මෙතෙක් කලක් මිහිමතින් සම්පූර්ණයෙන්ම තුරන්වී ඇති බව සිතූ ශ්‍රී ලංකාවට ආවේණික Crudia zeylanica නම් රනිල ශාකය මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිකර තිබේ. ඒ එම විශේෂයේ ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගයට නතුවීමට නියමිත ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඉඩමකින් වාර්තා වීමත් සමගය. කෙසේ නමුත් සහකාර වන සංරක්ෂක (දිසා වන නිලධාරි – ගම්පහ) දේවානී ජයතිලකගේ සහ පරිසරයට ආදරය කරන බොහෝ දෙනකුගේ මැදිහත්වීමෙන් එම ශාකයට බාධාවක් නොවන පරිදි මාර්ගය ඉදිකරන තැනට තීන්දු තීරණ ගැනීමට හැකිවීම සතුටට කරුණකි. වඳවී ගිය ජීවී විශේෂ නැවත හමුවීම ලොව පුරාම ජනතාවගේ සහ සංරක්ෂණවේදීන්ගේ ඉමහත් සතුටට කරුණක් වුවත් මාර්ග සංවර්ධනයට බාධාවීම සැළකිල්ලට ගෙන සංරක්ෂණ සාක්ෂරතාවයෙන් දුප්පත් ශ්‍රී ලංකාවේ ඇතැමෙක් Crudia zeylanica දෙස බැලුවේ ද්වේශයකින් බව කීම වරදක් නොවේ. එබැවින් ශ්‍රී ලංකාවේ ජීවත්ව වඳවී ගිය සහ මේ වන විටත් වඳවී යාමේ තර්ජනයට දැඩිව මුහුණදී සිටින ජීවී විශේෂවල වැදගත්කම සහ එම විශේෂ සංරක්ෂණය පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමුකරවීමට මෙය සුදුසුම අවස්ථාව බව අප සිතමු.
ශ්‍රී ලංකාව ලෝකයේ ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර 25 අතරට ගැනෙන්නේ මෙරට ඇති අතිශය ජෛවවිවිධත්වය නිසාම පමණක් නොවේ. එම ජෛවවිවිධත්වය සීග්‍රයෙන් වැනසීයාමද නිර්ණායක කොටගෙනය. මිහිතලයේ ජීවය බිහිවූ දා සිට මේ දක්වා විවිධ අවධි වලදී සිදුවූ මහා නෂ්ටවීම් (Mass Extinction) පහකට ලක්ව ජීවී විශේෂ විශාල සංඛ්‍යාවක් සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් තිබේ. ඒවා සියල්ලක්ම මිනිසාට පාලනය කිරීමට නොහැකි ස්වාභාවික සංසිද්ධීන්ය. නමුත් වර්තමානයේදී සිදුවෙමින් පවතින සය වන මහා නෂ්ටවීමෙන් මිහිතලයෙන් සමුගෙන ගොස් ඇති සහ සමුගනිමින් සිටින සියලුම ජීවී විශේෂ වලට එම ඉරණම අත්කරදී ඇත්තේ මිනිසුන් වන අපම මිස වෙනත් කිසිවෙක් නොවේ. වාසස්ථාන විනාශ කිරීම, අධික ලෙස ස්වාභාවික පරිසරයෙන් ජීවීන් අල්ලා ගැනීම, දේශගුණික විපර්යාසය, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්ත කිරීම වැනි වනජීවීන්ගේ පැවැත්මට තර්ජනයක්වී ඇති සියලුම සංසිද්ධීන් මිනිසා මගින් ඇතිකරන ලද හෝ උත්සන්න කරන ලද ඒවාය. එවැනි පසුබිමක් තුළ මිහිමත ජීවී විශේෂ තම පැවැත්ම තහවුරු කරගෙන සිටින්නේ ඉමහත් ආයාසයෙනි. එවැනි ජීවී විශේෂ තවදුරටත් වඳවීමේ දොරටුව දෙසට තල්ලු කර දමනු විනා සංරක්ෂණය කරගැනීමේ සැබෑ වුවමනාවක් මිනිසුන් වන අප බොහෝ දෙනකුට නොමැති වීම කනගාටුවට කරුණකි.
දාරළුවේ Crudia zeylanica ශාකයද එසේ මිහිතලයෙන් වඳවී යන්නට ඇතැයි සිතූ ශාක විශේෂයෙකි. නමුත් කුමක් හෝ වාසනාවකට මේ වන විට එම ශාකය මෙරට ස්වාභාවික පරිසරයකින් නැවත හමුවී තිබීම සතුටට කරුණකි. ශ්‍රී ලංකාවේ අතිශය විශාල ජෛවවිවිධත්වය සහ අප රටට පමණක් ආවේණික විශේෂ සංඛ්‍යාව පිළිබඳව අප නිරන්තරයෙන් උදම් අනන්නෙමු (වගුව 1). නමුත් මෙරට ස්වාභාවික පරිසරයේ වාර්තාවූ ජීවී විශේෂ ගණනාවක්ම මෑත අතීතයේදී මිහිමතින් තුරන්වී ගොස් තිබේ.
