Breaking News

ආණ්ඩුව ආදරය කරන්නේ උදයංගගේ සාක්කු පුරවන යුක්රේන සංචාරකයින්ට

මේ වන විට නිතර සාකච්ඡාවලට ලක්වී තිබෙන යුක්‍රේන සංචාරකයන් ගෙන්වා ගැනීමත් බලවත් ප්‍රශ්නයක්. අපි විශාල අවදානමක් දරාගෙන යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වා ගත යුතුද? සංචාරක ව්‍යාපාරය ගොඩගන්නට ඕනෑ කියලා අනුගමනය කළ යුතු ක්‍රමවේදය මේකද? යුක්‍රේනය කියන්නේ අධි අවදානම් රටක්. මේ වනවිට ලක්‍ෂ 11කට වැඩි ප්‍රමාණයක් කොරෝනා ආසාධිතයන්. මරණ 19,000ක් පමණ වාර්තා වෙනවා. දිනපතාම 11,000-12,000ක් අතර ආසාධිතයින් හමුවෙනවා. ජනවාරි 08වැනිදා ඉඳලා 24 දක්වා රට ලොක්ඩවුන් කරන්න ඕනෑ කියලා අගමැතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. පහුගිය අවුරුද්දේ මාර්තු 12 ඉඳලා මේ දක්වා යුක්‍රේනයේ පාසැල් වහලා. මහජන එකතුවීම් තහනම් කරලා. එහෙම රටකින් තමයි කණ්ඩායම් වශයෙන් සංචාරකයන් ගෙන්නා ගන්නේ.

අද (03) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මධ්‍යම කාරක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම කරුණු අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඔහු ….

මෙයින් සංචාරක ව්‍යාපාරයේ නියැළි සිටි අයට ආදායම් ලැබෙනවාද? මේ දක්වා සංචාරක ව්‍යාපාරය විවිධ ක්‍ෂේත්‍රවල යෙදී සිටි අයට ආදායම් බෙදී යනවාට වඩා උදයංග වීරතුංගගේ සාක්කුවට මුදල් යන ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. මේ සංචාරකයන් ප්‍රවානය කරන බස් එක අයිති වෙලා තියනේනේ කලින් ප්‍රවාහනයේ නොසිටි මේ ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මාමණ්ඩියකට. මේ ආණ්ඩුවත් එක්ක කටයුතු කරන ව්‍යාපාරික වළල්ලේ දෙතුන් දෙනෙකුට අයිති හෝටල්වල ඔවුන්ට නවාතැන් දෙනවා. ඒ නිසා උදයංග ඇතුළු දෙතුන් දෙනෙකුගේ සාක්කු පුරවන්න අපි රටක් අවදානමේ හෙළිය යුතුද? මෙරටට සංචාරකයන් ගෙන්වා ගන්නවා නම් ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් පසුගිය ජූනි මාසයේදී සෞඛ්‍ය අංශවලින් ආණඩුවට ඉදිරිපත් කළා. ඒ මාර්ගෝපදේශ අනුවද යුක්‍රේන ජාතිකයන් ගෙනාවේ. දින 14ක් නිරෝධානයන විය යුතු බවට තිබුණු නීති ක්‍රමයෙන් අඩු කරලා දැන් බබල් එක දක්වා ගෙනත් තියෙනවා.

බබල් එකත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා පේනවා. යුක්‍රේන මුල්ම සංචාරක කණ්ඩායමේ හය දෙනෙක් ආසාධිතයන් බව වාර්තා වුණා. සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව නම් පළවැනි පී.සී.ආර්. එක කරලා දින 5-7ත් ඇතුළතදී දෙවැනි පී.සී.ආර්. එක කරන්න ඕනෑ. හැබැයි පී.සී.ආර්. කිරීම කෙසේ වෙනත් මේ සංචාරකයන් මිරිස්ස, යාල ප්‍රදේශවලට ගිහිල්ලා. අර පොසිටිව් වුණා කියන හයදෙනාගේ ආශ්‍රිතයන් කීදෙනෙක්ද, ඔවුන් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද කියන ප්‍රශ්න මහජනතාවට තිබෙනවා. අපේ රටේ කෙනෙක් පී.සී.ආර්. පොසිටිව් වුණොත් ඒ අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග ගැන ජනතාවට අවබෝධයක් තියෙනවා. සමහර තැන්වල ආශ්‍රිතයන් ගෙනගියේ කොහෙටද කියලා ඔවුන් දැනගෙන හිටියෙත් නැහැ. එවැනි තත්වයක් තිබියදී යුක්‍රේන ජාතිකයන් වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය හොඳින් ක්‍රියාත්මක වෙද්දිත් යුක්‍රේන ජාතිකයන් කීදෙනෙක් ඇවිත් තියෙනවාද? අවදානමක් දරාගෙන යුක්‍රේන ජාතිකයන් ගෙන්වා ගත්තා කියලා එයින් අනික් රටවල සංචාරකයන්ට සිදුවන බලපෑම මොකක්ද?

leave a reply