Breaking News

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ රුසියානු පිළිවෙතට, නේටෝ ප්‍රකෝපකාරීත්වයන්ට එරෙහිව වෙමු !

යුක්‍රේන අර්බුදය පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නිවේදනය

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ රුසියානු පිළිවෙතට සහ නේටෝ සංවිධානයේ ප්‍රකෝපකාරීත්වයන්ට එරෙහිව ජනතා සහයෝගීතාවයක් ගොඩ නගමු!

මේ වනවිට රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුළු වී දරුණු ජනඝාතක යුද්ධයකට ආරම්භය ලබා දී තිබේ. යුක්‍රේනය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය-යුරෝපා සංගමය ප්‍රමුඛ කඳවුරත් රුසියාව ප්‍රමුඛ කඳවුරත් අතර ඇතිවන මිලිටරි ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වුව වර්ධනය වීමේ අවකාශයක් ඇති බැවින් මෙම යුද අන්තරාය බැරෑරුම් ලෙස අවධානයට යොමු කළ යුතුව තිබේ. යුද්ධය වහා නතර කළ යුතු බවත්, රුසියාව වහාම සිය ආක්‍රමණික හමුදා යුක්‍රේනයෙන් ඉවත් කළ යුතු බවත් අපි බළකොට කියා සිටිමු. නේටෝ සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදයත්, ජර්මනිය ප්‍රමුඛ බටහිර යුරෝපා රටවලුත් විසින් කවර ප්‍රකෝපකාරීත්වයක් ප්‍රදර්ශනය කළද එමගින් ආක්‍රමණික යුද්ධයක් යුක්තියුක්ත වන්නේ නැත. එමෙන්ම යුක්‍රේනයේ වත්මන් පාලනය වන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කිගේ පාලනයේ ජාතිවාදී හා නව නාසිවාදී මර්දනීය පිළිවෙත විසින් පවා ආක්‍රමණික යුද්ධයක් සාධාරණීකරණය වන්නේ නැත. මෙවැනි යුදමය මැදිහත්වීමක් විසින් සිදුවන්නේ රුසියාවේ සහ යුක්‍රේනයේ වැඩකරන ජනතාවන් අතර තියුණු බෙදීමක් සහ පසමිතුරුතාවයක් ගොඩ නැගීම වන අතර එය නේටෝ උපයමාර්ගයේම කොටසක් මිස ඊට එරෙහි විකල්පය නොවේ. එබැවින් යුද්ධයක් සහ යුක්‍රේනය ආක්‍රමණය සඳහා රුසියාවේ ව්ලැදිමීර් පුටින් පාලනය ගත් ක්‍රියාමාර්ගය අපි තරයේ හෙලා දකින අතර යුද්ධය වහාම නතර කිරීමට බල කරමු.

ආක්‍රමණික යුද්ධයක් ඇති කිරීමේ තනි වගකීමක් රුසියානු පාලනයට පමණක් පැවරිය නොහැක්කේ ඒ සඳහා දීර්ඝ කාලයක සිට නේටෝ යුද හවුල විසින් කළ ක්‍රියාකාරකම් වල සම්බන්ධයක් ඇති බැවිනි. ඇමරිකා එක්සත් ජනපදයේත්, ජර්මනියේත්, එම අධිරාජ්‍යවාදී කඳවුරේ අනෙක් රටවලත් උපායමාර්ගය වන්නේ රුසියාව සතුරු රාජ්‍ය වළල්ලකින් වට කර හුදෙකලා කිරීම සහ නැගෙනහිර යුරෝපා රටවල නේටෝ යුද අවි සහ හමුදා ස්ථානගත කිරීමයි. එවැන්නක් රුසියාවේ ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල කරන බවට විවාදයක් නැත. ආසන්න සිදුවීම වනුයේ රුසියාවට යාබද යුක්‍රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට හෙවත් නේටෝ සංවිධානයට සම්බන්ධ කරගෙන එහි දේශසීමා ඔස්සේ රුසියාවට එරෙහි යුදමය තර්ජනයක් එල්ල කිරීමට ගත් උත්සාහයයි. දැනටමත් ඔවුන් රුසියාවට එරෙහි යුදමය තර්ජනයක් එල්ල කිරීමට නේටෝ සාමාජිකයින් වන පෝලන්තය, රුමේනියාව, එස්තෝනියාව, ලිතුවේනියාව සහ ලැට්වියාව යන රටවල මිලිටරි මැදිහත්වීම් කරමින් සිටී. ඒ අතර යුක්‍රේනය පාලමක් කර ගනිමින් රුසියාව තර්ජනයට ලක් කිරීම නේටෝ ක්‍රියාමාර්ගය බව පෙනේ. එබැවින් රුසියාවට යුද්ධය නතර කිරීමට බලපෑම් කිරීමේ වියුක්ත සටන්පාඨ වලින් පලක් නැත. නැගෙනහිර යුරෝපා කලාපයේ, බෝල්ටික් ප්‍රදේශයේ හා මධ්‍යම ආසියාවේ නේටෝ සංවිධානයත්, ඇමරිකා එක්සත් ජනපදයත්, යුරෝපා බලවතුනුත් සිදු කරන ආධිපත්‍යධාරී, ව්‍යාප්තවාදී, තර්ජනාත්මක මිලිටරි ක්‍රියාකාරකම් වහා නතර කළ යුතුය. නේටෝ ඇතුළු අධිරාජ්‍යවාදී යුද සංවිධාන විසුරුවා හැරීමට බලකරන ජාත්‍යන්තර ජනතා බලයක්, අධිරාජ්‍යවිරෝධීන්ගේ – ප්‍රගතිශීලීන්ගේ – ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පුළුල් ජාත්‍යන්තර ව්‍යාපාරයක් අවශ්‍ය වේ. අන්තර්-අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය සහ ගෝලීය බලවතුන්ගේත්, කලාපීය බලවතුන්ගේත් බල අරගල විනාශකාරී, ජන සංහාරක තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීම වලක්වාලිය හැක්කේ එලෙස පමණි.

