Breaking News

එළිසබෙත් අත්තම්මාගේ මරණයට නිවාඩු දමා වැළපීමට තීරණය කළ පුරන්අප්පුගේ මුණුපුරෝ!

නජිත් ඉන්දික

ලෝකය පුරා රටවල් විශාල ප්‍රමාණයක් නිදහස, ස්වාධීනත්වය අහිමි කරමින්, එම රටවල් යටත් කරමින් සූරා කෑව, ඇතැම් තැන්වල ජනතාව සමූල ඝාතනය කළ ලේ වැකුණු බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමය, වර්තමානයේ දරාගෙන හිටිය දෙවැනි එළිසබෙත් පූර්ණ ආයුකාලය වළඳලා මියගියා.

අවුරුදු 70 ක් බ්‍රිතාන්‍යයේ නාමික “රැජිණ” වුණු ඇය මියනතුරුත් තමන්ගේ ළඟම පරම්පරාවල මුතුන්මිත්තන් ලෝකය වටා කළ අපරාධ ගැන අඩුම තරමෙන් කණගාටුව ප්‍රකාශ කිරීමක්වත් සිදුකළේ නැහැ. ඒක විශේෂත්වයක්. මොකද ඒ වගේ මර්ධනකාරී ඉතිහාසයක් තියෙන පැරණි ව්‍යූහ බොහොමයක් මූනිච්චාවට හරි එහෙම කළා.

හොඳම උදාහරණය පාප් වහන්සේ ප්‍රමුඛ කතෝලික පල්ලිය. මධ්‍යතන යුගයේ ආගම නමින් ඔවුන් කළ ජනඝාතන ඇතුළත් අපරාධ “සිදුකළ වැරදි දේ” බව පස්සෙ කාලෙක එවකට සිටි පාප් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

දැන් ලංකාවෙ රනිල් රාජපක්ෂ ආණ්ඩුව “රැජිණගේ මළඟම වෙනුවෙන් වැළපීම සඳහා” සැප්තැම්බර් 19 රජයේ නිවාඩු දවසක් ලෙස නම් කරලා. ????
දැන් මේකෙ විහිළු දෙකක් තියෙනවා.

1815 ඉඳන් 1948 වෙනකන් අපේ රට යටත් කරගෙන, සූරාකමින් සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව අරගල කළ සියළු දෙනා වීරයින් කියල අභිෂේක කරන ගමන් ඒ වීරයින් එක්ක සටන් කළ “ආක්‍රමණික දුෂ්ටයාගේ” වර්තමාන සංකේතය වෙනුවෙන් වැළපෙන්න රටකට නිවාඩු දෙන දීන, යටහත්, යටත්විජිත මානසිකත්වය එකක්.

ඒ අරගල සිංහල ජාතිකවාදය උත්කර්ෂයට නඟන්න පාවිච්චි කරන, රාජපක්ෂ පාලනය ගොඩනඟන්න මැදිහත්වුණ බොරු දේශප්‍රේමීන්, ජාතිවාදීන් හැමෝම මේව ගැන කටබලියන් ඉන්න එක ලස්සන විහිළුවක්.

අනෙක් විහිළුව තමයි රජයේ සේවකයන් ගාණ, ඔවුන් ගන්න නිවාඩු දින ගාණ, ඒ හින්දා මේ පුංචි රට හදන්න බැරිවෙලා තියෙන හැටි, මේ අර්බුදේ සකලවිධ හේතුව ලංකාවේ රාජ්‍ය සේවකයා බවට පතුරු ගහන, රනිල්ගේ කුණුහෝදන “ව්‍යාජ ලිබ්බන්” එහෙමත් රැජිණගෙ මළඟමට එක දවසක් රටම නිවාඩු දෙන එක ගැන මීක් නැතිවීම.

හැබැයි මේ මහත්තුරු සේවකයන්ගේ ප්‍රසූත නිවාඩු, ලෙඩ නිවාඩු පවා අඩුකරල රට හදන්නයි අනික් වෙලාවට කතාව.
ඒ තමයි ලංකාවේ ඉන්න දේශප්‍රේමීන් සහ ලිබ්බන්!

leave a reply