ජනවාරි මාසයේදී රැස්වී තීන්දු කළේ ඒ වන විට පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කර ඇති නිසා එහි වාර්තාව ලැබෙන තෙක් චෝදනා පත්‍ර කෙටුම්පත් ලබා නොදී බහා තැබීමටයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලැබෙන විට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තිබුණු අතර එමගින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරීම සිදුවුණා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වසරකට පමණ පසු එම චෝදනා පත්‍ර සිසිල කුමාර හේරත්, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට ලබා දීම සඳහා මහජන සාමය අමාත්‍යංශය වෙත එවා තිබුණද අමාත්‍යංශය මගින් ඒවා ලබාදීම සිදු කර තිබුණේ නැහැ.

පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම සඳහා මහා නාහිමිවරුන්ට කන්නලව් කිරීමට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමඟ ගිය කණ්ඩායමේ සිසිල කුමාර හේරත් ද සාමාජිකයකු වන අතර මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූයේ ද ඔහු විසිනි.

එමෙන්ම මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස සෝදිසි කර ඇත්තේ කංසා සොයා බැලීමට නොව මොණරාගල ප්‍රදේශයේ නිධන් හාරන සිදුවීමක් ගැන පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙස යැයි විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

එනම් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එහි සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් මොනරාගල ප්‍රදේශයේදී පාරේ ගමන් කළ වාහනයක් පරීක්ෂා කර තිබෙන අතර එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් සිට තිබෙනවා.

එම වාහනයේ සිටි පිරිස ගැන සැක බැවින් ඔවුන් තම බාරයට ගත් විශේෂ කාර්ය බළකාය ඔවුන් රැගෙන ගොස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නිල නිවස පරීක්ෂා කර තිබුණා.

එලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස පරීක්ෂා කරද්දි කංසා පැලවලට අමතරව පොළව යට තිබෙන ලෝහ වැනි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට භාවිත කරන ස්කෑන් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

තවත් කංසා තොගයක් අතුරුදන්?
වැටලීම කළ නිලධාරීන් ටැක්ටරයක් පිරෙන්නට කංසා පැල එවූවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ තිබූ හමුවූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කංසා පැල 650ක ප්‍රමාණයක් පමණි. එනම් කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.
ටැක්ටරයක් පිරෙන්නට කංසා පැල හේනෙන් පටවා එවූයේ නම් එහි අඩු තරමේ කිලෝ 30කට අධික කංසා පැල 2000කට වැඩි ප්‍රමාණයක් තිබිය යුතු වුවද, නඩු භාණ්ඩ ලෙස ඇතිමලේ පොලිසිය ලකුණු කළ ගස් 230ත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නිවසෙන් සොයා ගත් බව කියන ගස් 650ටත් අමතරව ඉතිරි ප්‍රමාණය ගැන මේ වන විටත් බරපතල සැකයක් මතුවී තිබේ.

වැසිකිලි සෙල්ලම
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් මෑතක එල්ලවූ තවත් බරපතල චෝදනාවක් වූයේ මොණරාගල කොට්ඨාසයේ පොලිසිවල වැසිකිලි ඉදි කිරීමට ලැබුණු මුදල් අවභාවිත කළ බවටයි. එනම් පොලිසිවල වැසිකිලි පද්ධති ඉදි කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇති බවත්, මොණරාගල කොට්ඨාසයේ පොලිසිවල වැසිකිලි පද්ධති 10ක් පමණ ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්වී ඇති බවත්, ඒ අනුව මෙම කොට්ඨාසයේ වැසිකිලි පද්ධති ඉදි කර ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් බඩු භාණ්ඩ ගෙන පොලිස් නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් බවටත් බව දැනගන්නට තිබේ.
වැසිකිලි කාරණාව ගැන විමසීමේදි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන කරගෙන යන බවයි.

(Medialk.com වෙබ් අඩවියේ ලිපියක් ඇසුරින්)

 

leave a reply