සිවුපා – කෘමි පනත !

‘ඉතින් අන්තිමේදී
පූර්ණ ජාතික ආරක්ෂාව නැතුව පුළුවන්ද.
සපාද, අපාද, සතුන් පිළිබඳ
හදිසි පාලනය හා විනය පනත පැනවිණි.

මේ නව පනත අනුව
මී – ගව – එළු සිවුපාවුන්ට
තිදෙනකුට වැඩියෙන් රංචු ගැසී
තණකොළ කෑම තහනම් ය.

කුරුල්ලන් රෑන් වශයෙන් පියෑඹීම ද
මීමැස්සන් කැටිගැසීම ද
නීතිවිරෝධී රංචු ගැසීම් වන්නේය.

සැලසුම් අනුමත‌ නොකොට සාදා ඇති
සියලු දෙබර වදවලින්
වහා ඉවත් වන ලෙස නියෝග නිකුත් වී.‍

ඔවුන්ගේ ගෙවල්, කඩාකප්පල්කාරී ලෙස
පෞද්ගලික දේපොළ කෙරෙහි
මැදිහත්වීම් ලෙස සැලකිණි.

අදාළ අමාත්‍යංශයෙන්
විකාශන බලපත්‍රයක් නැතිව
වඳුරන් හා මයිනන් විසින්
ඔවුන්ගේ ඝෝෂාකාරී පණිවුඩ
නිකුත් කිරීම අත්හිටුවිය යුතුය.
ජාතියේ හදිසි අවස්ථාවන්හිදී
අනුමත නොකළ ප්‍රකාශන හා විකාශන
භයානක තර්ජනයකි.

එසේම, කොට්ටෝරුවන්ට
මින්පසු තුරු කඳන්වල
මෝර්ස් හෝඩිය කොටමින්
පණිවුඩ යැවීම සපුරා තහනම් වෙයි.

අදාළ බලධරයන් විසින්
සියලු සන්නිවේදනයෝ
මනා පිරික්සුමකට ගොදුරු කෙරෙති.
ගේ කුරුල්ලන්
කටකතා පැතිරවීම ගැන
අත්අඩංගුවට ගෙන ඇත.

කුමන්ත්‍රණ කිරීම ගැන සැකපිට
සියලු බළල්ලු රාත්‍රී නවයෙන් පසු
නිවෙස්වලට වී සිටීමේ නියෝග ලදහ.

සිය ශබ්ද විකාශන නවත්වන ලෙස
රැහැයියන්ටත්, පළඟැටියන්ටත්
නොතීසි නිකුත් කර ඇත.

තාරාවන් ක්වැක් ගෑම හෝ
කළුකුමන් ගොක් ගෑම හෝ
තහනම් කාලය තුළදී සීමා කෙරෙයි.

ඇල්සේෂන් හෝ පාදඩ බල්ලන් හෝ
සිය කටවල් පාලනය කරගත යුතුය.
ආරක්ෂක හේතු මත හමුදා නිල ඇඳුමට
සමාන හෝ වෙනත් නිල ඇඳුමක් හෝ
භාවිතය තහනම් ය.

එහෙයින් පෙන්ගුවින්ලාටත්, සීබ්‍රාවන්ටත්
නීතියෙන් අනුමත නොකළ ඇඳුම්
ඇඳීම තහනම් වෙයි.
මුවන්, ගෝනුන් විසින් සිය අංතට්ටු
ළඟම ඇති පොලීසියට බාරදිය යුතුය.
කොටියන් ඇතුළු මාංස භක්ෂකයන්
නිය, දත් වැනි මාරක ආයුධ
සඟවාගෙන සිටීම නිසා
කෙලින්ම සිර අඩස්සියට ගෙන ඇත.

හතර වැනි වගන්තියේ දෙවැනි ඡේදයේ
බී උප වගන්තිය අනුව
අලියන් විසින් හොඬවැලින් හා පසුපසින්
නාද නිකුත් කිරීම
හවස හයේ සිට උදේ හය දක්වා
තහනම් ය!
එම හඩ වෙඩි හඬකැයි රැවටී
කලබල ඇතිවීමට ඉඩ ඇති හෙයිනි.

මේ නීතිය නිසි පරිදි
ගැසට් කරනු ලදුව
මසකට පසු
සියලු කුරුල්ලෝ, කෘමි සත්තු දකුණට ද,
සිවුපාවෝ උතුරට ද සංක්‍රමණය වූහ.
දැනු මුළු වනය
නීතිය අනුව ගොළු ය.
එහෙත් බියකරු ය.
ඉතින්,
දැන් පූර්ණ ජාතික ආරක්ෂාව පවතින්නේය !

මැලේසියානු කවියෙකු වූ සිසිල් රාජේන්ද්‍රගේ සිවුපා-කෘමි පනත නම් කවි පෙළේ සිංහල පරිවර්තනය නීතිඥ එස්.ජී.පුංචිහේවා විසින් සිදුකර ඇත.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...