Breaking News

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් ප්‍රශ්නයේදීත් ආණ්ඩුව ‘ෆේල්’

අපි දන්නා පරිදි බල්ලන් සපකන්නේ උන් තුළ ඇතිවන බිය නිසයි. වෙනත් කිසිවක් කරකියා ගත නොහැකිවූ විටයි. ඒ ආකාරයට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට අසමත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුවද කරමින් සිටින්නේ තමන්ගේ අසමත් පාලනය වසා ගැනීමට වටේට සිටින වුන් සපා කෑම වැනි දෙයකි. නැතිනම් සපා කන බවට තර්ජනය කිරීමයි. ගෝල්ෆේස් අරගලයට වසරක් සපිරෙන දින එම භූමිය මූලික කරගෙන නැවත අරගලයක් ඇතිවේ යැයි බියවූ ආණ්ඩුව එය ජනතාවට තහනම් කිරීමට පියවර ගන්න ලදී.

දැන් ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම වී ඇත්තේ විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරන බව සඳහන් කරමින් තර්ජනය කිරීමයි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දී ඇත.

එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් පිළිතුරු

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටළු මඟහැර යාමේ උප ක්‍රමයක් ලෙස එය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම අනුමත නොකරන බවයි.

එම සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පවසන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම සඳහා වැදගත් බවයි.

“යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදෙන්න පුළුවන් සේවය පිළිබඳ සලකලා.

එහෙම නැතුව යම්කිසි වෘත්තියක නියැලි පිරිසක් තමන්ගේ වෘත්තීය ගැටලු ගැන කතා කරනකොට ඒ ප්‍රශ්නවලින් මඟහැර යෑමේ පිළිවෙතක් විදියට.

එහෙම නැත්නම් ඒ පුද්ගලයින්ව බයගන්වලා හෝ ඒ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගැනීම සහ ඒ වගේ චේතනාවන් ප්‍රමුඛ කරගෙන එක් එක් සේවාවන් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරන ආකාරය පහුගිය කාලයේ වරින් වර අත්දැකි සිදුවීමක්.

ඒ වගේ දෙයක් පදනම් කරගෙන යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා කියන එක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සන්තෝෂ වෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රය ගැන අවධානය යොමුවීම ගැන රටේ ඉහළම තැන්වලින්.

නමුත් අවධානය යොමුවිය යුත්තේ මේ ආකාරයට නෙමෙයි. අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැවැන්ත ගැටලු තියෙනවා. ඒවා විසඳලා මේක අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් හොඳයි කියන එක තමා අපේ මතය.”

leave a reply