දැන් සැපතැම්බරය හෙමින් ළං වෙනවා. පොත් ප්‍රදර්ශනය ‘සාහිත්‍ය වසන්තය ‘ ආදී නොයෙක් ලේබල්වලින් සමාජ මාධ්‍යවල නිතර සංසරණය වෙයි . වැදගත් සාහිත්‍ය සංවාද වෙනුවෙන් ලොකු ඉඩක් නැති පොත් ප්‍රදර්ශන භූමිය මට නම් එතරම් ප්‍රියජනක තැනක් නෙවෙයි. මා යම් ප්‍රමාණයක හෝ අවබෝධයක් ලබමින් සිටින කවිය කියන විෂය සම්බන්ධයෙන් නම් අපේ රටේ පවතින සංවාදය බොහෝ විට ප්‍රචාරකවාදී එකක්. එබඳු සංවාදවලට මග ඇරෙන් හොඳ පොත් තියෙන බව අවුරුදු ගානක් තිස්සේ ම ං දැකලා තියෙනවා. මේ පොටෝ එකේ තියෙන්නෙ ඊයේ සහ අද මා කියවූ පොත් තුනක්. අර හේන්පිටගෙදර හිමියන්ගෙ ප්‍රඥා මාර්ගය පොත මෙතන දාන්නෙ හිතාමතාම . මා මේ කතාකරන්න යන ලක්ෂාන් මධුරංග වාගේ අය ඒ විෂයන් ගැන එතරම් උනන්දුවක් දක්වන්නෙ නෑ වාගේ අදහසක් මට තියෙන්නෙ( ඔවුන් එක්ක ලොකු ඇසුරක් නැතුව කරන මේ නිරීක්ෂණය නිවැරදි නොවෙන්නත් පුළුවන්) අමරකීර්තිගේ සමහර කවි සහ විචාර රචනාවල නම් බෞද්ධ ඉගැන්වීම්වල ප්‍රඥා මාර්ගය මතකයට නංවන දේ තියන බව ඉතාපැහැදිලියි. අමරකීර්තිගේ මහසිහිනයක මිහිරි කරදර කෘතියෙත් කවියෙන් විවිධ තේමා ගවේෂණය කිරීමේ ශක්‍යතා ගැන ඔහු ඉඟි කරනවා. කවියෙ තේමාත්මක ගැඹුර වැනි අදහස් පළල් ලෙස ඉගෙන ගන්න අවශ්‍ය පොතපත සිංහල බසින් සුලබ නෑ. ඉංග්‍රීසි ලිපි කීපයක් සහ කෘතීම බුද්ධිය භාවිත කරන කොට මට වැටහුණේ එලියට්, ඩිකින්සන්, තෝමස් හාඩි වාගේ විවිධ කවියන් ඇසුරෙන් විවිධ මානවලින් තේමාත්මක ගැඹුර ගැන හදාරන්න හැකි බව.
අමරකීර්තිගේ අලුත් කවිපොතේ කවියේ තේමාත්මක මානය සහ භාෂා භාවිතය ගැන කරන ඉඟි කිරීම් ඉතාවැදගත්. එබඳු පසුබිමක මධුරංගගේ පොත ඒ තල දෙකේම ජයග්‍රහණ අත්පත් කර ගන්න කෘතියක් කියන එක ඉතාපැහැදිලියි. මධුරංග මනුෂ්‍ය සමාජයේ මේ මොහොත වටහා ගන්නේ දීර්ඝකාලීන විකාශනයක ප්‍රතිපලයක් ලෙස . ඒ විකාශනය තුළ අද අප විඳින් ජයග්‍රහණයන් වෙත දායක වූ මනුෂ්‍ය ශ්‍රමය වෙත ඔහුගේ ගෞරවය ප්‍රකාශවන්නේ සියුම් මනුෂ්‍ය ආත්මයක් දිනා ගන්නට වෙහෙසෙන මිනිසකුගේ ස්වරමාලා අපට ඇසෙන්න්ට සලස්වමින්. සාමාන් යෙන් මධුරංග කවිය ගැන ලියන මොහොතට වඩා ඔහුගෙ කවියෙන් ප්‍රකාශවන මනුෂ්‍ය හඬ හරි සියුම්. මධුරංග පක්ෂ දේශපාලනය නියෝජනය කරන මොහොතට වඩා ගව් ගානක් ඉදිරියට ගිය දේශපාලන මොහොතවල් ඔහුගේ කවියෙන් හමුවෙනවා.
‘ විශ්‍රාමික විනිසුරුවරිය’ වැනි රචානාවක්දී ඔහු මනුෂ්‍ය නිදහසේ වටිනාකම සියුම් ලෙස ස්පර්ශ කරනවා. ඒ කවියෙ එක තැනක කවියා මෙහෙම ලියනවා.
ලෝගුවල දියව ගිය
සුවඳ සුසුවඳ කාලය
ආශ්වාසය කරනුව නැවත
තැනින් තැන නැවතී
තදින් හුස්ම ගනියි
ඇය…
හිරු බැස යන සැටි
දකියි ඇය.
' සන්ධිස්ථාන ' නම් කවිය තුළ මනුෂ්‍ය ජීවිතයට හිතකර සමාජයක් බිහිකරනු පිණිස වෙහෙසුණු ම්නිසුන් කෙරෙහි ඔහු කරන අනිමිස ලෝචනය හමුවෙයි. ඒ කවියෙ අවසානය සියුම් නිරීක්ෂණ ශක්තියක් පෙන්වයි. මේ ඒ කොටසයි.
පරමාණු බෝම්බත් පුපුරවපු ලෝකෙක
සිගරට්ටුව ෆිල්ටරය පැලඳීම
සුන්දර සන්ධිස්ථානයක් තමයි.
අමරකීර්තිගේ කවිය ගැන ලියන පරාක්‍රම කොඩිතුවක්කු මෙවැන්නක් ලියනවා.
‘ඉහළ කවියා දේශපාලනය කවියට ගන්නේ ආත්මීකරණයෙන් ‘ . එකමත් එක පිටරටක කෘතියේ සිට මේ වනතුරු අමරකීර්ති ලියන කවිය සම්බන්ධයෙන් කොඩිතුවක්කු කියන දේ ඇත්තය. මධුරංගගේ අලුත් කවිපොත සම්බන්ධයෙනුත් එපමණටම එය ඇත්තය .
චීන කවිය ද සම්බන්ධ කරගෙන අමරකීර්තිගේ කවිය ගැන මෑතක ලියූ රචනයක ඉතාවැදගත් අදහසක් විය. ‘ ‘ ෂී’ යන වචනය චීන ජාතිකයින් කවිය ගැන කතාබහ කරන විට භාවිත කරයි. එහි අදහස කතා කරන සුළු ගුණයයි. සත්‍ය ලෙසම අමරකීර්තිගේ කවිය තුළ වන කතා කරන සුළු ගුණය යන්න වෙනම සංවාදයට ගත යුතු තරම් ය. මධුරංගගේ කවිය තුළ තේමාත්මක තීක්ෂණතාවය, භාෂාව සමග බය නැතිව සෙල්ලම් කිරීමේ ගුණය මෙන් ම අර කියන කතා කරන සුළු ගුණයත් දැක ගත හැකි අවස්ථා වෙයි. ‘ කළුවර ගැන කවියක්’ යන කවිය මධුරංග නිමකරන අයුරු බලනු මැනවි.
කළුවර ගැන ලියන කවියක්
ඉවර විය යුතු කළුවරේමද?
මට පෙනෙන අර එළිය ළා පාට
ඔබට පෙනෙන්නෙම නැද්ද?
ව්‍යාජ සාහිත්‍ය වසන්තයන්ට හසු නොවන කවියකුගේ පැමිණීම සටහන් කරන මේ කෘතිය ගැන කොතැන හෝ සංවාදයක් ඇති වේවා!
වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල