මෙයට වසර 117කට පෙර අමෙරිකාවේ නිව්යෝක් නගරයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කාන්තාවන් පිරිසක් දිනකට පැය 16ක් වැඩ කිරීමට බල කළ කර්මාන්තශාලා හිමියන්ට එරෙහිව විදිබැසීම නැතහොත් අරගලයක නිරත වීම පාදක කොටගෙන ජාත්‍යන්තර කාන්තා දිනය බිහි විය. 1908 මාර්තු 08වන දින මේ කාන්තා වීදි සටන අවසානයේ ඔවුහු දිනකට පැය 10ක වැඩ මුරයක් දිනා ගත්හ. මේ ජයග්‍රහණයේ ආස්වාදය ලොව පුරා විහිදෙන්නට පටන්ගත් පසු ලෝකයේ හැම කාර්මාන්ත ශාලා හිමියෙකුටම පැය 10ක වැඩ මුරය පිළිගන්නට සිදු විය. මෙය හුදු කම්කරු කාන්තාවන් පිරිසක් එකතු වී විදීබැසීමක ප්‍රතිඵලයක් ලෙස ලැබූ ජයග්‍රහණයක් නොවේ. මේ සටනට නායකත්වය දුන්නේ එවකට අමෙරිකාවේ පැවැති සමාජවාදී පක්ෂයයි. එපමණක් නොව, ඇගළුම් කම්හල්වලට ලැබෙන ඇණවුම් නිසි වේලාවට සැපයීමට නොහැකි වුවහොත් කර්මාන්ත හිමියන්ට ඇගළුම් කෝටා අහිමි වීමේ අවදානමත් මෙහිදී තීරණාත්මක සාධකයක් විය. 1910 ඩෙන්මාක්හි කෝපන්හෙගන් අගනගරයේ පැවැති කොමියුනිස්ට්වාදීන්ගේ දෙවන ජාත්‍යන්තර සම්මේලෙනයේදී ක්ලාරා සෙට්කින් සහෝදරියගේ යෝජනාවක් අනුව අතිවිශාල කාන්තා සහභාගිත්වයකින් යුතුව සිදුවූ මේ නැගිටීම සමරන්නට මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත් මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලබන්නේ 1975 දීය.
ඉහත ආකාරයේ පුර්විකාවක් කාන්තා දිනය හා සම්බන්ධ ලිපි සිය ගණනක ලියැවී තිබිය හැක. නමුත් මේ ලිපියේ අරමුණ ජාත්න්තර කාන්තා දිනය සම්බන්ධව ඓතිහාසික කරුණු පැහැදිලි කිරීම නොව, වත්මන් සියවසේ කාන්තා ක්‍රියාකාරිනියන්ගේ වගකීම පිළිබඳව යම් සංවාදයක් මතු කර ගැනීමය. අප අද අත්විදින ලෝකය පුරුෂ මූලික දෘෂ්ටියට අභියෝග එල්ලවෙමින් පවතින ලෝකයකි. එනම් පිරිමින් විසින් ප්‍රතිපත්ති හාදන තීරණ ගන්න සැලසුම් කරන ලෝකය ප්‍රශ්න කරමින් පවතින ලෝකයකි. පිරිමින්ගේ ලෝකයට අනුව කාන්තා දිනය සැමරුමකට එහා යෑම තහංචි බිඳ දැමීමකි.
18 වන සියවස වන විට යුරෝපයේ ස්ත්‍රීවාදී කතිකාව පැන නැගෙමින් පැවතුණි. ඒ කතිකාවේ ප්‍රතිඵලයක් ලෙස සමානාත්මතාව හා කාන්තා අයිතිවාසිකම් පිළිබද කතිකාවත් කරළියට පැමිණියේය. ඒ අනුව, 1908 දී වීදි බැස මේ සම්ප්‍රදාය බිඳ දැමූයේ එතෙක් ලද-බොලඳ, අහිංසක හා දුර්වල ලෙස අර්ථ ගන්වා සිටි ස්ත්‍රීන්ය. එය, අදින් සියවසකටත් එපිට කාලයක පැවති පුරුෂ මූලිකත්වය රජ කළ සමාජය වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකි. මන්ද යත්, එවකට කාන්තාවක්ට ජීවත් වෙන්න සිදුව තිබුණේ පිරිමින්ට යටත්වය. එවකට පිරිමින් විසින් කාන්තාවට රැකවලාගේ, ආරක්ෂකයාගේ හා සැපයුම්කරුවාගේ කාර්ය ඉටු කරන ලදී. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නට ඇයට බල කළ තත්වය ඉක්මවා 1908දී ඇගළුම් කම්හල් කාන්තාවන් පිරිසක් ඒ තහංචිය බිඳ දැමූහ.
අද, සියවසකට පසු තවදුරටත් එම පුරුෂ මූලික බල සබඳතා බිඳ වැටෙමින් පවතී. කාය ශක්තිය අධි නිශ්චය කරමින් දඩයම් කර ආහාර සැපයුම් රැගෙන එනතුරු, නැතිනම් යුද්ද කර භූමිය අත්පත් කරගෙන එන තෙක් වාසස්ථානයට වී ළමයින් නඩත්තු කරමින්, රැකබලා ගනිමින්, ඉන්න බල කළ අතීතය වියැකෙමින් පවතී. පිරිමින් සතුව තිබුණු කුටුම්භ සැපයුම්කරුවාගේ භූමිකාව වෙළෙඳපොළ විසින් අත්පත් කර ගෙන තිබේ. එසේම නිවෙස් අවකාශයේ කොටු වී සිටි කාන්තාව ධනවාදය විසින් නිෂ්පාදන අවකාශයකට කැදවා ඇත. හදන වඩන, උයන පිහන, රෙදි සෝදන කාර්යයන්, සුරැකුම් මධ්‍යස්ථාන හා තාක්ෂණික උපකරණ මගින් අත්පත් කරගෙන තිබේ. ඊට සමගාමීව වත්මන් පරපුරේ තරුණියන් විසින් දරුවන් බිහිකිරීමේ කාර්යය පවා ප්‍රතික්ෂෙප කරමින් පවතී. උදාහරණ ලෙස සිංගප්පුරුවන් ලැබෙන ඇතැම් වාර්තා පවසන්නේ එරට ස්ත්‍රීන්ගෙන් බහුතරයක් මේ වන විට විවාහය ප්‍රතික්ෂේප කරන බවයි.
ඇතැම් ස්ත්‍රීන් පිරිමින් විරහිත පවුල් ගොඩනගා ගැනීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. 1980 දශකයෙන් පසු ලංකාවේ ස්ත්‍රීන් විදේශගතවීම, ලාංකීය ඇගලුම් ශ්‍රම වෙළෙඳපොළට කැඳවීම හරහා පවුලේ සැපයුම්කාරිය නැතහොත් ආදායම් උත්පාදකයා බවට පත්වෙලා තිබේ. මේ තත්වය හමුවේ පිරිමින් සැසිරෙන්නේ යම් ආකාරයකට අනන්‍යතා රැක ගැනීමේ අර්බුදයකය. පිරිමින්ට සිදුවන්නේ එක්කෝ නම්‍යශිලි වී සුහදව මේ තත්වයට අනුගත වී ගැහැනු සමග සාමකාමී සහජීවනයකට යන්නටය. නැතහොත් සිදුවන්නේ ඊට එරෙහිව යුද ප්‍රකාශ කර සමාජය ආකූල ව්‍යාකූල තත්වයකට ඇද දැමීමේ වගඋත්තරකරුවා බවට පත් වීමටය. මේ ආකාරයෙන් සරලමතික ලෙස මේ යථාර්ථයෙන් පියමං කළ හැකි ද ?
මේ සම්බන්ධව යම් තීරණයකට එළඹීමට පෙර වත්මන් මොහොත පිළිබඳ යම් අධ්‍යයනයක් කිරීම අනිවාර්ය වේ. වත්මන් මොහොත යනු එක් පසකින් නව තාක්ෂණය දියුණුවෙමින් බෝහෝ සමාජ කාර්යයන් යාන්ත්‍රීකරණය වෙමින් මිනිස් ශ්‍රමයේ අවශ්‍යතාව හීනවෙමින් පවතින මොහොතකි. එසේම උපතේ සිට මරණය දක්වා සමාජ විඥානය සමාගම් ජාලයක් විසින් හසුරු වන මොහොතකි. එපමණක් නොව, මෙය මුළුමහත් සමාජය විසින් පවතින සමාජ ආර්ථික පැවැත්මේ වෙනසක් අයදින සංක්‍රාන්තික සමාජ මොහොතකි.
අනෙක් පසින් මෙම නව තත්වයට ගව් ගණනාවක් පිටු පිසින් සිටින, ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන් විසින් කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා අහිමි කරයි. පිරිමින්ගේ රැකවරණයෙන් තොරව මහ මග ගමන් කිරීමට පවා ඉඩ නොදෙන, වටපිටාවකි. හිජාබය නොපැලඳ සිටීම මේ හේතුවෙන් මාෂා අමිනි ඉරානයේ සදාචාර පොලීසිය විසින් මරා දමන වටපිටාවකි. චිකාගෝ වැනි නගරවල සෑම විනාඩියකම කාන්තාවක අපයෝජනයට ලක් වන වටපිටාවක් සහිත එක ලොවක දෙලොවකි.
මේ දෙලොව අතර අතරමං නොවී දෙගිඩියාවකින් තොරව සමාජයට මග කීම වත්මන් කාන්කා ක්‍රියාකාරිනියන්ගේ වගකීමයි. මෙම ධනේශ්වර ඉන්ද්‍රජාලයන්ගෙන් දෑස් නිලකාර කරගෙන අයාලේ අතපත ගාන වත්මන් තාරුණ්‍යයට ආමන්ත්‍රණය කිරීමේදී හුදු කාන්තා පීඩනයේ සටන් පාඨ පමණක් කරපින්නාගෙන යාම කොතරම් දුරට තාර්කික ද? ඒ සඳහා නව මං විවර කර ගැනීමේ අවශ්‍යතාවක් ඇත. යුක්තිසහගත, ගෞරවාන්විත සහජීවන මිනිස් සමාජයක පැවැත්ම ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? යන්න පිළිබඳ කතිකාවක අනිවාර්ය අවශ්‍යතාව දැන් පැනනැගී ඇත. ඒ සඳහා ඔබ සූදානම්ද?