Breaking News

ඉරණතිව් ජනතාව වළවල් වසා දමමින් විරෝධය දක්වද්දී කොවිඩ් මරණ භූමදාන මාර්ගෝපදේශ නිකුත් කරයි

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ කිළිනොච්චිය, ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ භූමදානය සම්බන්ධ ප්‍රශ්නය වෙනත් ස්වරූපයක් ගනිමින් තිබේ. එසේම මුස්ලිම් ජනතාව මැසිවිලි නගමින් සිටින්නේ මෘත දේහ බැහැරකිරීමේ ගැටලුව තවමත් අවසන් වී නැති බවත් භූමදානය සඳහා මෙම දූපත තෝරාගැනීම තමන්ට කරන ලද අගෞරවයක් බවයි.

ඉරණතිව් වැසියන්ගේ විරෝධය
මේ අතර මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් එම දූපත් වැසියන් විසින් වසා දමා තිබේ.

ඊට අමතරව දේශපාලන නායකයන්, ආගමික නායකයන් සහ දූපතෙහි වෙසෙන ධීවර ජනයින් ද මේ සඳහා සහභාගීත්වයෙන් දූපතෙහි කොවිඩ් දේහ භූමදානයට කිරිමට රජය ගත් තීරණය ගැන යළි සලකා බලන මෙන් ඉල්ලමින් විරෝධතාවයක් ද පවත්වා තිබේ.

වර්ග කිලෝමීටර හයක් පමණ වන දුපත් දෙකකින් සමන්විත මන්නාරමට එපිටින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණතිව් දූපතේ මේ වන විට ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් 108ට අයත් පුද්ගලයින් 335 දෙනෙකු පමණ වාසය කරන බව පැවසේ.

කෙසේවෙතත් මේ දක්වා එම දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බව පවසන දූපත්වාසීන්, පෙන්වා දෙන්නේ ඉරණතිව් දූපතේ නැවත පදිංචි කිරීම් සිදුවන තත්ත්වයක් යටතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් බවය. ඒ අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු එම දූපතේ භූමදානය කිරීමට එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් දක්වන බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

භූමදාන මාර්ගෝපදේශන නිකුත් කරයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරූ ඉරනතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගොපදේශ මාලාව සකස් කර අවසන් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් නිකුත් කෙරුණු එහි දැක්වෙන්නේ යම් කිසි පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යාමෙන් පසු එම මරණය භුමිදානය කිරිමට අවශ්‍ය නම් ඥතීන් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කළ යුතු බවයි.

මියගිය පුද්ගලයාගේ දේහය හඳුනා ගැනීමට සම්බන්ධ වන පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරනතිව් දුපත බලා යෑමට අවසරය හිමිවන අතර එය පුර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකෙරෙන බව පැවසේ.

සෑම උදෑසනකම පෙරවරු 5.30 ට ඉරනතිව් දුපත බලා කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින් ගේ දේහයන් රැගෙන යනු ලබයි.

මළ සිරුර භූමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටියේ තැන්පත් කිරීමේදී ජායාරූප ගැනීම හෝ වීඩියෝ කිරිම සපුරා තහනම් වේ.

දේහය පෙට්ටියක තැන්පත් කළ යුතු වන අතර කිසිදු හේතුවක් මත එය විවෘත කිරීමට අවසර හිමි නොවන බව ද අදාල මාර්ගෝපදේශ වල දැක්වෙන බව පැවසේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ රජය ඉරණතිව් දූපතේ කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට ගත් තීරණය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් එකිනෙකාට එරෙහි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් බවය. එය කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානයට ගත් තීරණය යටපත් කිරීමේ උත්සාහයක් බව ද ඔහු පෙන්වා දෙයි.

leave a reply