Breaking News

රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න – ජීවිත 18000ක් බේරාගැනීමට WHO විශේෂඥ කමිටු නිර්දේශ ඉදිරිපත් කරයි

සෞඛ්‍ය විශේෂඥයන් ඉතා ඉක්මණින් රට පූර්ණ වශයෙන් වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි ඉල්ලමින් සිටියදී පවා එයට කන් නොදීමට රජය තීරණය කර තිබේ.

මෙම ඉල්ලීම් ඉදිරිපත් වන්නේද නිකම්ම් නොවේ. මේ වනවිට දින කිහිපයක සිට සියය ඉක්මවා ආසාදිත මරණ වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළයි.

නමුත් පළාත් අතර සංචරණ සීමා පමණක් එළෙසම තබා ගැනීමට රජය තීරණය කර ඇත. එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙන්ම කෘෂිකර්මාන්ත සේවාවන්හි සහ ඇඟලුම් කර්මාන්තශාලාවල නිරත සේවක සේවිකාවන්ට එම තහනම බල නොපැවැත්වේ.

එසේම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයක සේවකයෙකු වෙනත් පළාතකින් කැඳවීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට ඒ සඳහා තීරණය ගැනීමේ බලය හිමි වනු ඇත.

පෞද්ගලික ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයන්ටද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සේවයට පැමිණිය හැකි බව සඳහන් වේ.

මේ අනුව සංචරණ සීමා දැඩි කිරීම යනුවෙන් අමුතු යමක් සිදුවී නැත.

මෙම තිබෙන තත්ත්වය පාලනයට සෞඛ්‍ය අංශ සෑම එකකම නිර්දේශය වෙන එකකි. වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පැතිර යන සීඝ්‍රතාවය අනුව වසර අවසානය වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 18,000 ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සිදුකළ අධ්‍යයනයකින් හෙලිදරව් වී තිබේ. ඒ අනුව ඉදිරි මාස හතර හමාරක කාලය තුළ අවම වශයෙන් පුද්ගලයන් 12,500 ක් වෛරසයට බිලිවීමේ අනතුරක් මතුව ඇත.

මෙම මරණ ප්‍රමාණය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළයුතු නිර්දේශ ලෙස සංචරණ සීමා දැඩි කිරීම සම්බන්ධයෙන් වාර්තාවෙන් දැඩිව අවධාරණය කර තිබෙන අතර පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වැදගත් බවද පෙන්වා දී තිබේ. මීට අමතරව කෙටි කාලයකට හෝ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, සියලු උත්සව ඇතුළු මහජන ඒකරාශී වීම් සති තුනකට තහනම් කිරීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් හරහා ජනතාව දැනුවත් කිරීම, ආසාදිතයන් හා මරණ ප්‍රමාණය පිළිබඳව නිවැරදි දත්ත ප්‍රකාශයට පත් කිරීම, වයස අවුරුදු 60 ඉක්මවූ සියලු පුද්ගලයන්ට එන්න්තකරණය කඩිනමින් අවසන් කිරීම යන නිර්දේශ අදාල වාර්තාවට ඇතුළත් වේ.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛරස පිළිබඳ මහාචාර්යවරුන් ඇතුලු 30 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාවකින් මේ බව හෙලි වී තිබෙනවා. අදාල වාර්තාව ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාරදී ඇති බව වාර්තා වේ.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාරි ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් සහ අසිත ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලීක් පීරිස්, මංජු වීරසිංහ යන මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් සිය දායකත්වය ලබා දී ඇත.

 

leave a reply