Breaking News

‘නිරෝධායනයට’ යොමුකළ පිරිසට සළකා ඇති ආකාරය දේශබන්දුගේ ලිපියකිනුත් හෙළිවෙයි

ආණ්ඩුව විසින් ගෙන ආ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි විරෝධතා දැක්වූවන් පිරිසක් අධිකරණයෙන් ඇප ලබාදී තිබියදී පොලීසිය විසින් බලහත්කාරයෙන් නිරෝධායනයට බව පවසමින් හමුදා කඳවුරකට රැගෙන යාම පිළිබඳ සමාජ මාධ්‍ය හරහා සංවාදයක් මතුව තිබේ.

විරෝධතාකරුවන් අතුරින් 16 දෙනකු මේ වන විට මුලතිවු කඳවුරේ කිසිදු පහසුකමක් නැතිව රඳවා සිටින අතර ඔවුන් විසින් සමාජ මාධ්‍ය වෙත අනාවරණය කර ඇත්තේ තමන්ට කිසිදු වෛද්‍ය සහායක් හෝ නිරෝධායන පහසුකමක් හිමි නොවන බවය. මේ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් සිටින නමුත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් මෙම ස්ථානයේ නොමැති බවද අනාවරණය වී ඇත. නිරෝධායනයට ගෙන යාමේදී කිසිදු මහජන පරික්ෂකවරයකු හෝ වෛද්‍යවරයකුගේ සහාය ලබා ගෙන නැති අතර PCR පරික්ෂණයක් පවා සිදුකර නැත.

එම ස්ථානයට රැගෙන යන තුරුම ඔවුන් ගෙනයන්නේ කුමන ස්ථානයකටදැයි දැනුවත් නොකර රැගෙන යාම විශේෂත්වයකි. නිරෝධායනයට රැගෙන ගිය කාන්තාවන් සමඟ ගොස් සිටි කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනාද ආපසු කොළඹ පැමිණ තිබුණි. ඔවුන්ව රඳවා ඇත්තේ පිරිමි නිලධාරීන් පමණක් සිටින කඳවුරක වන අතර කිසිදු කාන්තා නිලධාරියෙකු නොමැතිවීම හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ද පැන නැගී ඇත.

අධිකරණයෙන් ඇප ලබා දුන් විගස බලහත්කාරිව ගෙන ගිය නිසා ඔවුන්ට අමතර ඇඳුම් හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙන යාමේ අවස්ථාවක් පොලිසිය විසින් ලබා දී තිබුණේද නැත. විරෝධතාවයේ යෙදුනු හේතුවෙන් බලහත්කාරයෙන් ගෙන ගියද ඖෂධ හෝ දත් බුරුසු පවා ලබාගන්නට හැකියාවක් ලැබී නැති නිසා මුලතිවු පන්සලේ හිමිනමක් මොවුන්ට ඒ අවශ්‍ය ද්‍රව්‍ය සපයා ඇත.

ඊයේ රාත්‍රිය වනවිටත් මෙම පිරිසට අවශ්‍ය ඇඳුම් ආදිය ලබාගැනීමේ හැකියාවක් ලැබී තිබුණේ නැත. සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළකරමින් ඔවුන් පවසා තිබුණේ පානීය ජලය සපයන බඳුන්වල නිසි පිරිසිදුකිරීම් කර නැති නිසා ඒවා පානයට ගැනීමට නොහැකි බවයි. එසේම ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකින් තොර බවද වාඩි වීමට පුටු හෝ අවම වශයෙන් තිබිය යුතු භාණ්ඩ නොමැති බවද ඔවුන් මෙහිදී පවසා තිබුණි.

මේ අතර මෙම පිරිස නිරෝධායනට යැවූ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ ඔවුන්ට අවශ්‍ය ඖෂධ සහ ඇඳුම් පැළඳුම් යන සියල්ල ලබාදී ඇති බවයි.

සරත් වීරසේකරගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසා තිබුණේ,
“අපිට ටූත්පේස්ට් දුන්නේ හාමුදුරුවෝ නමක්. අපිට කිසි රෙදි කෑල්ලක් දුන්නේ නෑ. මේ ඉන්න අය උදේ ඉදලා ඇඳගෙන හිටියේ බෙඩ්ෂීට්. පොලීසියෙන් කිව්වේ යන තැන ඔක්කෝම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලීසියෙන් අපිට බෙහෙත් දුන්නලු. අමු බොරු හලාවත පොලීසිය ළඟ නවත්තලා පාන් කාලයි කෙසෙල් ගෙඩියයි දුන්නේ. හිඟන කෑම වේවා.“

සරත් වීරසේකර කියන ආකාරයෙන් පහසුකම් ලබාදීමක් සිදුව නොමැති බව ඊයේ කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිකුත්කළ ලිපිය අනුවද පැහැදිලි වේ. එහි දැක්වෙන්නේ නිරෝධායනට යොමුකළ පිරිසට පාන් සමඟ කෙසෙල් ගෙඩි රාත්‍රී ආහාරය ලෙස ලබාදුන් බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply