මෙතෙක් පැවති සියලුම ආණ්ඩු මැතිවරණ සමයන්වල තමන් සතුව පවතින ආණ්ඩු බලයත් රාජ්‍ය බලයත් අයථා ලෙස මැතිවරණ තුළ තමන්ට වාසි අත්වන ආකාරයට හසුරුවපු ඉතිහාසය අපට අමතක නොවේ.
දූෂිත මැතිවරණ ක්‍රියාවලියේ සිට ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ මිනීමැරීම් දක්වා මැතිවරණ ජයග්‍රහණය සඳහා යොදාගත් බලයේ වපසරිය විශාලය. හොර ඡන්ද දැමීම ,ඡන්ද පෙට්ටි අතුරුදහන් කිරීමේ සිට මැතිවරණ සමයන් තුළ මානසික අල්ලස් ලබාදීමට විවිධ දෑ බෙදා දීම වැනි දිසාවන් රාශියක් වෙත මේවා විහිදී පැතිරී පවතිනවා.
දූෂිත මැතිවරණ සංස්කෘතිය තුළ දශක තුන හතරක් බැටකාපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම අද බලය හොබවන ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය බවට පත්වෙලා ඉන්නවා. රාජ්‍ය බලයත් ආණ්ඩු බලයත් මැතිවරණ ජයග්‍රහණ සඳහා භාවිතා කිරීමට එරෙහිව මේ කණ්ඩායම නිරන්තරයෙන්ම පෙනී හිටියා පමණක් නොව ඒවාට එරෙහිව නීතිමය රාමුව තුළ ගත හැකි ක්‍රියාමාර්ගද ගනු ලැබුවා.
කෙසේ වෙතත් මොවුන් බලයට පැමිණියායින් පසුව පැවති සියලු දූෂිත තත්ත්වයන් වෙනස් වී නව දේශපාලන සංස්කෘතියක් බිහි වේ යැයි කියා විශ්වාසය තැබූ සෑම තැනම ඔවුන් අසාර්ථක වී ඇති බව සනාථ කර හමාරය .
අනුර කුමාරගේ ආණ්ඩුව යටතේ පවත්වන දෙවන මැතිවරණය දක්වා අප ගමන් කර ඇති තැනදී අපට හමුවන්නේ ජනතාවට තමන්ගේ කැමැත්ත තීරණය කිරීමට මැතිවරණ කාලය තුළ නිදහස ලබාදෙනවා වෙනුවට මානසික අල්ලස් ලබා දෙන මැතිවරණ සටනක්.
ඔබට මතක ද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මහ මැතිවරණ කාලසීමාවේ ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරූ පොහොර සහනාධාරය ලබාදීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස මැතිවරණ කොමිසන් සභාව අත්හිටෙව්වා. ජනාධිපති අනුරාගේ මැතිවරණ පොරොන්දුවක් වුණත් පොහොර සහනාධාරය එම අවස්ථාවේදී ලබාදීම තුළින් අනිත් කණ්ඩායම් වලට වෙන අසාධාරණය වැළැක්වීම සඳහායි එය එදා තාවකාලිකව අත්හිටවනු ලැබූවේ .
අනුර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම්වලට මේ පිළිබඳව අමුතු පැහැදිලි කිරීම අපි කළ යුතු නොවේ. මක්නිසාද යත් අසමබිමක සටන් වැද මැතිවරණ පරාජයට පත්වීමේ අඳුරු ඉතිහාසයේ අත්දැකීම් ඔවුන් සතුව පවතින බැවින්.
අනුර කුමාර දිසානායක ඇතුළු මේ කණ්ඩායම දැන දැනත් ඒ වැඩේම මේ පළාත් පාලන මැතිවරණය තුළත් සිද්ධ කළ බව ඔබට සමහරවිට අවබෝධ වී නොතිබෙන්නට පුළුවන්.
මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව දැන දැනම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල වෙනුවෙන් සහනමල්ලක් දෙන්නට ආණ්ඩුව සතොස හරහා කටයුතු කළා. මැතිවරණ නීතිය උල්ලංඝනය වන නිසා එම සහන මල්ල ලබාදීම මැතිවරණ කොමිසම විසින් නවතා තිබෙනවා.
අපි නම් විශ්වාස කරන්නේ මේ නොදැනුවත්කම නිසා කළ දෙයක් නෙවෙයි. දැන දැනම කළ තක්කඩි වැඩකි.
අනුරගේ පහත ප්‍රකාශය දෙස ඔබ අවධානය යොමු කරන්න. එය දෙතුන් වතාවක් කියවන විට ඔබට එහි යටි අර්ථය වැටහෙනු ඇත.
ජනපති පැවසුවේ කුමක් ද? ජනාධිපති අනුර කුමාර දිසානායක වැලිගම රැලියේදී කළ ප්‍රකාශය මෙසේ ය.
“සභාව කැඳවල සාකච්ඡා කරන්න ඕනෙ මොනව ද මේ පළාතෙ ලබන අවුරුද්දෙ කරන්න තියෙන වැඩ. ඒකට නගර සභාවෙ සල්ලි කොච්චර වියදම් කරන්න පුළුවන් ද? ප්‍රාදේශීය සභාවෙන් කොච්චර වියදම් කරන්න පුළුවන් ද? මධ්‍යම ආණ්ඩුවෙන් කොච්චර ඕනෙ ද? ඒක අපිට එවන්න.”
“හැබැයි, යෝජනා එවන්නෙ කවුද කියල බලනව. ඇයි ඒ? මේ ප්‍රාදේශීය සභාව, නගර සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ නම් අපට යෝජනා ගැන සැකයක් නෑ. වෙන අයට නම් තියෙන්නෙ, දන්නවා නෙ යාළුවො වැඩ කරන විදිහ. පාරට කොන්ක්‍රීට් දාන්න කියනවා, වැඩියෙන් යන්නෙ ගෙදරට. එහෙම වුණොත් සල්ලි දෙන්නෙ නෑ…. එවන්න නම් වංචා නොකරන නාස්ති නොකරන කණ්ඩායමකට ප්‍රාදේශීය සභාව භාර දෙන්න ඕනෙ. කණ්ඩායම් ගොඩක් නෑනෙ. ඉන්නෙ කවුද ජාතික ජන බලවේගය විතර යි.”
“අන්න ඒ නිසයි ප්‍රාදේශීය සභාව භාර දෙන්න ඕනෙ, යෝජනාව ආව ම වැඩිය කියවන්නෙ නැතුව යෝජනා අනුමත කරන්න තරම් විශ්වාසයක් අපට ඕනෙ.”
“ජාතික වශයෙන් වෙන් කරන මුදල්, එක්රැස් කරන මුදල් නගර සභාවට එවන්නෙ පරිස්සම් කරල ප්‍රාදේශීය සභාවෙ වැඩ ටික කර ගන්න ජාතික ජන බලවේගයේ කට්ටිය තමයි මේ සැරේ ප්‍රාදේශීය සභා පුරවන්න ඕනෙ හොඳේ.”
මෙම කොටස උපුටා ගනු ලැබුවේ බීබීසී පුවත් සේවය
මේ කතාව හරහා ජනතාවට ලබා දෙන මානසික අල්ලස කුමක්ද? ඔබ පළාත් පාලන ආයතන වලට මාලිමාවෙන් පිට කණ්ඩායමක් එව්වොත් ඔබේ ගමට ඔබේ නගරයට කිසිවක් කර ගැනීමට නොහැකි වනු ඇත යන්නයි.
එහි වක්‍ර තර්ජනය නම් උඹලගෙ නගරයට ගමට වැඩක් කරගන්නට ඕනෑ නම්, මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාගන්නට ඕනෑ නම්, මාලිමානුවන් මේ මැතිවරණයේදීද ජයග්‍රහණය කළ යුතුය යන්නයි.
පැරණි ආණ්ඩු සේම වර්තමාන අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවද මේ කරමින් ඉන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ මැතිවරණයකදී සියලු දෙනාටම මම බිමක් අයිති වීමේ අයිතිය රාජ්‍ය බලය ආණ්ඩු බලය භාවිතා කරමින් උල්ලංඝනය කිරීමයි.