මිහිමතින් සදහටම තුරන්වූ උභයජීවී විශේෂ වැඩිම සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආවේණික උභයජීවීන් වීම ඒ අතර විශේෂයෙන් අවධානය යොමුකළ යුතු කරුණකි. ලෝක සංරක්ෂණ සංගමය මගින් තහවුරු කර ඇති පරිදි මිහිතලයේ ජීවත්වූ උභයජීවීන් විශේෂ 35 ක් මේ වනවිට සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් හමාරය. 2012 රතු දත්ත ලේඛනයේ සඳහන් වන පරිදි මෙරට හමුවන උභයජීවී විශේෂවලින් 21 ක් මිහිතලයෙන් සදහටම වඳවීගොස් තිබේ. එනම් මිහිමතින් තුරන්ව ගොස් ඇති බව ස්ථීර කර ඇති මුළු උභයජීවීන් විශේෂ 35 න් 21 ක් ම ශ්‍රී ලංකාවේ ජීවත්වී සිට වඳවී ගොස් ඇති මෙරටට ආවේණික විශේෂයන්ය. පසුව ඉන් තිදෙනකු 2012, 2013 වසරවලදී නැවත අනාවරණය කරගැනීමට මෙරට ප්‍රමුඛ පෙළේ උරග සහ උභයජීව විද්‍යාඥයකූ වන එල්. ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට හැකියාව ලැබුණද ඉතිරි උභයජීවීන් 18 දෙනා තවදුරටත් වඳවී ගිය ජීවීන් විශේෂ ලේඛනයට ඇතුළත්ව තිබේ (වගුව 2). ඒ මතුද නොව මෙරට ජලාශවල ජීවත් වූ මිරිදිය මසුන් විශේෂ දෙකක් ද මේ වනවිට වඳවී ගොස් තිබීමට ඉඩ ඇති බව 2012 රතු දත්ත ලේඛනයේ දක්වා තිබේ. ඒ Stiphodon martenstyni නම් වැලිගොව්වන් විශේෂය සහ Macrognathus pentophthalmos නම් ආඳන් විශේෂයි.
එසේම දිවයිනේ අගනුවරට ඉතාම ආසන්න ගම්පහ දිස්ත්‍රික්කයේ දුම්රියපොළක් ආශ්‍රිත වන ලැහැබක සැඟවී මෙරටින් වඳවී ගොස් තිබූ ශාකයක් සොයා ගැනීමට හැකි වුණි නම් මෙතෙක් විදු ලොවට අනාවරණය නොවූ ජීවී විශේෂ කොපමණ මේ වනවිටත් වැනසී යමින් පවතින වනාන්තර තුළ ජීවත්වීමට ඉඩ ඇතිද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැත. උදාහරණයක් ලෙස වගුව 3 හි දක්වා ඇති පරිදි 1993 වන විට මෙරටින් හඳුනාගෙන තිබුණු උභයජීවීන්, උරගයන්, ක්ෂීරපායීන්, මිරිදිය මසුන් සහ මිරිදිය කකුළුවන් විශේෂ මුළු එකතුව 342 කි. 2012 වන විට එම සංඛ්‍යාව 589 දක්වා සියයට හැත්තෑවකින් (70%) පමණ ඉහළ ගොස් තිබේ.
එසේම මෙරට ජීවත්වන වනජීවීන් බොහොමයක් මුළුමහත් මිහිතලයෙන්ම ජීවත්වීමට තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නම් මේ පුංචි දිවයින පමණි. ඒ අතරින් උභයජීවී විශේෂ සැලකූ විට ආසියාවේ වැඩිම උභයජීවී ආවේණිකතාවය සහිත රට ශ්‍රී ලංකාවය. මෙරට දිවි ගෙවන උභයජීවීන්ගෙන් සියයට අසූ පහකට (85%) කට වඩා මෙරටට පමණක් ආවේණිකය. තවද ශ්‍රී ලංකාවේ වාර්තාවන සපුෂ්ප ශාක 28%, උරගයින් 59%, පක්ෂීන් 14%, ක්ෂීරපායීන් 17%, මිරිදිය මසුන් 55%, භෞමික ගොළුබෙල්ලන් 81%, සමනලුන් 11%, මිරිදිය කකුළුවන් 98%, මකුළුවන් 51%, කුහුඹුවන් 17%, සහ බත්කූරන් 40% මෙරටට පමණක් ආවේණිකය. මේ දිවයින හැරුණුකොට ඔවුන්ට ජීවත්වීමට වෙනත් ස්ථානයක් මේ පෘථිවි ගෝලයේ කිසිදු තැනක නැත.
යම්කිසි රටක වාර්තාවූ ජීවී විශේෂයක් වඳවී යාම එම රටේ පරිසර හා ස්වාභාවික සම්පත් සංරක්ෂණයේ අසමත්කම කියා පාන්නකි. එබැවින් කෙසේ හෝ මෙරට ස්වාභාවික පරිසරයේ සැඟවී මෙතෙක් කල් ජීවත්වීම පිළිබඳව අප අදාළ ජීවී විශේෂවලට කෘතඥ විය යුතුය. මින් මතුවට හෝ නැවත වඳවී යාමට ඉඩ නොතබා සංරක්ෂණය කළයුතුය. එසේම අද දවසේ කිසිදු ප්‍රයෝජනයක් නැති ජීවී විශේෂ පවා හෙට දවසේ විශාල ප්‍රයෝජන රැසක් අත්කර දිය හැකි වීමට ඉඩ තිබේ. එය විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමග සිදුවන්නකි. එබැවින් අනාගත පරපුරේ ශුභ සිද්ධිය සඳහා හෝ එම ජීවී විශේෂ ආරක්ෂා කර තැබීම අපගේ වගකීමයි. නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් සිදුකර ලබාගත් තොරතුරු මත පනදම්ව නවීන තාක්ෂණය යොදාගනිමින් ස්වාභාවික පරිසරයට අවම හානියක් වන පරිදි සංවර්ධන කටයුතු සිදුකිරීම මගින් අපට එම ජීවී විශේෂ ආරක්ෂාකර ගැනීමට ඕනෑ තරම් හැකියාව තිබේ. එසේ නොකර ශ්‍රී ලංකාවේ හමුවන අතිශය දුලභ ජෛව උරුමය සංවර්ධනයේ නාමයෙන් වනසා දමයි නම් අප ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුය.