Breaking News

සුර්ය විදුලි බලාගාරයක් හදන්න සාම්පූර් ඉඩම් ඉන්දියාවට?

ලංකා විදුලිබල ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පුර්හි සුර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සාම්පුර් බලාගාරය ඉදි කිරීමට තිබූ ස්ථානයේම මෙගාවොට් 135ක සුර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 2කින් ක්‍රියාත්මක කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව පැවසේ.

මෙහි පළමු අදියර ලෙස ඩොලර් මිලියන 42.5ක ආයෝජනයක් යටතේ මෙගාවොට් 50 සුර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ ඩොලර් මිලියන 23.6ක වියදමින් සාම්පුර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර දෙකින් නිම කිරීමටයි සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙවන අදියර ලෙස ඩොලර් මිලියන 72ක ආයෝජනයක් යටතේ අතිරේක මෙගවොට් 85ක ධාරිතාවයකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි.

අදියර දෙක යටතේ ජනනය කරන විදුලි බෙදා හැරීමට ඩොලර් මිලියන 42ක් වැයකර කප්පල්තුරේ සිට හබරණ දක්වා කිලෝමීටර් 220ක ධාරිතාවක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

සාම්පූර්වල මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සමාගම නම් එරට ලොකුම රාජ්‍ය විදුලි නිෂ්පාදන සමාගම අතර ගිවිසුමකට පසුගිය වසරේ මාර්තු 11 වැනිදාත් එළඹී තිබුණා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමල වරායට ආසන්නව මුතුර්වලට කිට්ටුවෙන්. පසුගියදා ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිසක් ලංකාවට පැමිණියා. ත්‍රිකුණාමලය නගරය බලශක්ති මධ්‍යස්ථානයක්, ඉන්ධන සහ ගෑස් ගවේෂණ මෙන්ම පුනර්ජනනීය බලශක්ති නගරයක් ලෙස සංවර්ධනය කිරිම සඳහා සාකච්ඡා පැවැත් වුණු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුව මාධ්‍ය වෙත පවසා තිබුණි. දැනටමත් ඉන්දියාව ත්‍රිකුණාමල තෙල් ටැංකි පරිශ්‍රය පාවිච්චි කරන්නට ලංකාව එක්ක නිල ගිවිසුම්වලට පැමිණ අවසන්. ආසියානු කලාපයේ භූ දේශපාලනික කටයුතුවලදී ත්‍රිකුණාමලය කියන්නේ ඉන්දියාවේ අවධානය නිරතුරුවම යොමුවුණු තැනක්.

කාලයක් පුරා ඉන්දියාව ත්‍රිකුණාමලය ආශ්‍රිතව විවිධ ව්‍යාපෘති සිදුකරන්න උත්සාහ කරන්නේ මේ අරමුණෙන් බව පැහැදිලියි. රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයෙන් පස්සේ නොරච්චෝලේ බලාගාරය ඉදි ඉරීමට චීනයෙන් උදව් ගනිද්දී, ඉන්දියන් ආණ්ඩුව එක්ක සාම්පූර්වල තව ගල්අඟුරු බලාගාරයක් ඉදිරි කරන්නට එකඟතාවක් ඇති කරගත්තා.

නමුත් පරිසර දූෂණය සහ ඉන්දියාවට ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණි විරෝධය මත එම ව්‍යාපෘතිය යම් පමණකට යට ගියා.
විශේෂයෙන් අක්කර 800ක පමණ ප්‍රමාණයක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූ අතර එතැනදී යුද්ධයෙන් අවතැන් වූ අයගේ ඉඩම් පවා සාම්පූර් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරගෙන තියෙන බවට චෝදනා එල්ල වුණා.

දැන් නැවතත් ගල් අඟුරු බලාගාරයක් වෙනුවට සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාව සූදානම්ව සිටියි. පසුගිය කාලයේ අර්බුද සමයේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක තෙල් මිලදී ගැනීමේ ණයක් සහ ඩොලර් බිලියනයක අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා වූ ණයක් ලබාදෙන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විචාරකයන් පැවසුවේ තිබෙන ණයවත් ගෙවා ගැනීමට නොහැකිව සිටින ලංකාවට තවත් ණය දීම පිටුපස ඉන්දියාවට වෙනත් භූ දේශපාලනික අරමුණු ඇති බවයි. එසේම දැන් අලුතෙන් ආරම්භ කිරීමට යන සූර්ය විදුලි බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් වීම ගැනද සිතිය යුතුවේ. පෙනෙන්නට තිබෙන්නේ ණයවලට හිලව්වට බලපෑම්වලට යටවී විවිධ ව්‍යාපෘති සඳහා එකඟ වනවා මිස සැලසුමක් සහිතව එය සිදු නොවන බවයි.

leave a reply