Breaking News

චන්ද්‍රිකාගේ මැසිවිල්ල

වර්තමාන රජය හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබෙන ආරක්ෂාව යළි සලකා බලා සංශෝධනය කිරීමට තීරණය ගත්තේ මීට ටික දිනකට ඉහතදී. ඒ අනුව ආරක්ෂකයන් පනස් දෙනෙකු පිරිවරාගෙන සිටි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකගේ ආරක්ෂාවට ආරක්ෂකයන් තිස් දෙනෙකු ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ ගැන සෑහීමකට පත් නොවෙන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක් යොමු කරමින් මැසිවිල්ලක් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

චන්ද්‍රිකාගේ ලිපියෙන් පෙන්වා දෙන්නේ තමාට ජීවිත තර්ජනයක් ඇති බවයි. දැන් තමන් විශ්‍රාම සුවයෙන් පසු වුවද තමන්ව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිඥා දී ඇති බව පවසන හිටපු ජනාධිපතිනිය හෙළිදරව් කරන්නේ තම ස්වාමි පුරුෂයා වන විජය කුමාරතුංගව ඝාතනය කළ ආකාරයට තමන්වද දේශපාලන පළිගැනීමක් ලෙස ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි තමන්ට සැක හිතෙන බවයි.

චන්ද්‍රිකා විසින් මහජන ආරක්ෂක ලේකම්ට යොමු කරන ලිපියේ තවත් කරුණක් හෙළිදරව් කරනවා. අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට තමාට මෙන් හතර පස් ගුණයක වැඩි ආරක්ෂාවක් ලබා දී තිබියදී තමන් සතුව සිටි ආරක්ෂක බටයින් පනස් දෙනා තිහ දක්වා අඩු කරන්නට කටයුතු කරන්නේ කිනම් පදනමක් මුල් කරගෙනද යන්නයි.

පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ අනුගාමික යෝද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා සිටියේය මහින්දගේ ආරක්ෂාව අඩු කිරීම හේතුවෙන් ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති තිබෙනවා කියාය. තිස් වසරක යුද්ධය අවසන් කිරීම පදනම් කරගෙන මහින්ද රාජපක්ෂගේ ජීවිතයට ඇති තර්ජනය සුළුකොට තැකීමට මේ රජයට පුළුවන්කමක් නැති බව පෙන්වා දෙන ඔවුන් චෝදනා කරන්නේ පලි ගැනීමේ වුවමනාව මත මෙසේ ආරක්ෂාව අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් නොවැම්බර් 6දා කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අවධාරණය කර සිටියේ තවමත් කිසිවෙකුගේ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන නොමැති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පමණක් වසරකට රුපියල් බිලියන 1100 ක් පමණ වැය වන බවයි. මේ මුදල වාර්ෂිකව පොලිස් රෝහල වෙනුවෙන් වෙන් කරන මුදලට වඩා වැඩි මුදලකි.

leave a reply