යුක්‍රේනයේ යුද්ධය තුළ අවදානමට මුහුණදී සිටින යුක්‍රේනයේ වෙසෙන ලාංකික ශ්‍රමිකයන්ගේ හා ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව කරඇති මැදිහත්වීම කිසිසේත් ප්‍රමාණවත් නැති අතර ඒ සියල්ලන්ගේ ජීවිත වල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව අපි තරයේ අවධාරණය කර සිටිමු.

නැගෙනහිර යුරෝපා කලාපයේ මෙන්ම ඉන්දියානු සාගරයද ඇතුළු ලොව බොහෝ කලාප වල උද්ගත වී තිබෙන යුද ආතතිය සමග ලෝක හා කලාපීය බලවතුන්ගේ ප්‍රාග්ධන අභිලාෂයන් සහ ආර්ථික තරඟය සම්බන්ධිතව තිබේ. එමෙන්ම එය දේශපාලන බලය තහවුරු කර ගැනීමේ හා යුදමය වශයෙන් උපායමාර්ගිකව වැදගත් ස්ථාන අත්පත් කර ගැනීමේ බලපොරය සමග සම්බන්ධිතය. ලෝක ජනතාව ජන සංහාරක යුද්ධයක ගොදුරු බවට පත්වීමේ ඛේදවාචකයට තිත තැබිය හැක්කේ මෙකී ආර්ථික-දේශපාලන-මිලිටරි ප්‍රතිවිරෝධයන් මුලිනුපුටා දැමීමෙන් පමණි. ඒ සඳහා වන ජාත්‍යන්තර පරිමාණ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ පළමු පියවර ලෙස වත්මන් අර්බුදයට ලෝකයේම වැඩකරන ජනතාව ප්‍රමුඛ පීඩාවට පත් වන්නන්, යුද්ධයේ ගොදුරු බවට පත්වන්නන් සක්‍රියව මැදිහත් විය යුතුය. එමෙන්ම යුද්ධය දිගු කාලයක් පැවතීම නිසා දැනට ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයන්ට සියරට යාම අපහසු වන්නේනම් ඔවුන් සම්බන්ධයෙන්ද විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම භාර ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. නේටෝ යුද තර්ජන වලට, ඇමරිකා එක්සත් ජනපදයේ හා බටහිර යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල මිලිටරි බලහත්කාරයට, රුසියාවේ ආක්‍රමණික යුද්ධයට එරෙහිව රුසියාවෙත් යුක්‍රේනයේත් වැඩකරන ජනතාව ප්‍රමුඛ ජනකොටස් වල සමගිය හා ඒකාබද්ධතාව වර්ධනය කරන ලෙස එම දෙරටේම ජනතාවගෙන් ඉල්ලා සිටින අපි අධිරාජ්‍යවාදී යුද අවදානමට එරෙහි ලෝක පරිමාණ බලයක් ගොඩ නැගීමට ලොව පුරා ප්‍රගතිශීලීන්ට ආරාධනා කරමු. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස ලංකාවේ ජනතාවගෙන්ද ඉල්ලා සිටිමු.
මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2022 පෙබරවාරි 28

leave a reply