සෞඛ්‍යට බලපාන විවිධ මාතෘකා අවධාරණය කරමින් 1950 සිට වාර්ෂිකව ක්‍රියාත්මකවන ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් 7වන දිනට යෙදී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 වසරේ ලෝක සෞඛ්‍ය දින තේමාව ලෙස “සාධාරණ සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගීම” (Building a fairer, healthier world) තෝරාගෙන ඇත. රටවල් අතර මෙන්ම ඇතැම් රටවල් අභ්‍යන්තරයේ විවිධ ජන කොටස් අතරද පවතින කායික සහ මානසික සෞඛ්‍ය මට්ටම්වල පවතින දැවැන්ත පරතරය, ඊට බලපාන හේතු, එවැනි විෂමතාවන් හේතුවෙන් ඇතිව තිබෙන සමාජ ආර්ථික ගැටළු සහ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිවීම් මෙන්ම සෞඛ්‍ය විෂමතාවන් සමනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහි ලෝක ප්‍රජාවගේ විශේෂයෙන්ම ඒ ඒ රටවල දේශපාලන නායකත්වයේ අවධානය යොමු කිරීම මෙම තේමාවෙන් අපේක්ෂා කෙරේ.
මිනිස් ජීවයක් මව්කුස තුල පිළිසිද ගන්නේ කායික සහ මානසික වශයෙන් නිරෝගීව අවම වශයෙන් දශක අටක් නවයක් පමණ කාලයක් ජීවත්වීමට හැකි ස්වභාවික විභවයක් සමගය. එහෙත් එම විභවය යථාර්තයක් බවට පත්වන්නේ ඊට අනුබල ලැබෙන සමාජ, ආර්ථික සහ පාරිසරික තත්ත්වයන් (Determinants of health) යම් සමාජයක් විසින් නිසියාකාරයෙන් ගොඩනගාගෙන දිගුකලක් පවත්වාගෙනයනු ලැබුවහොත් පමණි. සමාජ ආර්ථික තත්ත්වයන්ගේ පවතින විෂමතාව හේතුවෙන් දරිද්‍රතාවෙන් පෙලෙන අප්‍රිකානු කලාපයේ ජීවත්වන පුද්ගලයකුගේ උපතේදී අපේක්ෂිත ආයුකාලය අවුරුදු 53කට පමණ සීමාවනවිට ජපානය වැනි රටවල එය අවුරුදු 83ක් පමණ වේ. වසර තිහක් පමණ වැඩිපුර ජීවත්වීමට ඇති වාසනාව හා මානව අයිතිය අහිමිවන්නේ එම රටවල පවතින අසංවර්ධිත දේශපාලනික, සංස්කෘතිකමය, සමාජමය සහ ආර්ථික සාධකයන් හේතුවෙනි.
ශ්‍රී ලංකාවතුලද බරපතල සෞඛ්‍ය විෂමතාවක් වර්ධනය වෙමින් පවතී. දේශපාලනික, ආර්ථික හෝ සමාජමය වශයෙන් වරප්‍රසාදලාභී පිරිසක් සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් අවාසිදායක තැනක ස්ථානගතව ඇති මිලියන ගණනකට සාපේක්ෂව ඉහල සෞඛ්‍ය මට්ටමක් භුක්ති විදීමින් සිටී. එසේ වන්නේ මිලියන විසි එකකට අධික සියළු ජනතාවටම ඉතා ඉහල මානසික හා කායික සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විදීමින් දිගු ජීවිත ගත කිරීමට ඉවහල්වන ජෛව විද්‍යත්මක විභවය පවතින තත්ත්වය තුල වීම බරපතල ගැටළුවකි.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය සාධක රාශිය අතර සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්වය ප්‍රමුඛ තැනක් ගනී. වරප්‍රසාදලාභි සුළු පිරිසක් සිය සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් බොහෝවිට මහජන මුදල්ද වැය කරමින් ලෝකයේ ඉහලම පිලිගැනීමක් ඇති ඇමරිකාවේ ජොන් හොප්කින්ස් හෝ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් වැනි රෝහල්වලට ඇතුලත්වන අතර පහල ස්ථරවල වෙසෙන ලක්ෂ ගණනකට ඇතැම්විට අවම පහසුකම් සහිත ප්‍රාදේශිය රෝහලක සේවාව හෝ නොලැබි යයි. අනේකවිධ කායික මානසික රෝගාබාධයන්ට ගොදුරුවී අඩු ගුනාත්මක බවින් යුත් ජීවිතගත කිරීමට හෝ අඩුවයසින් මරණයට ගොදුරුවීමට මිලියන ගනනකට සිදුව ඇත.
මෙවැනි සෞඛ්‍ය විෂමතාවකට මුල්වූ ප්‍රධාන හේතුවක් වන්නේ නව ලිබරල් ආර්ථික පිලිවෙත අනුව යමින් 1980 දශකයේ සිට බලයේ සිටි සියලු ආණ්ඩු ජනතාවගේ සෞඛ්‍ය තිරණාත්මක ලෙස ඉහල නැංවීමේ වගකීමෙන් ඉවත්වී සෞඛ්‍ය සේවා වෙළදපොලක් නිර්මානය වීමට ඉඩහැරීමය. උසස් සෞඛ්‍ය තත්වයක් අත්පත් කරගැනීමට අත්‍යවශ්‍යවන සකලවිධ සමාජ, ආර්ථික සහ පාරිසරික තත්ත්වයන් ගොඩනැංවිය හැක්කේ සහ පවත්වාගෙය යා හැක්කේ ආණ්ඩුව ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්වීමකින් පමණි. නිර්බාධක වෙළදපොලකින් හෝ තනි තනි පුද්ගලයින්ට හෝ එම සාධක සියල්ල ගොඩනගා ගැනීමට හෝ තිරසර ලෙස පවත්වාගෙන යාමට හෝ නොහැක.
සෞඛ්‍ය පිළිබද වගකීමෙන් මෙරට ආණ්ඩු සහ රජය ඉවත්වීම හොදින්ම නිරූපනය වන්නේ සෞඛ්‍යට වෙන්කරන රාජ්‍ය වියදම විශ්ලේෂණය කිරීමෙනි. අදවන විට සංවර්ධිත රටවල වාර්ෂික ඒ්කපුද්ගල රාජ්‍ය සෞඛ්‍ය වියදම ඇ.ඩොලර් 3000ක් 5000ක් අතර ගණනක් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ඒ්ක පුද්ගල සෞඛ්‍ය වියදමම ඇ.ඩොලර් 130ක පමණ අගයක් ගනී. ඉන් රාජ්‍ය වියදම 46%ක් පමණවන අතර වැඩි කොටසක් මහජනතාව සෞඛ්‍ය වෙළදපොලතුල පෞද්ගලිකව ඒ් ඒ් අවස්ථානුකූලව කරන වියදම්ය (out-of-pocket expenditure). ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්යමණ්ඩල, ඖෂධ, පරීක්ෂණ, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම නිවාරණ කාර්යයන් දැඩිලෙස සීමාවීමට මෙම දුර්වල රාජ්‍ය මැදිහත්විම බලපා ඇත. ඌණ පහසුකම්වලින් යුත්, අසංවිධානාත්මක, පැහැදිලි ඉලක්ක සහ නායකත්වයකින් තොරවු සෞඛ්‍ය පද්ධතිය සෞඛ්‍ය වෘත්තිකයින්ටද උසස් වෘතීය ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථාව අහිමිකර ඇත.
මෙම බරපතල සෞඛ්‍ය විෂමතාව අවමකර උසස් සෞඛ්‍ය තත්ත්වයක් සමස්ත ජනසමාජයටම අත්පත් කරගැනීමටනම් සෞඛ්‍ය වෘත්තිකයින් සහ මහජනතාව ඒ්කාබද්ධව ගුණාත්මක බවින් ඉහල සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගා ගැනීමට කටයුතුකල යුතුව ඇත. සෞඛ්‍ය වෘත්තිකයින්ටද ගුණාත්මක බවින් ඉහල, අභිමානවත් සහ ඵලදායී වෘතීය ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබෙන්නේ එවැනි උසස් සෞඛ්‍ය පද්ධතියක් තුල පමණි.
වෛද ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.